මම කවදහරි මැරෙන්නෙ කලාකරුවෙකු හැටියට
ඔබ කලාව
විකුණගෙන
කනවාද?
ජැක්සන් ඇන්තනි ගෙන් අසමු
ප්‍රසිද්ධියේ ගෙල වැලලා ගන්න මට
වෙලාවකට හිතෙනවා
තුරල් ව තිබූ වැස්ස පෙරට ද වැඩි වේගයෙන් යළි ඇද හැළේ. දහවල හිරු රශ්මියෙන්
ගිනියම්ව තිබූ කොළඹ නගරය ඒ වැසි දියෙන් සේදී යන්නේ විඩාබර ගත මෙන්ම සිත ද නැවුම්
සිසිලසකින් පුරවාලමිනි.
‘අන්න වාහනේ එනවා’
ඒ ‘සරසවිය’ ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්නයන්ගේ හඬය. පත්තර මහ ගෙදර කර්තෘ මණ්ඩල
දොරටුවෙන් පඩි පෙළ බැස ගත් අප ඊළඟ ඇසිල්ලේ වෑන් රියට කඩා වැදුණේ ඒ මහ වැසි දියෙන්
තෙතබරිත වෙමිනි.
‘මචං කොහෙද ඉන්නේ’
තවත් මොහොතකින් අරුණගේ ජංගම දුරකථනය වෙත ආ ඇමතුම මට ද යන්තමින් ඇසිණි. ‘අපි දැන් මේ
ළඟ’ යැයි පිළිතුරු දුන් අරුණ මදෙස බලමින් ‘ජැක්සන් ඇවිත්’ යැයි පැවසූයේ මදහසක්
පාමිණි.
‘ජැක්සන් ඇන්තනි’
ඔහු හඳුන්වා දීමට ඒ නමම විනා වෙනත් ආලවට්ටම් කිසිවත් අවශ්‍යය නැත. ලාංකේය ජන සමාජයට
මේ සොඳුරු කලාකරුවා අරුමැසි මිනිසා ඒ තරමටම සමීපය.
වැස්ස යළි තුරල්ව ගොසිනි. තරු කැට එකින් එක පායා එන්නේ අහසේ වැසි අඳුර වෙනතක පලවා
හරිමිනි. අඩ හෝරා අඩකින් පමණ අප නියමිත තැනට පැමිණ සිටින්නෙමු. ඒ කොළඹ 07, මල් පාරේ
පිහිටි පීච්වැලි චීන අවන්හලයි.
‘මම වෙලාවට ආවා’
සුපුරුදු, සුහද මිත්‍රශීලිත්වයෙන් අප පිළිගන්නා ජැක්සන් අපට පවසයි. මෙවන් ඉසිඹුවක්
ලබන්නට ජැක්සන්ට ඉඩකඩ ලැබෙන්නේ කලාතුරකින් විය යුතුය.
‘ඇත්තටම ජැක්සන්, කොහොමද මේ කාලය කළමනාකරණය කර ගන්නේ?
කාලයෙන් අපට වඩා බොහෝ වැඩ ගන්නා ජැක්සන්ගෙන් අරුණ අයියා එසේ විමසන්නේ අප සංවාදයට
ප්‍රවේශයක් ලෙසිනි.
‘වෙලාවකට මට හිතෙනවා . . .’
ඔහු කතාබහ අරඹයි.
වෙලාවකට මට හිතෙනවා මම ඕනෑවට වැඩියි ද කියලා. මම ලොකුª වටිනාකමක්, ලොකුª ගෞරවයක්
ලබනවා වැඩ ගොඩක් කරනවා කියලා. හැබැයි ඒකට මම විඳීන මහන්සිය අති විශාලයි. හැම
ක්ෂේත්‍රයක්ම මගේ මෙහෙම පළල් වේගෙන එනවානේ. එකක් අඩු එකක් වැඩි කියලා නෑ. හැබැයි
ඉතිං මම ශූර ලෙස කාලය කළමනාකරණය කරනවා.
මාරාන්තික සටනක් එක පැත්තකින් බැලුවොත්?
ලොකු සටනක්. වෙලාවකට මට හිතෙනවා මෙච්චර විෂය ක්ෂේත්‍රවලට නොගියා නම් නිවි හැනහිල්ලේ
ඉන්න තිබුණානේ කියලා. මේ ගැන මට වෙලාවකට නොරිස්සුමක් එනවා.
නෑ මට ආයේ හිතෙනවා එකා, දහ දෙනෙකුගේ වැඩ කරන්න ඕනෑ කාලයක් කියලා මේක. අද මාධ්‍ය
කලාව, සිනමාව, වේදිකාව, ටෙලි නාට්‍යය මේ හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමට ලක්වෙලා. ඒ
කඩා වැටීමෙන් ගොඩ යන්න නම් ඒ ඒක් එක් ක්ෂේත්‍රගත අය දැඩි වෙහෙසක් දරන්න ඕනෑ. ඒ නිසා
ඒ හැම ක්ෂේත්‍රයකටම සොල්දාදුවන් ඕනෑ කර තිබෙනවා. හරියට මේක යුද්ධයක් වගේ.
යුද්දෙ කරන්න සොල්දාදුවන් ඕනෑනේ. මම ක්ෂේත්‍ර ගොඩක දැඩි වෙහෙසක් දරා කටයුතු කරන්නේ
මේ නිසයි. චිත්‍රපටයක රඟපාලා ඊළඟ එක එනකම් නිසොල්මනේ කල් ගත කරන්න, එහෙම
අස්වැසිල්ලක් මට නෑ. එහෙම ප්‍රීතියක් භුක්ති විදින්න මට බෑ. නමුත් කවදා හරි අපේ
දරුවන්වත් ඒ ප්‍රීතිය භුක්ති විඳීවිනේ. මම කියන්නේ අපි පරිප්පු කෑවා කියලා ඊළඟ
පරම්පරාවත් පරිප්පු කන්න ඕනෑ නැහැ.
අවන්හලේ සිටිනා සේවකයන් පවා ජැක්සන්ගේ කතාවට සවන් යොමන්නේ මහත් ඕනෑකමින් යුතුවය.
හැඳි, ගෑරුප්පු හඬ පරයමින් ජැක්සන්ගේ හඬ අප දෙසවන් අතරට කිඳා බසියි.
අපේ රටේ අවුරුදු තිහක් තිස්සේ යුද්ධයක් තිබුණා කිව්වට මගේ නම් කාලය ඊට වැඩියි.
නමුත් අපි හරියටම අවුරුදු තිහයි කියලා ගම්මුකෝ. රටක් අර්බුදයට පත් වෙද්දී ඉස්සර
වෙලාම අයින් කරන්නේ විනෝදාස්වාදය සඳහා යොදවන මුදල්නේ. අවුරුදු තිහක් තිස්සේ
එන්ටර්ටේනින් බජට් එක කපා ගත්ත රටක අපි ජීවත් වෙන්නේ. දැන් අවුරුදු ගාණක් තිස්සේ
රසඥතාවය දියුණු කරන්න, මේ චින්තනය වගා කරන්න ඕනෑ කියලා සත පහක්වත් වෙන් වෙන්නේ නෑ
මේ බජට් එකෙන්. මේ අර්බුදකාරී ලෝකයේ කලාවට ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලමයි. ඉතිං ඒ
කුඩම්මාගේ දරුවොනේ අපි.
ඒ කියන්නේ ඔබේ පරම්පරාව කලාවට පිවිසෙන්නේ මේ කඩා වැටුණුු සංස්කෘතික පසුබිමත් එක්ක?
අපි කලාවේ රං කිරි කට ගෑවේ 70 දශකයේනේ. ඒ කාලයේ අපට හොඳ සිනමාවක්, නාට්‍ය කලාවක්,
හොඳ විචාර කලාවක්, වගේම තිබුණ එකම විද්‍යුත් මාධ්‍ය ජාතික ගුවන් විදුලිය. මේ හැම
දේම හරිම ගුණාත්මකයි. ඒකෙන් රං කිරි කට ගාලා අපි ගොඩ බහින කොට 80 දශකයට මෙන්න
අර්බුදය පටන් අරගෙන.
පුදන කොටම කාපි යකා කියලා?
ඔව්, 83 ජූලි කලබලවලදී අපිම ගිනි තියා ගත්තා. ගහ මරා ගත්තා. අපි තමා අවාසනාවන්තම
පරම්පරාව. ඒ නිසා තමයි මම කියන්නේ අපි සොල්දාදුවො වගේ වෙන්න ඕනෑ කියලා.
එතකොට ඔබ කලාකරුවෙක්නේ. කලාකරුවෙකුට පුළුවන්ද සොල්දාදුවෙක් වෙන්න?
ලංකාවේ කලාකරුවෙකුට සුගම්‍ය ජීවිතයක් ගත කරන්න බෑ. වර්තමානයේ සොල්දාදුවෙක් වගේ
මහන්සි වෙන්න ඕනෑ. එහෙම නැතිනම් ගොවිරාල කෙනෙක් වගේ මහන්සි වෙන්න ඕනෑ. ශුෂ්ක කලාපයේ
ගොවිරාල කෙනෙක් කොච්චර මහන්සි වෙනවද? එහෙම වෙන්න වෙලා තියෙනවා. සාමාන්‍ය කලාකරුවකුට
සොල්දාදුවෙක් වගේ හිතන්න බැහැ. ගොවිරාල කෙනෙක් වගේ දරදඬු ලෙස හිතන්න බැහැ. හිතන්න
ඕනෑත් නැහැ. හැබැයි අපි ඒ විඳපු පීඩාවෙන් මිදෙන්න නම් අපිට සිද්ධ වෙනවා
සොල්දාදුවෙක් වගේ, ගොවිරාල කෙනෙක් වගේ, ධීවරයෙක් වගේ හිතන්න සහ වැඩ කරන්න. හේතුව
තමයි අපි අවුරුදු ගාණක් පසුපසට ගිය රටක්. 2009 යුද්ධය ඉවර කරලා ආපහු හැරිලා බලන කොට
අපි අවුරුදු තිහක් පසු බැහැලා. ලෝකය අවුරුදු හැටක් ඉදිරියට ගිහිල්ලා. හොලිවුඩය,
ඉන්දියාව, ඉරානය, චෙකොස්ලොවෙකියාව, කොරියාව, සිංගප්පූරුව පවා අපට වඩා ඉතා ඉහළින්
සිනමාව දියුණු කරගෙන. දැන් අපි මොකද කරන්නේ. අපි වහාම ඉදිරි පිම්මක් පනින්න ඕනෑ.
එතකොට එක පුද්ගලයාට සිදු වෙනවා චරිත හතරක් පහක් රඟපාන්න. ඒකයි මම කියන්නේ.
අපි කතා කරන්නේ කලාව ගැනනේ. සැබෑ කලාකරුවාට විවේක බුද්ධියක් තියෙන්න එපායැ?
අනිවාර්යයෙන්ම . .
ඔහොම අධිවේගී ගමනකට ගිහින් පුළුවන් ද සැබෑ කලා නිර්මාණ බිහි කරන්න?
ලෝකයේ විශිෂ්ටතම සාහිත්‍යය කෘති රැසක් බිහි වන්නේ රුසියානු විප්ලවයත් එක්කනේ.
‘අම්මා’ ලියද්දී මැක්සිම් ගෝර්කිට සංහිඳීයාවක් තිබුණේ නැහැ. අති විශාල විප්ලව
කෝලාහාල, දුම්රොටු, වෙඩි හඬ මැද්දෙනේ එයාලා ලිව්වේ. භාරතීය කලා රසාස්වාදය ගොඩ නඟන්න
කාලිදාසලාට, භරතමුනිලට තිබ්බ සංහිඳීයාව ලෝකයේ කාටවත් ලැබිලා නැහැ. ප්‍රංශයේ
කලාකරුවෝ ගොඩ නැගුණේ ප්‍රංශ විප්ලව මැද්දේ. ඒ නිසා අපේ වෙහෙස අපි පොහොරක් කර ගන්න
ඕනෑ. දැනට මම චිත්‍රපට තිර නාටක තුනක් ටයිප් ගහලා තියාගෙන ඉන්නවා. මම වැඩ. දහදිය
පෙරාගෙන වැඩ. එහෙම නැතුව බෑ අසංක මේ රට ගොඩ ගන්න. මම කියන්නේ තව මම වගේ මිනිස්සු
අවශ්‍යයි මේ රටට.
ඔබට තියෙන ඔය කැක්කුම සෙසු කලාකරුවන්ට තියෙනවද? නැත්නම් ඔබ හුදෙකලා සටනකද නිරත
වෙන්නේ?
මම හැම වෙලාවෙම මගේ පරම්පරාව ගැන ආඩම්බරෙන් ඉන්නේ. මම හිතනවා මගේ පරම්පරාවේ බොහෝ
දෙනෙක් ඒ වගේ කියලා. මොකද හේතුව අපි අර නරා වලෙන් ගොඩට ආපු මිනිස්සු. අපිට තිබුණේ
නෑ සංහිඳියාවක්. ඔය ජයන්තලා, ශ්‍රියන්තලා, මහේන්ද්‍රලා අපි කණ්ඩායමත් එක්ක ආපු
හැමෝගෙම තියෙනවා ඔය ජවය. කොහොම හරි කට්ට කාගෙන වැඩේ කරගෙන යනවා තමන්ට පුළුවන්
විදිහට. ඒ තමයි අර ලැබිච්ච පොහොර ටික.
ඒක පොහොර සහනාධාරයකුත් නෙවෙයි?
නැහැ. අසංක, අපේ හත් මුතුපරම්පරාවේම කලාවට සම්බන්ධ කෙනෙක් හිටියේ නැහැ. ඉංග්‍රීසි
කතා කරන, කලිසම් අඳින කෙනෙකුට පොඩි වී කුඹුර අපේ ගමටම හිටියේ ඒ කාලේ තාත්තා විතරයි.
වී ගොවිතැනින් ජීවත් වූ අහිංසක ගැමියන් තමයි එහේ වැඩිපුර හිටියේ. ඉතිං කලාකරුවෙක්
වෙනවයි කියන දේ පොඩි කාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණෙම නැති දෙයක්. හැබැයි මම මේ ගමේ
කඩුල්ල පනිනවයි කියන උවමනාව පොඩි කාලේ ඉඳලම මට තිබුණා. මගේ පැවැත්මට ප්‍රධාන හේතුව
අධ්‍යාපනයනේ. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනය. ටියුෂන් කඩයක්වත් තිබුණේ නෑනේ ඒ කාලේ.
කන්නන්ගර මහත්තයට පින් සිද්ධ වෙන්න ස්කෝලෙන් ස්කෝලයට, විශ්ව විද්‍යාලයට ඔහොමනේ අපි
ආවේ. අපේ කලා රසඥතාවය ගොඩ නැඟෙන්නේ අධ්‍යාපන පසුබිමත් එක්ක. ඒත් අපි කලාවට පා
තැබුවේ අර්බුදයකුත් එක්ක කියලා මම කිව්වනේ. අපේ පරම්පරාවෙ හැමෝටම මේ අර්බුදය
බලපෑවා.
අර දුවගේ උප්පැන්න සහතිකේ පියාගේ රැකියාව ‘කලාකරු’ කියලා දාලා ජැක්සන්ට යම් පීඩාවකට
ලක් වෙන්න වරක් සිදු වුණානේ. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලාද?
අතීත සිදුවීමක් යළි වර්තමානයට ගෙන එමින් අරුණ අයියා එසේ විමසයි.
දැන් මෙහෙමයිනේ, මම අධ්‍යාපනය හදාරන්නේ මුලදීී රැකියාවක් කරන්න හිතාගෙන නෙවෙයිනේ.
විශ්ව විද්‍යාලයේ පළමු වසරේදීම මම පිස්සෙක් විදිහට අසීමිත ලෙස ජනප්‍රිය වුණා. මගේ
පළමුවැනි වසරේ ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව හා සිංහල විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ
තිබුණා. එතකොට මට ඉකෝන් ස්පෙෂල්, ජෝග්‍රොෆි ස්පෙෂල් කරන්න තිබුණා. මම ඉල්ලුවේ සිංහල
ස්පෙෂල්. මට තවම මතකයි ජේ. බී. දිසානායක මහාචර්යතුමා මගේ ඇප්ලිකේෂන් එක දැකලා
‘තමුසෙට පිස්සුද ඕයි’ කියලා ඇහුවා. සිංහල විශේෂවේදී උපාධියක් අරගෙන ගුරු වෘත්තිය
හැර වෙන කරන්න කිසිම රස්සාවක් නැහැ. සාමාන්‍ය සාමාර්ථයක් ගත්තම ඇති ගුරු වෘත්තිය
කරන්න. රක්ෂාවක් නොකරමි කියන තැනමයි මම හිටියේ. මේ කලා විෂය පථය හරහා ආවම සෞන්දර්ය
විෂයයන් ඉගෙන ගන්න පුළුවන්. ඒ කාලේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයවත් තිබුණේ නැහැ. මම
අසූ පහේ විශ්ව විද්‍යාලයෙන් පිට වුණේ. ඒ අවුරුද්දෙම කසාද බැන්දා. රැකියාවක් නෑ. ඒත්
ආඩම්බරයෙන් හිටියා.
රැකියාවකුත් නැතිව ආඩම්බරයෙන් හිටියා?
ඔව් . . . ජීවත් වෙන්න ලොකු ධනයක් ඕනෑ නෑනේ. මම එතකොට නාට්‍යවල රඟපානවා. එක
නාට්‍යයකින් රුපියල් දෙසිය පනහක් ලැබෙනවා. චිත්‍ර කතා අඳිනවා. ඒකෙනුත් මුදලක් හම්බ
වෙනවා. කුමාරි එතකොටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ. එයාට තමයි ණය ගන්න
පුළුවන්. ඒ නිසා පළමුවැනි බයික් එක ගත්තේ එයාගේ ලෝන් එකෙන්. දෙවැනි බයික් එක
ගත්තෙත් එයාගේ ලෝන් එකකින්. දුව ඉපදුන දවසේ සොයිසා වාට්ටුවේ නර්ස් ඇහුවා පියාගේ
රැකියාව මොකක්ද කියලා. මම බොහොම ආඩම්බරයෙන් කිව්වා ‘වෘත්තීය කලාකරු’ කියලා’. නර්ස්
මගේ දිහා බලලා බොහොම දුකෙන් ඇහුවා ‘අනේ ඔයාට රස්සාවක් නැද්ද’ කියලා. මට ඒ වෙලාවේ
කඩාගෙන වැටෙන්න හිතුණා. එදාම තීරණය කළා ඊළඟ දරුවා ලැබෙන්න කලින් කොහොම හරි
රැකියාවක් කරනවා කියලා. ඊට පස්සේ මම අයදුම් පතක් යොමු කළා පුවත්පතක තිබුණ
දැන්වීමකට. ඒ රැකියාව මට ලැබුණා. දෙවැනි දරුවා හම්බ වෙන්න ඉන්න කොට මම සහකාර
පුස්තකාලාධිපති. ආයේ තුන්වැනි දරුවා හම්බ වෙන කොට ‘වෘත්තීය කලාකරු’.
නමුත් ඉන් පසු ඔබ විද්‍යුත් මාධ්‍ය කලාවට සම්බන්ධ වී ලංකාවේ දැවැන්ත චරිතයක් බවට
පත් වෙනවා?
ඔව්,! මම මුලින්ම සම්බන්ධ වෙන්නේ ‘සවන’ ගුවන් විදුලියට. එතනින් තමයි මාව
ස්වර්ණවාහිනියට තෝරා ගන්නේ. වසර දහයක් පුරා මම එතන සේවය කළා. ඒ තමයි මගේ දීර්ඝතම
රැකියාව. ඉතිහාසය, සංස්කෘතිය මේ වගේ දේවල් සමාජගත කරන්න ඕනෑ කියලා මගේ තියෙන
වුවමනාවට ලොකුම ඉඩකඩ විවර වුණේ ස්වර්ණවාහිනියෙන්නේ. ගම් මඩු නැටුවා, දෙවොල් මඩු
නැටුවා. අලස විෂයයක් කියා පැත්තකට විසි කරලා දාලා තිබුණ ඉතිහාසය අරගෙන ජනප්‍රිය වැඩ
සටහනක් කළා. ‘මහා සිංහලේ වංශ කතාව‘ කියලා. ‘ගඟ දිගේ’ හැදුවා. ‘සලං හංතේ’ ගියා. රෝම
පුරාණය කළා. මේ හැම දෙයක්ම කළේ ස්වර්ණවාහිනියේ ඉඳගෙන. මම නැමැති නළුවා, පිටපත්
රචකයාට අමතරව මම නැමැති ප්‍රකාශකයා බිහි වෙන්නේ ඒ විද්‍යුත් මාධ්‍යය හරහානේ. මම
කිසිම හැලහැප්පීමක් නැතිව එතැන වසර දහයක් සේවය කරලා සමු අරගෙන නැවත අර රැකියා
විරහිත උපාධිධාරියා බවට පත් වුණා.
හැබැයි ඔබ එතන ඉඳන් කලාව මාර්කට් කරන්න පටන් ගන්නවා?
ඔබට එය අහන්න පුළුවන්. හොඳ ප්‍රශ්නයක්. අපි ජීවත් වෙන්නේ වෙළෙඳවාදී සමාජයක. 1977 මේ
රටට විවෘත වෙළෙඳ ආර්ථිකය නිර්දේශ කළා. අනාදිමත් කාලයක සිට සුබසාධන රාජ්‍යයක සිටි
අපි මේ අලුත් සංකල්පයෙන් තුෂ්නිම්භූත වුණා. ඒ තුෂ්නිම්භූතයෙන් තමයි අපි මේ තාමත්
දැපනේ වැටිලා ඉන්නේ. අද ජාත්‍යන්තරයම වෙළෙඳ ආර්ථිකයක ඉන්නේ. අපටත් ඒකට විරුද්ධ
වෙන්න බැහැ. වෙළෙඳ ආර්ථිකය යනු කුමක් ද? විකිණිය නොහැකි භාණ්ඩයක් වෙළෙඳ පොළේ
තියෙන්න බැහැනේ. ඒ නිසා හැම දේම මාර්කට් වෙන්න ඕනෑ. හැබැයි මම මාර්කට් කළේ හොඳ දේ.
මෙන්න මේකයි මගේ තියෙන වෙනස. විකිණිය හැක්කේ බාල දේ පමණි කියලා දුර්මතයක් මේ සමාජයේ
තිබුණානේ. සිනමාවේ අපි හදා ගත්තා සම්භාව්‍ය සහ වාණිජ කියලා. ඒ කියන්නේ වෙළඳාම අපි
වෙන් කළා. මේකට මම විරුද්ධයි.
ඇයි ඒ?
දැන් ගුණාත්මක දේ අලෙවි නොකොට එය ප්‍රකට වෙන්නේ නැහැනේ. බාල දේ අලෙවි වෙනවා කියන්නේ
බාල දේ ප්‍රකට වෙනවා. ඒ කියන්නේ මේ වායු ගෝලයට ඇතුළු වන්නේ බාල දේ. ඒ වායු ගෝලයෙන්
හුස්ම ගන්න මේ රටේ රසික ජනතාවගේ බුද්ධිය හීන වෙනවා. මගේ අරමුණ ගුණාත්මක දේ ප්‍රකට
කළ යුතුයි. ගුණාත්මක දේ ජනප්‍රිය කළ යුතුයි කියන කාරනාව. තවමත් මේ රටේ සිනමාවේ
වාර්තාගත ආදායමක් ඉපැයූ මිනිසා මමනේ. අද ‘කුස - පබා’ වාර්තා කඩා
ගෙන එනවා. එය වෙනම කාරණාවක්.
‘මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදණීය රාත්‍රියේ
අනංග දෙවොල්
දල්වා දීපවාලී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ’
මේ රසබර, අරුත්බර කතාබහ මැද්දේ විරූපී කුස විප්‍රලම්භ ශෘංගාරයෙන් දැවෙමින් පබාවතියට
ගයන ආයාචනාත්මක ගී රාවය මට මැවී පෙනේ. ජැක්සන් ඇන්තනි නමැති අපේ කාලයේ කුස එලෙස අප
හමුවට එන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘කුස පබා’ සිනමා පටය ඔස්සේය.
‘කුස පබා’ පන්සිය හතළිස් හතක් වූ ජාතක කතා පොතේ පන්සිය විසි තුන්වැනි ජාතකය. මේක බණ
කතාවක් . කර්තෘවරයා මේ බණ කතා ලියන්නේ හුදී ජන පහන් සංවේගය උදෙසා කියලනේ. ජනප්‍රිය
සංස්කෘතියට මෙය ලියන්නේ. වැඩි දෙනකුගේ සතුට පිණිස. මේ කුස ජාතකය ඇසුරෙන්ම තවත්
නිර්මාණයක් කරනවා 13 වැනි සියවසේදී දෙවැනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ ‘කව් සිළුමිණ’
කියලා. හැබැයි එතුමා කියන්නේ ‘පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ. . .’ කියලයි.
එතුමා මේක ලියන්නේ හුදී ජන පහන් සංවේගයට නොවේ. ඉතා උසස් රස වින්දනයකින් යුත්
පිරිසකට. දුර්ලභ, උගත්, බුද්ධිමත් පිරිසකට එයා මේක ලියන්නේ. දැන් මහාචාර්ය සුනිල්
ආරියරත්නයන්ට මේ චිත්‍රපටය කරද්දී ප්‍රධාන කාරණා දෙකක් තිබුණා. ‘කව් සිළුමිණ’
චිත්‍රපටගත කරනවාද නැතිනම් කුස ජාතකය සිනමාවට නඟනවාද කියා. ඔහු තෝරා ගත්තේ කුස
ජාතකය හරහා චිත්‍රපටයක් තනනවා කියන කාරණය. ඔහු ප්‍රචාරක මාධ්‍යයේදී භාවිත කරන්නේ
‘’පන්සිය පනස් ජාතක පොතෙන්’ කියලා. මේ චිත්‍රපටය ජනප්‍රිය චිත්‍රපටයක්. එයින් හුදී
ජන පහන් සංවේගයක් ඇති වුණා. ඒ නිසා තමයි කුස පබා මේ තරම් ජනප්‍රිය වුණේ .
ඒ කුස ජාතකය රඟපාන නළුවා ඔබ. එතකොට ඒ ජනප්‍රියත්වයේ ඔබත් කොටස්කරුවෙක්?
කොළඹ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ මගේ පර්යේෂණ නිබන්ධයට පාදක වුණේ ‘කව් සිළුමිණ’යි.
‘ස්ත්‍රිය, සම්ප්‍රදාය සහ කවි මඟ’ මගේ කෘතියේ නම. පිටු හාරසිය විස්සක් මේ නිබන්ධනයට
ඇතුළත්. තවමත් එය නොබිඳුණ වාර්තාවක් ඒ විශ්ව විද්‍යාලයේ. මම කතා කළේ ආසියාතික
ස්ත්‍රිය ගැන. ඒ ආසියාතික ස්ත්‍රියට මම අවසානයේදී ගත්තේ පබාවතී චරිතය කව් සිළුමිණ
හරහා. එතකොට මම කුස ජාතකය, කව් සිළුමිණ, කුසදාවත, කුස නාඩගම, කුස නූර්තිය, පබාවතී
මේ හැම කලා කෘතියක්ම අධ්‍යනය කරලා තමයි අර නිබන්ධනය කළේ. මේ නිබන්ධනය එම්. ඒ .
විභාගයට පවා සුදුසුයි කියා මහාචාර්ය ඒ. වී. සුරවීරයන් එම ග්‍රන්ථයේ සඳහන් කරනවා. ඒ
ශාස්ත්‍රීය නිබන්ධනය කරන කොටත් මම නළුවෙක්නේ. නළුවකුට ‘කුස’ චරිතය තරම් විෂය වන
චරිතයක් තවත් නැහැනේ.
කවදා හරි ඔබට සිතුණාද මෙවැනි දැවැන්ත චිත්‍රපටයක ‘කුස’ ගේ චරිතය රඟපාන්න ලැබෙයි
කියලා?
අසංක, මම හොඳ සුබවාදී මිනිහෙක්. මම හිතුවොත් දෙයක්, දෙයියන්ගේ පිහිටෙන් වරදින්නේ
නැහැ. මට විශාල සිහින නැහැ. මට බොහොම සුන්දර සිහින කිහිපයක් තියෙන්නේ. කවදා හරි
දවසක සුනිල් ආරියරත්නයන් මෙහෙම චිත්‍රපටයක් හදයි. ඒකට මට අඬ ගහයි කියලා මම දන්නේ
නැහැ. හැබැයි මගේ හිතේ කොනක තිබුණා කවදා හරි මේ චරිතය සිනමාවේ මට රඟපාන්න
ලැබෙනවාමයි කියලා. එහෙම තවත් සිහින මගේ තිබෙනවා. ඔය ‘ගිනි කෙළි සහ ගිනි අවි’, ‘බව
දුක හා බව කර්ම’ කියන්නෙත් මම එහෙම හිතන් හිටපු දේවල්.
’කුස’ චරිතය එක් එක් නිර්මාණවලදී අපට හමු වන්නේ එකම ආකාරයෙන් නෙවෙයි නේද?
නැහැ. කව් සිළුමිණේ’ මම දැකපු ‘කුස’ බොහොම ගාම්භීර චරිතයක්. පරාක්‍රමබාහු රජ්ජුරුවෝ
එයාගේ ජීවිතයම තමයි මේකට ඇතුළත් කරලා තියෙන්නේ. ජාතක කතා පොතේ ඉදිරිපත් කරන ‘කුස’
වනාහී බෝධිසත්ව චරිතයක්. සිනමාවේ මීට පෙර ජාතක කතාවක් නිරූපණය වුණේ ‘වෙසතුරු
සිරිතේ’ පමණයි. ඊට පස්සේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සේරිවාණිජ ජාතකය ඇසුරෙන් ‘කඳාවළලු’
නිර්මාණය කළා. ඒවායේ බෝධිසත්වයන් නැහැ. බෝධිසත්ව චරිතයක් කියන්නේ බුදු
හාමුදුරුවෝමයි. බුද්ධ භාෂිතයෙන් තමයි මේක දේශනා කරන්නේ. ‘පූර්ව ජන්මයකදී මා මෙලෙස
ජීවත් වුණා’ කියලා. බෝධිසත්ව චරිතයන් රඟපාන්න ලෝකෙ කිසිම නළුවකුට බෑ ලංකාවට එන්නේ
නැතිව. මනුෂ්‍ය ප්‍රාණියකු ලෙස බෝධිසත්වයෝ ජීවත් වෙන්නේ ලංකාවේ ජාතක කතා පොතේ
පමණයි. ඒ නිසයි ලෝකයේ ඕනෑම විශිෂ්ට නළුවකුට ලංකාවේ මූලාශ්‍ර නොගෙන එහෙම චරිතයක්
නිරූපණය කරන්නට බැරි. ජාතක පොතේ විවිධ ස්වරූපයෙන් බෝධිසත්වවරු පන්සිය හතළිස් හත්
දෙනෙකුª ඉන්නවා.
ජැක්සන්ගේ එකී, මෙකී, නොකී කලා භූමිකාවන්ට අමතරව ඔහු පහුගිය කාලයේ දේශපාලන ලෝකයේ ද
කැපී පෙනෙන චරිතයක් බට පත්ව සිටියේය. ඔහුගේ ඒ දේශපාලන භූමිකාව අතිශයින් විවාද
සම්පන්න, ආන්දෝලනාත්මක එකක් වූ බව රහසක් නොවේ. ජනතාවාදී කලාකරුවකු ලෙසින් ඔහු ගොඩ
නඟා ගත් යෝධ රූපකාය දේශපාලන මතවාද නිසා යම් යම් අවස්ථාවල දියාරු වී ගිය බවක් දක්නට
නොලැබුණාම නොවේ. ඒ හරහා ජැක්සන්ටමාධ්‍යය ඔස්සේ විවිධ චෝදනා, අපවාද, මඩ ගැසීම්වලට
මුහුණ දෙන්නට සිදු වූයේ වරක් දෙවරක් නොවේ.
අන්තර් ජාලය හරහා විවිධ ලෙස පහුගිය කාලේ පුරාවට මාව අර්ථකතනය කළා. මේකට එකම හේතුව
වෙන්නේ මගේ බහුවිධ භූමිකාවන්. මම නළුවෙක් පමණක් නම් ‘ගරිල්ලා මාර්කටිං’වලින් පස්සෙ
මාව දකින්නේ කුස විදිහට. මගේ දේශපාලන මතවාද ඉදිරිපත් කරද්දී බොහෝ පිරිසක් මඩ
ප්‍රහාර එල්ල කරනවා. මේ එන්නේ මන්ත්‍රීකමක්, ඇමැතිකමක් ලබා ගන්න, සංස්ථා සභාපතිකමක්
ලබා ගන්න කි යලා ඔවුන් හිතනවා ඇති්. , ඉඩමක් ලබා ගන්න, කාර් පර්මිටි එකක් ලබා ගන්න
කියලා. හැබැයි මේ වෙන කොට ඒ කිසිදු දෙයක් මම මේ රාජ්‍ය මැදිහත්වීමකින් ලබා ගෙන නෑ.
ලබා ගන්නෙත් නෑ. බොහොම අවංකව කියන්නේ මම මේ රටේ කවදා හරි මැරෙන්නේ කලාකරුවෙක්
හැටියට මිසක් දේශපාලනඥයෙක් හැටියට නෙවෙයි.
සැබෑ කලාකරුවා කියන්නේ සංවේදී පුද්ගලයෙක්. මේ සිත් රිදීම් කොහොමද විඳ දරා ගන්නේ?
මුළු රටටම පේන්න ගෝල්ෆේස් පිට්ටනියට ගිහින් බෙල්ලේ වැල දාගන්න හිතෙන වෙලාවලුත්
තියෙනවා. මොකද මම දන්නවා ඔය චෝදනාවලට මම නිර්දෝෂියි කියලා. නොකළ වරදකට මිනිහෙක්
චූදිතයෙක් වෙච්ච ගමන් එයාට ඇතිවන පළවෙනි හැඟීම කලකිරීමනේ . වේදනාවනේ. මම මානවයෙක්
හැටියට ඒ පළමු හැඟීම භූක්ති විඳීනවා. හැබැයි ඒ ක්ෂණයෙන් මම වහාම මේ සමාජය හඳුණා
ගන්නවා. ඒ හඳුනා ගැනීමත් සමඟ මට සිද්ධ වෙනවා මගේ සිත නිවා ගන්න. මා පිළිබඳ නිවැරදි
අර්ථකතනයක් එන දවසක් එන බව මට සක් සුදක් සේ විශ්වාසයි. මා කවදා හරි මිය ගිය දවසක
මගේ අවමංලගල්‍ය කතාව තමයි මා පිළිබඳ නිවැරදිම සංකල්පය පිළිබඳ කතාව බවට පත් වන්නේ.
එතැන් සිට ජැක්සන් ඇන්තනි කියන මතකය නමැති මිනිසා උපදිනවා. අන්න ඒ ආත්මය පරිපූර්ණ
කරන්නයි මම අද දවසේ ජීවත් වෙන්නේ.
සංලාපය –
අසංක දේවමිත්ර පෙරේරා
ඡායාරූපය –
මාලන් කරුණාරත්න
|