වැඩ දැක්කම ඒ බව පේනව

සම්මානනීය අංග රචනා ශිල්පී වසන්ත විට්ටච්චි

ටවර් හෝල් නේපත්‍යාගාරය එකම කඩි ගුලක් බවට පත්ව තිබුණි. නළු නිළි රොත්තගේ දෙබස්, සිනා හඬ අස්සේ රස කතා ද දෝරේ ගලා යන බව මම සවන් දුනිමි. සීනු හඬක් වේදිකාවේ පිටුපස සිසාරා ඇදී ගියේය. ඒ නළු නිළි කැල වේදිකාවට පැමිණෙන මොහොතයි.

එළිපත්තේ සිටි මා හට නේපත්‍යාගාරයට යාමට අවස්ථාව ලැබුණේ එවිටයි. ඒ අන් කිසිවක් නිසා නොව ක්ෂණිකව මිනිසුන් වෙනස් කිරීමේ අපූරු කලාව පිළිබඳ ප්‍රාමණිකයෙක් සරසවියට කොටු කර ගැනීමටයි.

‘වසන්ත විට්ටච්චි’ තිරයට, වේදිකාවට නළුවෙක් වුණ ද ඔහු ඉන් එහාට ගිය සම්මානනීය අංග රචනා ශිල්පියෙකි. 1976 දී ක්ෂේත්‍රයේ අත්පොත් කියවීමට පටන් ගන්නා ඔහු 1983 දීී ජනක් ප්‍රේමලාල් ගේ ‘අබුද්දස්ස කෝලම’ වෙනුවෙන් හොඳම අංග රචනයට හිමි යෞවන සම්මානය දිනා සිය සම්මානීය ඉනිම ආරම්භ කර ඇත. එමෙන්ම පසුගිය දවසක නිමාවුණු රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම අංග රචකයා ද, සහාය නළුවා ද ඔහුය. ඒ අරුංගල් ටෙලි නාට්‍ය වෙනුවෙනි.

මම වසන්තගෙන් මෙසේ විමසුවෙමි.

* වසන්ත, අංග රචනය හා වේශ නිරූපණය කියන්නේ එකිනෙකට වෙනසක්ඇති දෙයක්ද?

අනිවාර්්‍යයෙන්ම වෙනසක් තියනවා. අංග රචනය සඳහා බැලුවොත් අංග කියන්නේ ඉරියව් කියන එකට. එතකොට සම මූලික කරගෙන ශරීර අංග ප්‍රත්ෂේපණය කිරිමක් අංග රචනයක් කියලා කියන්න පුළුවන්. නමුත් වේශ නිරූපණය කියන එක ඊට වෙනස්. එහිදී හිසේ ඉඳලා පාදාන්තය වෙනකම් ඇඳුම්, ආභරණ ආදී සියලු අංග සඳහා විශේෂඥ ශිල්පීන්ගේ සහය ඇතුව කරන නළුවාගේ පූර්ණ වෙනස් කිරිමකට තමයි වේශ නිරූපණය කියලා කියන්නේ.

* හොඳයි ඒ කියන්නේ ඔබ අංග රචකයෙක්. නමුත් ඔබ 70 දශකයේ වේදිකාවට ආවේ නළුකම හොයා ගෙන?

ඔව්, 1974 වෙන කොටත් මම රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ රුසියන් භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරමින් හිටියේ. ඔය අතරවාරයේදී තමයි අපි කිහිප දෙනෙක් එකතු වෙලා ‘රත්තෝ’ කියන නාට්‍ය නිර්මාණය කළේ. ඊට පස්සේ තමයි මම ලයනල් වෙන්ඩ්ට් ශිල්ප ශාලිකාවට බැඳුණේ. ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, ජයන්ත චන්ද්‍රසිරි, පරාක්‍රම නිරිඇල්ල වගේ වේදිකාවේ නිර්මාණකරුවෝ මගේ සමකාලීන අය.

* ඔය අතරම නේද ඔබ ‘මේක් අප්’ භූමිකාවට පීල්ල මාරු කළේ? කොහොමද ඒ දේ සිද්ධ වුණේ?

මට ඔය ගැන ආසාවක් ඇති වුණේ රංජිත් වික්‍රමසිංහ මහත්මයා නිසයි. මම නිතරම බලං හිටියා ඔහු මේක් අප් කරන හැටි. ඔය ආසාව තිබෙද්දීම තමයි මට ශේෂා පලිහක්කාර සර් හම්බ වුණේ. එතුමා ක්ෂේත්‍රයේ බොහොම විශිෂ්ටයෙක්. අධ්‍යක්ෂණය, සහය අධ්‍යක්ෂණය, නැටුම් අධ්‍යක්ෂණය, අංග රචනය වගේ ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක එතුමා කටයුතු කළා. ඉතිං මටත් අවස්ථාව උදා වුණා පලිහක්කාර සර් යටතේ ඉගෙන ගන්න. අද ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ ශිල්පීන් බොහෝමයක්ම එතුමා යටතේ පුරුදු පුහුණු වෙච්ච අය. එතුමා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටවල වගේම එතුමා අංග රචනය කළ චිත්‍රපටවලත් මට එතුමාගේ සහය අංග රචනා ශිල්පියා වෙන්න ලැබුණා.

* ඔබ සිනමාවත්, වේදිකාවත් යන ක්ෂේත්‍ර දෙක තුළම අංග රචනා ශිල්පියෙක්. ප්‍රේක්ෂකයාට මේ දෙක තුළ දැනුන වෙනස ඔබ අර්ථ දක්වන්නේ කෙහොමද?

සාමාන්‍යයෙන් වේදිකා අංග රචනයක් ගත්තම අපි ඒක ඉදිරිපත් කරන්නේ යම් අතිශෝක්තියකින්. මොකද වේදිකාවේ ඉදිරිපස සිට පිටුපස දක්වා ඒ දේ ප්‍රාසාංගිකරණය වෙන්න ඕනෑ. හේතුව තමයි ඒ දේ පියවි ඇහැට ග්‍රහණය වෙන නිසා. වේදිකාවේ ඉදිරිපස සිටින ප්‍රේක්ෂකයාට වයස 75 කට පෙනෙන නළුවා පිටුපසට වයස 25 කට පේන්න සිටියොත් එතැන අසාර්ථකයි. ඒකයි අතිශෝක්තිය යොදා ගන්නේ. එතකොට ඒක රළු ප්‍රකාශනයක්. නමුත් සිනමාවේදී ඔය දේවල් ඉදිරිපත් කරන්නේ කාචයට. එතකොට ඒ දේ බොහොම සියුම් විය යුතුයි.

* එතකොට කෙනෙකුට තර්ක කරන්න බැරිද අංග රචනා ශිල්පියයි රූපලාවන්‍ය ශිල්පියයි බොහොම සමපාතයි කියලා?

ඔව්, සමහර අය ඔය වගේ බොහොම සරල විදිහට ගන්නවා. මොකද ආලේප ටික ගෑවම බොහොම අයට පේනවා මේක ‘මේක් අප්’ කියලා. නමුත් අංග රචනා ශිල්පියා තමන්ගේ වැඩේ කරන්නේ වේදිකාව, සිනමාව හා රූපවාහිනිය වෙන් කර ගෙන. වේදිකාවේදී ශිල්පියාගේ ඇස්, කන්, නාස්, තොල් අපි මතු කරන්නේ අතිශයින්ම විද්‍යාත්මක හේතු මතයි. වේශ නිරූපණයට එනකොට ආලෝකය සමඟත් ලොකු ගනුදෙනුවක් කරන්න වෙනවා. නමුත් රූපලාවන්‍යයේදී කරන්නේ හැඩ ගන්වා ඉදිරිපත් කිරීමක්. මෙතැනදි සරල විදිහටම මේ දේ වෙන් කරනවා නම් රූපලාවන්‍යයෙන් කරන්නේ ලස්සන ඉස්මතු කරන එක. අංග රචනයෙන් කරන්නේ චරිත ඉස්මතු කරන එක.

* ඔය චරිත ඉස්මතු කිරීමේදී චිත්‍ර කලාව පිළිබඳ මනා අවබෝධයක් ලබන්න අවශ්‍ය නැතිද?

සාමාන්‍යයෙන් ඔය වර්ග දෙකම කලාවන් දෙකක්. ඒ දේ අත්‍යවශ්‍යම නැහැ. නමුත් චිත්‍රකරණය පිළිබඳ දැනුම යම් යම් අවස්ථාවලදී වැදගත් වෙන්න පුළුවන්.

* ඔබගේ වෘත්තීමය කලා ජීවිතය තුළ අංග රචනය හා රඟපෑම එක විට සිදු කිරීම අභියෝගයක්ද?

රඟපාන්න පිටපත ලැබුණු දා ඉඳලම අපිට නිර්මාණය වෙනුවෙන් කැප වෙලා ඉන්න වෙනවා. ඒ කැපවීම තුළ නාට්‍යයේ සමස්තයම අධ්‍යයනයට ලක් වෙනවා. ඒ නිසාවෙන්ම අපට අවබෝධය තුළින් රඟපෑම හා අංග රචනය යන දෙකට අවධානය ලක් කිරිම පහසු වෙනවා. එතකොට සෑම දේම සැලසුමකට අනුව සිද්ධ වෙන්න වග බලා ගන්න පුළුවන්. මම රංගගනයේ යෙදිල ඉන්න නාට්‍ය සඳහා සහය ශිල්පියෙක් සම්බන්ධ වෙනවා. ඒ ඇරත් මට පෙනෙන මගේ ඉදිරිපස මමම තමයි අංග රචනය කරන්නේ. සාමාන්‍යයෙන් වෙන දේ තමයි නාට්‍යයක් සඳහා අංග රචනා ශිල්පියෙක් සම්බන් වෙන්නේ පසුකාලීනව. ඒ අතින් බලන කොට මට ක්ෂේත්‍රය තුළ පහසු වාතාවරණයකුයි තියෙන්නේ. මේ දවස්වල වේදිකා ගත වන ‘ගැබ්බර මිනිසා’, ‘සුභ සහ යස’, ‘කපුවා කපෝති’ යන නාට්‍යවල මට එහෙම භූමිකාවකුයි තිබෙන්නේ. ‘මීයෝ නැතුව බෑ’ නාට්‍යයට විතරයි මම තනි අංග රචනා ශිල්පියෙක් හැටියට ඉන්නේ. අනික කාලය කියන බාධකය ගත්තත් වෘත්තියමයභාවා තුළ ඒවා අභියෝග නෙවෙයි.

* ඔබ ප්‍රවීණ ශිල්පියෙක් හැටියට කාලයක පටන් ගුරු භූමිකාවකට පණ පොවනවා නේද?

ඔව්. බොහෝ කාලයක පටන් මං ඔය කටයුත්තේ යෙදෙනවා. මුලදී ශ්‍රීපාලි මණ්ඩපයෙන්, තරුණ සේවා සභාවෙන් රංගනය පිළිබඳව ඉගැන්වූවා. ඒ වාගේම එදා සිට අද දක්වාම ටවර් හෝල් රඟහල පදනමේ ඉගැන්වීම් කටයුතුවල යෙදෙනවා.

* ඔබ සමඟ හැදුණු ඔබේ අත්දැකීම් බෙදා ගත්ත බොහෝ පිිරිසක් ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ වාගේම තව පිරිසක් ඇවිත් ඉන්න බවක් පේනවා. අංග රචනා ශිල්පය සම්බන්ඛයෙන් ඔබට මොනවාද ඔවුන් ගැන තේරෙන්නේ?

අද යම් පිරිසක් මේක තුළ ඉන්න බව පේනවා. නමුත් ඔවුන්ගේ හැදෑරීම් ගැන යම් යම් ප්‍රශ්න තිබෙනවා. ඔවුන් නිතරම කියන්න උත්සාහ කරනවා ඔවුන් හැදුණේ ගුරුවරයෙකු නොමැතිවයි කියලා. නමුත් ඔවුන් එහෙම කියන්න අවශ්‍ය නැහැ. මාව දැක්කම පේනවා ගුරුවරයක් ඉඳලා නැහැ කියලා. ඒ නිසා මම කියනවා යම් ශිල්පියෙක් මේ ක්ෂේත්‍රයේ හැදෙනවා නම් ඔහු ගුරුවරයෙක් යටතේ හැදිය යුතුමයි. මොකද වේදිකාවේ ඉන්න වැඩි පිරිස ආවේ ඒ විදිහටයි. ඔහුම තමයි ඊට පස්සේ සිනමාවටයි රූපවාහිනියටයි ගියේ.

* අවසාන වශයෙන් මං ඔබව පොඩ්ඩකට අමාරුවේ දාන්නම්කො. ඔබ මෙතුවක් කාලෙකට වැඩියෙන්ම තෘප්තිය ලැබුවේ රඟපෑමෙන්ද? අංග රචනා ශිල්පයෙන්ද?

ඕක නිකං හරියට වැඩියෙන් ආදරේ මොන දරුවාටද කියලා කියනවා වගේ වැඩක්.

ටවර් හෝල් තිරයද වැසිණි. නළු නිළි කැල වහ වහා නේපත්‍යාගාරයට ඇදුණි. මම වසන්තට සමු දී මරදානට ඇදුණෙමි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු