සිරි දළදා ගමනය හෙට ඇරඹෙයි

ලක් රූ රැජන හේමමාලා වෙයි

මෙරට ඉතිහාසයේ වැදගත්ම සිදුවීමක් වූ සිරි දළඳාගමනය පාදක කොට ගෙන එනමින්ම තැනෙන අති දැවැන්ත චිත්‍රපටය හෙට කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරයේදී ඇරැඹෙයි. මහින්දාගමනය අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකර සිරි දළඳාගමනය තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරයි.

මේ චිත්‍රපටය නිපදවනුයේ මෙරට ප්‍රමුඛ පෙළේ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමේ සභාපතිනිය ආචාර්ය සෝමා එදිරිසිංහ සමඟ අකරවිට සංඝානන්ද හිමිපාණන්ය.

රවීන්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ, රන්ජන් රාමනායක, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි අශෝකමාලා ඇතුළු නළු නිළියන් රැසක් රඟන මෙම චිත්‍රපටයේ හේමමාලි කුමරියගේ චරිතය රඟපෑමට වරම් ලබන්නේ ගිය වසරේ ලක් රූ රැජන වූ පුෂ්පිකා සඳමාලිය.

සුමින්ද වීරසිංහ කැමරාකරණයෙන් දායක වන මෙහි විධායක නිෂ්පාදනය නිහාල් සංජයගෙනි. රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන්, වෙලේගෙදර රණසිංහ කලා අධ්‍යක්ෂණයෙන්, සෑම් පෙරේරා කොණ්ඩා සැකසුමෙන් ද, සංජය නිපුනආරච්චි අංග රචනයෙන් ද, මනුරංග අබේසිරිවර්ධන සහ වර්නන් අබේසිංහ සහය අධ්‍යක්ෂණයෙන් මෙයට දායක වෙති.

සංගීතය රංග දසනායකගෙනි. තිස්ස ලියනආරච්චි නිෂ්පාදන කළමනාකරුවේ.


මාලිනියට සහ ආරියවංශ රණවීරයන්ට ගෞරව සම්මාන

හෙළ නිළි රැජන පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනී ෆොන්සේකා සහ ප්‍රවීණ කිවිවර හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ආරියවංශ රණවීරයන් හට කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයෙන් මෙතෙක් ලාංකේය කලාව වෙනුවෙන් ඉෂ්ඨ කලා වූ මෙහෙය අගයා ගෞරව සම්මානයෙන් පුදනු ලැබීය.

කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා අතින් මෙම සම්මානය පසුගියදා විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ප්‍රධානය කරනු ලැබීය. එහිදී හේතු පාඨ කියවීම සඳහා ආරාධනා ලැබූ මහාචාර්ය පැට්‍රික් රත්නායකයන් පැවසුවේ මෙම අවස්ථාව ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන බවයි.

මෙම අවස්ථාවට කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය පැට්‍රික් රත්නායක, නාට්‍ය හා රංග කලා අංශ ප්‍රධානී කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව යන මහත්වරුන් සහභාගී වූහ.


මාධ්‍ය නාමාවලිය ජනපති සුරතට

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පළවන එකම මාධ්‍ය නාමාවලියේ දස වැනි සංස්කරණය ඉකුත් දා නිකුත් වූ අතර එහි මුල් පිටපත අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ

මැතිතුමා වෙත එහි කර්තෘ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න විසින් ජනාධිපති කාර්යාලයේදී පිළිගැන් වූ මොහොතයි මේ.

පිටු 280 කින් සමන්විත මෙවර සංස්කරණයට මාධ්‍ය සේවා සපයන ආයතන 612 ක මාධ්‍යවේදීන් ඇතුළු අදාල අංශවල සම්බන්ධතාවයන් 8437 ක් ඇතුළත්ය. මෙය පාරිසරික ජනමාධ්‍යවේදී පර්ෂදයේ ප්‍රකාශනයකි.


ඉට්ස් මැටර් ඔෆ් ලව් මැජෙස්ටික් සිටි හිදී

රෝයි ද සිල්වාගේ ඉට්ස් මැටර් ඔෆ් ලව් සිනමාපටය ළඟදීම බම්බලපිටිය මැජෙස්ටික් සිටි සිනමා ශාලාවේදී තිරගත වේ. මෙය රෝයි දෙවන වරට ඉංග්‍රීසි බසින් නිර්මාණය කළ චිත්‍රපටය වන අතර ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් ඔහුගේ පළමු ඉංග්‍රීසි චිත්‍රපටයයි.

ලකී ඩයස්, විජය නන්දසිරි, රෝසි සේනානායක,, අයිරාංගනී සේරසිංහ, අනර්කලී ආකර්ෂා, සාරංග දිසාසේකර, නෙහාරා පීරිස්, රොනී ලීච්, කොරින් අල්මේදා සමඟ හඳුන්වා දෙන කේෂියා ලීච් ඉට්ස් මැටර් ඔෆ් ලව් රංගනයෙන් හැඩ කරති.

මෙය දේවාදිත්‍ය ෆිල්ම් වෙනුවෙන් සුමනා අමරසිංහගේ නිෂ්පාදනයකි.


ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ සමඟ අර්ජුන් අධ්‍යක්ෂණයට

වසර දහහරක් තිස්සේ චිත්‍රපට හතළිහකට ආසන්න ප්‍රමාණයක් හරහා රිදී තිරය සැරසූ අර්ජුන කමලනාත් අධ්‍යක්ෂවරයකු වශයෙන් කල එළියට බසින්නට සූදානමිනි. ඒ ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ සිනමාපටය අධ්‍යක්ෂණය කරමිනි.

ත්‍රාසය, කුතුහලය, ආදරය කැටි වූ තාරුණ්‍යයේ සිනමාපටයක් වූ එය ඉසුරු ෆිල්ම්ස් නිෂ්පාදනයකි.

අර්ජුන කමලනාත්, අමීෂා කාවින්දි, සප්නා කරීම්, රශ්මි පුෂ්පිකා, මේරියන් එළිසබෙත්, නිමේෂා සෙව්වන්දි, චාමි සේනානායක, සුරංජිත් ඩයස්, චන්න චානක, ඩික්සන් ජෙරාඩ්, සුදත් විජේසේකර, සම්පත් දිනූෂ, ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයේ නළු නිළි කණ්ඩායමයි.

කතාව, දෙබස් තිර රචනය සහ නිර්මාණ අධ්‍යක්ෂණය අර්ජුන කමලනාත්ගෙනි. සජිත වීරප්පෙරුමගේ කැමරා අධ්‍යක්ෂණයකි. කේෂාන් පෙරේරා සංගීතය සපයා තිබේ. අයෝමි පෙරේරා ගීත ගයනු ලබයි. චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ ගී පද රචනයකි.


හියුගෝ කොළඹ

මෙවර ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 11 කට නාමයෝජනා ලැබ සම්මාන 5 ක්ම දිනා ගත් හියුගෝ චිත්‍රපටය දැන් බම්බලපිටිය ලිබර්ටි ලයිට් සිනමා ශාලාවේ තිරගතවේ.


කෙටි චිත්‍රපට බාර ගැනිමේ දිනය 20 තෙක් කල් යයි

යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මඟින් සංවිධානය කරනු ලබන යොවුන් හා වාර්තා කෙටි සිනමා නිර්මාණ තරගාවලියේ නිර්මාණ භාර ගැනීමේ දිනය බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත මාර්තු 20 දක්වා දීර්ඝ කොට තිබේ.

මේ පිළිබඳ වැඩි විස්තර www.univotec.ac.lk  යන වෙබ් පිටුවෙන් ලබා ගත හැකිය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු