පෙම් යුවළට එරෙහි වූ මන්තරකාරිය RAGINIMMS

සිනමා කෘතින් සදහා පාදක වූ සත්‍ය කතා පිළිබඳ විවරණය කෙරෙන ලිපි මාලාව - 49

බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදිකා එක්තා කපූර් නිපද වූ අධ්‍යක්ෂ පාවන් ක්‍රිපලානිගේ නිර්මාණයක් වූ රාගිනි එම් එම් එස් චිත්‍රපටය 2011 මැයි 13 දා මැදියම් රැයේ මංගල දර්ශනය පවත්වා භාරතයේ හා ලොව පුරා සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව තිබිණි.

මංගල දර්ශනය මැදියම් රැයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ එය අද්භූත කතාවක් රැගත් සිනමා පටයක් වීම නිසාය. එහෙත් ප්‍රදර්ශනය ඇරඹීමට මසකට පමණ පෙර එක්තා කපූර්ට අධිකරණයට යන්නට සිදු වූයේ දිල්ලියේ විසූ දීපිකා නමැත්තියක ඇයට එරෙහිව නඩුවක් පවරා තිබූ නිසාය.

තමා මුහුණ දුන් සත්‍ය සිද්ධීන් අනුව මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට තමන් අවසර ලබා දුන්නේ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට පෙර එය නැරඹීමට අවස්ථාව තමාට ලබා දෙන්නේය යන ගිවිසුම යටතේ බව ඇය අධිකරණයට කියා සිටියාය. එක්තා කපූර් එම ගිවිසුම බිඳ ඇතුවා පමණක් නොව අනවශ්‍ය ලිංගික දර්ශන ඊට ඇතුළත් කරවා ඇතැයි ආරංචි වී ඇති බව ද ඇය පැවසුවාය.

දීපිකා හෝ ඇගේ චරිතයට චිත්‍රපටයේ දී ඇති රාගිනි යන්න ඇගේ නියම නම නොවේ. තම නියම නමත් තම පෙම්වතාගේ නමත් වසං කරන ලෙස ඇය සියලු මාධ්‍ය වෙතින් ඉල්ලා සිටියාය. ඇය එසේ කළ ඉල්ලීම නිසාම මාධ්‍යයන් ඇගේ සේයාරුවක් හෝ නියම නම පළ කිිරීමෙන් වැළකී සිටි අතර මෙම ලිපිය සමඟ ද ඇගේ සේයාරුවක් පළ වන්නේ නැත.

දීපිකා අධිකරණය හමුවට යන විට 22 හැවිරිදිව සිටියත් ඇය මෙම අත්දැකීමට මුහුණ දෙන විට ඇය 19 හැවිරිදිව සිට ඇත.

‘මම මගේ නියම නම හෙළි කරන්නේ නැහැ. ඒ ඇයි කියා ඔබට වටහා ගන්න අපහසු වන්නේ නැහැ. රාගිනි එම් එම් එස් චිත්‍රපටයේ අඩංගු වන්නේ මාත් මගේ පෙම්වතාත් එක් රැයකදී ලැබූ අත්දැකීම්. එතකොට මගේ වයස වුරුදු 19 යි. ඇය භාරතීය මාධ්‍යවලට පැවසුවාය.

‘ඒ වෙන කොට මාස පහක් තිස්සේ අපි පෙම්වතුන් වී හිඳ තිබුණා. ඔහු මා හැර නොයන වගට විශ්වාසයක් මගේ හිතේ ඇති වී තිබූ නිසා ඔහු සමඟ එක් රැයක් පිටත ස්ථානයක ගත කරන්න මම තීරණය කළා.

අපි ගියේ ඔහුගේ මිතුරකුට අයත් වූ කාලයක් තිස්සේ පාවිච්චියට ගෙන නොතිබූ පාළු නිවසකට. එය පිහිටා තිබුණේ දිල්ලියෙන් බැහැර අඳුරු ප්‍රදේශයක. ඒ නිවෙසට ඇතුළු වෙන කොටම මට මහ අමුත්තක් දැනුණා.

හරියට කවුදෝ අපි දිහාව හොරෙන් බලා ඉන්නවා වගේ මට හැගුණා. ඒත් මා විශ්වාස කළ පුද්ගලයා මා එක්කම සිටි නිසා ආරක්ෂාව ගැන බියක් මගේ හිතේ ඇති වුණේ නැහැ. මුලින්ම අප දෙදෙනා අරගෙන ගිය ලැප්ටොප් එක ඉබේටම ක්‍රියාත්මක වුණා. සියල්ල ආරම්භ වූයේ එතැනින්.’

චිත්‍රපටයේ දැක්වෙන පරිදි රාගිනි හා ඇගේ පෙම්වතා උදේ සති අන්තයක විනෝද වීම සඳහා යන්නේ වනාන්තරයක් ඇතුළත පිහිටි පාළු නිවෙසකටය. පළමුව ඔවුන් සොයා ගන්නේ තමන් අරගෙන ආ ආහාර සහිත බෑගයට පණුවන් ගසා ඇති බවය. උදේ එය නොසලකා හරින අතර ඔහු සැලසුම් කරන්නේ තමා හා රාගිනි ලිංගිකව එක්වෙන අවස්ථා ඇයට නොදැනෙන්නට රූගත කරන්නටය. කෙසේ වෙතත් රාගිනිගේ මිතුරියක වන පියා ද එහි පැමිණෙන්නේ තම පෙම්වතා සමඟිනි.

පියාගේ පෙම්වතා පවසන්නේ එම පාළු නිවහන මන්ත්‍රකාරියකට අයත්ව තිබූ එකක් බවය. ඇගේ පවුලේ අය වෙතින්ම මැරුම් කෑ පසු ඇය අවතාරයක්ව පැමිණ ඇගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනා මරා දැමූ බව ද ඔහු පවසයි.

සංගීතයට ඇහුම්කන් දෙමින් බීර පානය කරන අතරතුර ද සිවු දෙනාට විවිධ අද්භූත ශබ්දයන්ට සවන් දෙන්නටත් අසාමාන්‍ය සිදුවීම්වලට මුහුණදීමටත් සිදු වෙයි. එම ස්ථානය ගැන සැක පහළ කරන පියාගේ පෙම්වතා පියා සමඟ එතැනින් පිටව යයි.

උදේ රාගිනිට හාදු දෙමින් සිටියදී දැනෙන්නේ කිසිවකු තම හිසකේවලින් අදින බවය. තවදුරටත් ඔහුට බාධා සිදුවෙද්දී උදේ උත්සාහ කරන්නේ රාගිනි නිවෙස ඇතුළත තබා පලා යන්නටය. එහෙත් අවතාරය ඔහුට ආවේශ වී සිය දිවි හානි කර ගන්නට ඔහු පොලඹවයි.

නිවෙසේ දොර අගුළුලා ඇතත් කෙසේ හෝ ඉන් පිටතට පැන ගන්නා රාගිනි දකින්නේ පිටත නවතා ඇති මෝටර් රථයකි. ඊට ඇතුළු වන ඇය දකින්නේ එහි ඇති පියාගේ පෙම්වතාගේ මළ සිරුරය. භීතියෙන් එතැනින් දිව යන ඇය ඊළඟට දකින්නේ නිවෙසක පසෙක ඇති පාළු ළිෙඳ් පාවෙන පියාගේ මළ සිරුරයි.

අවතාරය ඇයව යළි පාළු නිවහන ඇතුළට ඇදගෙන ගොස් පවසන්නේ තමා මන්ත්‍රකාරියක නොවන බවය. තමන් තමාගේ දරුවන් මරා නොදැමූ නමුත් තමාව මරා දැමූ අයගෙන් පළි ගත් බව පවසන අවතාරය තවදුරටත් කියා සිටින්නේ තමා අරක්ගෙන සිටින නිවහනට පැමිණි කිසිවකුට පණ පිටින් යාමට තමා ඉඩ නොදෙන බවය.

ඊළඟට අවතාරය උත්සාහ කරන්නේ උදේ මරා දැමූ ආකාරයටම රාගිනිගේ සිරුරට ආවේශ වී ඇයව සිය දිවි හානි කර ගැනීමකට පොලඹවන්නටය. එහෙත් දැඩි චිත්ත ශක්තියක් දක්වමින් අවතාරයේ ප්‍රයත්නය අසාර්ථක කරන රාගිනි නිවෙසින් පිටව පලා යන්නේ හිරු නැඟ එද්දීය.

තිරයේ ඊළඟට ඇෙඳන අකුරුවලින් කියැවෙන්නේ සිහිසුන්ව අතරමඟ වැටී සිටි රාගිනි දකින තරුණයකු ඇයව රෝහලට අරගෙන ගිය බවයි. මාස දහයක් තිස්සේ මානසික ප්‍රතිකාර ලබා පියවි තත්ත්වයට පත්වන ඇය ඉන්පසු තමා ලැබූ අත්දැකීම් හෙළි කරන්නට කැමති වූ බව ද සඳහන් වෙයි.

‘චිත්‍රපටයේ දැක්වෙන සමහර දේවල් මම අත් දුටු ඒවා නෙවෙයි’ දීපිකා පවසයි. ‘ඒත් ඒ රැයේ මම ඉතාමත් බිහිසුණු අත්දැකීම් ලැබූ බවත්, මාස දහයක් මානසික ප්‍රතිකාර ලැබූ බවත් සත්‍යයක්. මම මගේ අත්දැකීම් බාලාජි නමැති මගේ මිතුරකුට කීවා. ඒ ගැන එක්තා කපූර්ට පවසා තිබුණේ බාලාජියි. ඊළඟට එක්තා කපූර් මා හමුවීමට ආවා.’

දීපිකා ලැබූ සත්‍ය අත්දැකීම් අතරට ප්‍රබන්ධාත්මක සිද්ධීන් ද ඇතුළත් කොට හොලිවුඩයේ ප්‍රකට ‘පැරනෝමල් ඇක්ටිවිටි’ චිත්‍රපට පෙළ හා සමාන චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට එක්තා කපූර් තීරණය කර ඇත්තේ දීපිකා හා කළ කතාබහෙන් අනතුරුවය. ඇය එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම පැවරුවේ පාවන් ක්‍රිපලානිටය.

කයිනාශ් මෝතිවාලා රාගිනි ලෙස ද, රාජ් කුමාර් යාදේව් උදේ ලෙස ද රඟපෑ රාගිනි එම් එම් එස් චිත්‍රපටය රූගත කිරීමට ගත වී තිබුණේ දින 25 කි. රාගිනි එම් එම් එස් තිරගත වූ පළමු සතියේ ඉන්දීය රුපියල් කෝටි 7.75 ක ආදායමක් ලැබූ අතර දෙවැනි සතිය අවසන් වන විට එය ලබා තිබූ ආදායම කෝටි 9.94 ක් වූයේය. චිත්‍රපටය නිපයන්නට වැය වූ මුදල එය ප්‍රදර්ශනය අරඹා දින දෙකක් ඇතුළත ඉපැයූ බව පැවසිණි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු