මල් පෙත්තක පන් හිදකින් ආදරය ලිය ලියා

‘මේ ටික කාලයත් මාත් එක්ක ඉන්න’

‘ඔරිජිනල්ස්’ ගෙන එමින් රොම්ලස් කියයි

‘ආයි නාවෙ මා සොයලා

හිතේ සංකා මවා තියා

ඇයි නාවේ සොයා’

ඔහු ගායකයෙක් බවට පත් කළ පළමු ගීතය එයයි. ගුවන් විදුලියෙන් මේ ගීය ප්‍රචාරය වූ මුල්ම දිනයේම එවන් වාසනාවක් උදා වේ යැයි ඔහුට සිහිනෙකින්වත් සිතෙන්නට නැත. එහෙත් එය ඒ ආකාරයෙන්ම සිදු විය.

ජේ. ඒ. රොම්ලස් පෙරේරා කියන ආදරණීය නම රසික සිත් සතන්වල සදා ලැගුම් ගනිමින් ජනප්‍රියත්වයේ ඉහළටම යන්නට මේ ගීතයම එදා ඉවහල් විය.

‘ඇයි නාවෙ’ ගීතය ගයන්නටත් පෙර විශාල ගීත ප්‍රමාණයක් ගුවන් විදුලියට ගයා තිබුණත් මෙවන් වාසනාවක් ළඟා කර ගන්නට ඔහුට අවස්ථාවක් නොලැබුණි.

ඉන්දියාවේ අසහාය ගායන ශිල්පී මොහම්මද් රෆී තාජ්මහල් චිත්‍රපටයට ගැයූ ජෝබාත්හෙ තුජෙ මේං ගීතයේ තනුවට අනුව රංජිත් පීරිස් අතින් ලියැවුණු මෙය එදා සිට අදටත් අහන්න අහන්න ආසා හිතෙන ලස්සන ගීතයකි. මේ ගීයත් සමඟම රොම්ලස් ගැයූ ‘මල් පෙත්තක පන්හිඳකින් ආදරය ලිය ලියා’ ගීතයෙනුත් තව තවත් ඉහළටම ඔහු ඔසවා තැබුවා පමණක් නොව ස්වතන්ත්‍ර ගායනයටත් ඔහුගේ ඇති අපූරු හැකියාව මනාව පෙන්නුම් කරන්නක් ද වූවා.

ප්‍රවීණ ගී පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් අතින් පබැදුණු මෙම ගීතයත් කොතරම් ජනප්‍රිය වූවා ද කීවොත් ආදරවන්තයන්ගේ පෙම් හසුන් මේ පදවැල්වලින් පිරී ඉතිරී ගියේ වරක් දෙවරක් නොවේ. මෙම ගීත දෙකම සංගීතවත් කරමින් රොම්ලස්ගේ ගායන දිවියේ අඩිතාලම සකස් කරමින් මඟ එළි පෙහෙළි කර දුන්නේ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණන්ය. ඔහු නොවන්නට රොම්ලස් කියා ගායකයෙක් බිහි නොවන්නටත් ඉඩකඩ තිබුණි.

ඉන් පසුව ඔහු ගැයූ ‘නීල ජලේ යමුනා සමීරේ සමීරේ, පැතුම් සමුදුරේ ආදරේ නෞකා පාවේ’, පාළු කතර මැද උපන් ලස්සන ළඳ’, ‘ඉරිදා ඔබ හිරු සේ පෙනෙයි’, ‘රුහුණු කතරගම කඳ දෙව් සාමිනේ’, ‘කලා මැදිරිය මගේ ඇඳිරිය’ වැනි ජනප්‍රියම ගීත රාශියක් වසර පනස් දෙකක ඔහුගේ ගීත චාරිකාවේ අමරණීයව සටහන් වී ඇත. අවාසනාවකට අලුත් පරම්පරාවට මේ ගීත කොයි තරම් දුරකට රස විඳින්නට ලැබී ඇද්දැයි ගැටලුවකි.

එයට තිරසාර විසඳුමක් දැන් ලැබී ඇත්තේය. රොම්ලස් පෙරේරා ගැයූ මෙම ගීත ඇතුළුව ජනප්‍රිය ගීත දහතුනක් හා නවතම ගීතයකින් සැදුම් ලත් සංයුක්ත තැටියක් පසුගියදා ඔහු රසික දෝතට තිළිණ කළේය.

‘රොම්ලස්ගෙන් ඔරිජිනල්ස්’ ලෙස නම් කර ඇති මෙය ඔහුගේ එදා ගැයූ ඒ මධුර වූ ආකර්ෂණීය තාරුණ්‍යයේ හඩින්ම සකස් කර තිබීම මේ සංයුක්ත තැටියේ ඇති විශේෂත්වයයි. මෙහි ඇති සුවිශේෂත්වය නම් රොම්ලස්ගේ දියණියක මෙහි නිෂ්පාදිකාව වීමයි. ඇයට අවශ්‍යව ඇත්තේ එදා සුවහසක් රසිකයන් පින වූ සිය පියාගේ හඬ නැවතත් රටේ ජනප්‍රිය කර අලුත් පරපුරටත් මෙම ගීවල ඇති රසය බෙදා දීමටයි. එය පියකුට ආදරය ඇති නියම දරුවකුගේ උතුම් කටයුත්තකි. අද බොහෝ ගායක පුතුන් පියවරුන්ගේ ගීතම කිය කියා සිටිනා කාලයක මෙවන් අදහසක් ඒමත් කොයි තරම් උතුම් දෙයක්ද ?.

පසුගියදා රොම්ලස් පෙරේරා හදිසියේම සරසවියට ගොඩ වූයේ ඔහුගේ රසික රසිකාවන්ට මෙම අලුත්ම සී. ඩී. තැටියේ තතු පහදන්නටය. මේ පිළිබඳ නොයෙකුත් කතා අප අතර ඇති විය. මේ ලියැවෙන්නේ එම කතාබහට ලක් වූ දේවල්ය.

මෙම තැටියට ඔබ නම යොදා ඇත්තේ ‘රොම්ලස්ගෙන් ඔරිජිනල්ස්’ නමින්. එතෙන්දි පොඩි අපැහැදිලිකමක් තියෙනවා. මොකද මෙහි වැඩි හරියක් ඇතුළත් වෙලා තියෙන්නේ හින්දි තනුවලට නිර්මාණය කෙරුණු ගීත. ඉතින් ‘ඔරිජිනල්ස්’ කියන්නේ කොහොමද?

‘ඒක ඇත්ත. මේ ඔරිජිනල්ස් කියන්නේ මම ගායනා කරපු පළමු පිටපත මේ තියෙන්නේ. ඒ කියන්නේ මම මේ ගීත ගැයුවේ එදා ඊ. පී. ලේබලයෙන් ආපු තැටිවලට. ඒ මුල් තැටිවලින්මයි මේ සී. ඩී. තැටිය නිර්මාණය කළේ. මේකෙ තියෙන්නේ මගේ මුල්ම කටහඬ.

කොයි කාලෙද මේවා ගායනා කළේ?

හැත්තෑව අවුරුද්දේ තමයි ඇයි නාවෙ, මල් පෙත්තක වගේ ගීත තැටිගත කළේ.

ඒ කියන්නේ මේ ගීතවලට දැන් වයස අවුරුදු හතළිහකට වැඩියි. එච්චර කලක් යන විට සීරීම්වලට ලක්වීමෙන් ශ්‍රවණයට බාධාවක් වෙන්නෙ නැද්ද?

ඇත්තටම කාලයක් යන කොට ඕනෑම ගී තැටියකට එහෙම වෙන්න පුළුවන්. මේ ගීතවලත් එවැනි හඬවල් තිබුණා. ඒ සේරම මම නව තාක්ෂණය උපයෝගී කරගෙන මදුරාසියේ ෆොනෝ ග්ලේම්ස් ශබ්දාගාරයේදී සුද්ද කරලා නැවත පටිගත කළා. දැන් කිසිම බාධාවකින් තොරව අහන්න පුළුවන්.

මෙම ගීත එකතුවට අලුත්ම ගීතයකුත් ඇතුළත් වෙලා තියෙනවා?

ඔව්, ඇත්තටම ඒක මට විශේෂ ගීතයක්. ඉන්දියාවේදී මට අහම්බෙන් වගේ මොහම්මද් රෆී ගායනා කරපු ‘පර්දේශ්‍යු තේරී අකියා මිලානා’ කියන ගීතයේ රෆී ගායනා කරපු ගීතයේම ට්‍රැක් එක හම්බ වුණා. මොහිදීන් බෙග් මාස්ටර් ‘සුදු සඳ රැස් ගලන’ ගීතය ගයන්නේත් මේ තාලයට. ඉතින් මම මේකට ‘බුදු හිමි රැස් ගලන’ කියලා වසන්ත රෝහණට කියලා වචන දම්මලා ගායනා කළා මදුරාසියේදීම.

රෆීගේ ගීතයක් ගයන්න අමාරු වුණේ නැද්ද?

අමාරු වුණාද අහනවා. රෆී ඒක කියලා තියෙන්නේ ජී (ට්) මයිනර් කියන ස්කේල් එකෙන්, හරි ඉහළයි. මම මේක ලංකාවේදී හොඳට ප්‍රැක්ටිස් කළා. අපරාදෙ කියන්න බෑ පැය බාගෙන් ගීතය කිව්වා.

මෙහි නිෂ්පාදිකාව ඔබගේ දියණියක් කිව්වා. ඇයි පරණ හඬින්ම ඇය මෙය නිෂ්පාදනය කළේ?

එයා හරි ආසයි පැරැණි ගීතවලට. මට නිතරම කියපු දෙයක් තමයි ‘තාත්තෙ මේ ගීත ටික පරිස්සම් කර ගන්න. මට පුළුවන් වුණ කාලෙක කරන්නම්’ කියලා. ඒ වගේම ඇය කළා. ඇයත් සංගීතයට විශේෂ ලැදියාවක් තියෙන කෙනෙක්. එයා සනත් නන්දසිරි මහතා යටතේ විශාරද විභාගයත් කරලා තියෙන්නේ.

අනෙක් දරුවන් සංගීතයට යොමු වුණේ නැද්ද?

මට ඉන්නේ දුවලා දෙන්නයි, එක පුතයි. පුතාටත් ගායන හැකියාව තියෙනවා. නමුත් මගේ ගීත එයාට කියන්න කැමැත්තක් නැහැ. එයා කියන්නේ තාත්තලා දුක් මහන්සි වෙලා කියපු ගීත, අපි නිකම්ම අරන් කියන එක හොඳ දෙයක් නෙමෙයි කියලා. එයාටත් ඕන මගේම හඬින් මේවා පවත්වා ගෙන යන්න.

ඔරිජිනල්ස් සී. ඩී. තැටියට විශිෂ්ට කලාකරුවෝ ගොඩක් දායක වෙලා තියෙනවා නේද?

ඔව්, මෙහි ගීත වැඩි හරියක් රචනා කරලා තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්. ඒ වගේම රඹුකන සිද්ධාර්ථ හිමියන්, ධර්මසිරි ගමගේ, හේම ශ්‍රී අල්විස්, වසන්ත රෝහණ වගේම හඩ්සන් සමරසිංහ මහතාත් ගීතයක් ලියා තිබෙනවා. සංගීතයෙන් මොහොමඩ් සාලි, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය රෝහණ වීරසිංහයන්, ටියුලින් ජයරත්න, ඩී. ඩී. ගුණසේන දායක වෙනවා.

ඇයි හින්දි ගීතවලින්ම ඔබේ මුල් කාලයේ ගීත නිර්මාණය වෙලා තියෙන්නේ?

මම විතරක් නෙමෙයි. එච්. ආර්. ජෝතිපාල, සිසිර සේනාරත්න, ධර්මදාස වල්පොල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි මේ සෑම කෙනෙක්ම ක්ෂේත්‍රයට ආවේ හින්දි තනුවලට ගීත ගයලා. ඒක වෙනස් වුණේ සනත් නන්දසිරි, වික්ටර් රත්නායක ආවට පස්සේ.

ජීවිතේ ගැන ආපසු හැරිලා බලන කොට මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. හැම දෙයක්ම හොඳින් කෙරෙනවා. එක කනගාටුවක් තියෙනවා. මේ ගීතවලට සම්බන්ධ වුණ ගොඩාක් අය අද ජීවතුන් අතර නැහැ. ඔවුන් සියලු දෙනාවම සිහිපත් කරන්න මේ වෙලාව යොදා ගන්නවා.

තවමත් ගයන්න පුළුවන්ද?

අපරාදෙ කියන්න බෑ එදා වගේම.

දැන් වයස කියන්න කැමතිද?

ඇයි අකමැති. හැට නමයට පොඩ්ඩක් අඩුයි.

තවමත් කොල්ල වගේ ඉන්නෙ කොහොමද?

මධ්‍යම ප්‍රතිපදාව නිසා. හැම දෙයක්ම එහෙමයි. ධර්මානුකූල ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒකයි නිරෝගී බවේ රහස.

අවසානයට රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ?

ඒ අය නිසා තමයි රොම්ලස් පෙරේරා කියන නම මෙච්චර කලක් පැවතුණේ. මේ ටික කාලයත් මා සමඟ ඉන්න කියලා තමයි කියන්නේ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු