වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ වාරණය

මගේ වාරණය දාගන්නෙ මමමයි

ප්‍රවීණ මාධ්‍යවේදියකු, රංගන ශිල්පියකු, තිර රචකයකු, නවකතාකරුවකු මෙන්ම නම් දැරූ සම්මානනීය පරිවර්තකයකු වන කුමාර සිරිවර්ධන මේ වසරේ පරිවර්තන සාහිත්‍ය කලාවට එක් කළ කෘති සහ මෙරට පරිවර්තන කලාව පිළිබඳ අප සමඟ කළ කතා බහකි මේ...

මොනවාද මේ වසරේ ඔබෙන් පරිවර්තිත කෘති?

ජූනි මාසේ වෙද්දි ඩෑන් බ්‍රවුන්ගේ 'ඉන්ෆර්නෝ' පරිවර්තනය කළා 'නිරය' නමින්, සැප්තැම්බර් වෙද්දි ඔහුගේම 'ඔරිජින්' පොත 'සම්භවය' නමින් පරිවර්තනය කළා. අලෙක්සන්ඩර් ඩූමාස්ගේ 'ද වුල්ෆ් ලීඩර්' පොත 'වෘක නායකයා' නමින් මුද්‍රණයෙන් නිකුත් වුණා. තව පොත් කීපයක්ම නැවත මුද්‍රණ ලෙසත් පැමිණියා.

වඩා බරපතළ වුණේ කාගේ කෘතිද?

ඩෑන් බ්‍රවුන්ගේ පොත් බොහොම බැරෑරුම් කෘති. ඒ පොත් දෙකම පිටු 700 ඉක්මවන විශාල පොත්. නුතන තාක්ෂණය සමඟ බද්ධ වුණු ඉංග්‍රීසි වචනවලට තවමත් සිංහල පාරිභාෂික වචන පවා සැකසී නැති බොහොමයක් යෙදුම් සකසා ගත යුතු ඒවා. ඉන්ෆර්නෝ සහ ඔරිජින් පොත් දෙක සඳහා නිරන්තරයෙන් වෙනස්වන ඉංග්‍රීසි බසේ වචනවලට ගැළපෙන තේරුම් තවමත් අපේ බසේ සකස් වී නෑ.

ඉතින් ඔබ ඒ සඳහා අලුත් වචන හඳුන්වා දුන්නාද?

ඇත්තෙන්ම ඔව්. ඒ අවස්ථාවෙදි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවයි, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවයි එකතුවෙලා කරගෙන ගිය වැඩපිළිවෙළේ ශීඝ්‍ර කටයුත්තක් ලෙස පාරිභාෂික ශබ්දමාලා හඳුන්වා දීගෙන යන නිසා පරිගණක සම්බන්ධ ඇතැම් පාරිභාෂික වචන සොයා ගැනීමට එය උදව් වුණා. හැබැයි මම හිතනවා එය තවතවත් යාවත්කාලීන විය යුතුයි කියලා. සමහර අවස්ථාවලදි මට අලුත් වචන හදන්නත් සිදුවුණා.

අද ලංකාවේ පරිවර්තන කෘතිවලට අලෙවිය වඩියි?

මගේ අත්දකීම නම් කලින් මම සම්භාව්‍ය කෘති, එමිල් බ්ලයිට්ගේ කෘති ආදිය පරිවර්තනය කර හොඳ අත්දැකීම් රැසක් ලැබුවා. ඒත් 2017 වසරෙදි මම ඩාවින්චි කෝඩ් පරිවර්තනය කිරීමත් සමඟ මට අලුත්ම අත්දැකීමක් ලෙස යෞවන පරපුර සමීප වුණේ. ඔවුන් පෙර පරපුරට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්න පාඨක පරපුරක් ලෙස හඳුන්වන්න මම කැමතියි. කවුරු හරි කියවා නම් නූතන පරපුර කියවීමෙන් ඉවත් වෙලා කියලා මම එයට සපුරා විරුද්ධ වෙනවා. ඔවුන්ට ඩෑන් බ්‍රවුන් වගේ අයගේ කෘති කියවද්දි සමහර විට හිතෙනවා ඇති ශ්‍රී ලංකාවේ ලියැවෙන ස්වතන්ත්‍ර කෘති කොයි තරම් පසුගාමීද කියලා. මොකද ඒවා බහුතරයක් කිසිම අධ්‍යයනයකින් තොරව නිසා නූතන පරපුර එවනි හරසුන් අවර ගණයේ කෘති කියවන්න කමති නෑ, ප්‍රතික්ෂේප කරනවා. හොඳ පරිවර්තනවලට ළං වෙනවා.

සසංකාර ඔබේ ස්වතන්ත්‍ර කෘතියක්?

ඔව්. පුවත්පත්වලට ලියූ නවකතා අමතක කළොත් සසංකාර මගේ එකම නවකතාව. එය ලීවෙත් හොඳම පර්යේෂණයකින් පස්සේ. එය 2015 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේ අවසන් වටයට තේරුණා. බෞද්ධ සාහිත්‍ය සම්මානය දිනා ගත්තා. තවත් අලුත් කෘතියකට අධ්‍යයනය කර තිබෙනවා. එය අවසන් කරගන්න කල් ගියා පරිවර්තනවලට තිබෙන ඉල්ලුම නිසා.

පරිවර්තනයක් සාර්ථක කරගැනීම සඳහා ඔබ විශේෂ උපක්‍රම යොදා ගන්නවාද?

විශේෂ ක්‍රමවේදයක් නෑ. හදවතට සමීප වන ඒවා විතරයි මම පරිවර්තනය කරන්නේ. මට විඳින්න බැරි දේ කොහොමද මම ඔවුන්ට විඳීන්න සලස්වන්නේ. නිදසුනක් ලෙස ඔරිජින් ගත්තොත් ඩෑන් බ්‍රවුන්ගේ කෘති අතර සුවිශේෂයි. එය කියවද්දි මගේ අස්වලටත් කඳුළු ආවා. පොත් ප්‍රදර්ශනය කාලේ ඒක මම නොකීවේ එයින් වාණිජ වාසි ගන්න යනවා කියන චෝදනාව අහන්න අකමැති නිසා. එහෙම කෘති එක්ක ගනුදෙනු කරද්දී චරිත සමඟ කොතරම් බැඳෙනවාද යන කරුණ මම බොහෝ දුරට සලකනවා.

එහිදී භාෂාව හැසිරවීම සිදුවන්නේ කොහොමද?

ඇත්තෙන්ම මට නම් ඉංග්‍රීසි වාක්‍යයක් සිංහලට පරිවර්තනය කිරීම වීජ ගණිතයේ සමීකරණයක් විසඳනවා හා සමානයි. මොකද එක්ස්ගේ අගය සොයා ගන්නවා වගේ සමහර ඉංග්‍රීසි වචනයට ගැළපෙන සිංහල වචන බොහොමයක් අතරින් හරිම එක සොයා ගැනීමයි වැදගත්. සමහර පරිවර්තකයින් කෘති විනාශ කරනවා කියලා චෝදනාවක් තිබෙනවානේ. එය මමත් පිළි ගන්නවා. දෑතම ඔසවා කියනවා ඉතා අගනා මුල් කෘතීන් විනාශ කළ අවස්ථා තිබෙනවා කියලා. ඒ වගේම පාඨකයන් නඟන චෝදනා සියල්ල සත්‍යයි. මොකද පොතක් පරිවර්තනයට භාෂාද්වය පමණක් නොවේ ඒ කෘතියට පාදක වුණු කාලය, රටේ සංස්කෘතිය, සමාජය, පාලන තන්ත්‍රය, පසුබිම වගේ දේවල් පිළිබඳ යම් හැදෑරීමක් කළ යුතුයි. මහා බහුශ්‍රැතයෙක් නොවුණත් ඇසූ පිරූ තැන් ඇත්තෙක් විය යුතුයි. ඒ සියල්ල ඉගෙන ගෙන තමයි පොත පරිවර්තනයට අත තැබිය යුත්තේ.

ඇතැම් කෘතිවල අපට කෙසේත්ම අවශ්‍ය නොවන කොටස් තිබුණොත්?

ඒ ගැන ඉතාම පැහැදිලිව කිව යුතුයි. අපි සම්භාව්‍ය කෘති ගත්තාම, ඇලෙක්සැන්ඩර් ඩූමාස්, වික්ටර් හියුගෝ වගේ අයගේ කෘතිවල අපට තේරෙනවා ඒ ඒ සමකාලීන න්‍යාය පත්‍රවලට අනුව වැඩ කරලා තිබෙනවා කියලා. සමහර විට සමකාලීන ප්‍රංශ රජ පරපුර පිළිබඳ අනවශ්‍ය ලෙස වර්ණනා කරනවා. ඒ දේශපාලනය කෘතියට අදාළ නොවිය හැකියි. ඒ නිසා ඔවුන්ගේ මුල් කෘති පිටු දාහ-දෙදහා වෙලා. පරිවර්තකයකු ලෙස ඒ වෙලාවට කතා සාරය විතරක් ගෙන ශ්‍රී ලාංකික පාඨයන්ට ලබා දෙනවා. එය අනුවර්තනයක ලක්ෂණ ගත්තත් රසය පවත්වා ගන්න වැදගත්. ඒත් වර්තමානයේ මම තෝරාගෙන ඉන්න ලේඛකයන්ගේ නම් එවැනි දේ දකිනවා අඩුයි. ඒ නිසා ඉවත් කරන්න වන්නෙත් නෑ. හැබැයි අපේ සංස්කෘතියට නොගැළපෙන කෘතියක් මම පරිවර්තනය කරන්නෙත් නෑ.

ඒ සංස්කෘතික සීමාව කොතැනද?

ඒක මට පෞද්ගලිකයි. ඒ වාරණය මා විසින්ම පනවා ගත්තක්. ඒ සීමාවෙදි මම මගේ දරුවන්ට කියවන්න නුසුදුසු පොතක් කොහෙත්ම පරිවර්තනය කරන්නේ නෑ.

පරිවර්තකයෙක් ලෙස ඔබට වඩාත් සමීප වුණු මුල් ලේඛකයකු සිටිනවාද?

මට සමීප වුණු අය බොහෝ දෙනකු ඉන්නවා. ඉන්දියාවේ ගීතා මෙහෙතා වගේ අය මෙන්ම සම්භාව්‍ය ලේඛකයන් අතර ඩුමාස් සහ හියුගෝ මට බොහොම සමීපයි. ඒත් මෑතකදි මම ඩෑන් බ්‍රවුන් සමඟම ජීවත් වුණු නිසාදෝ ඔහුගේ කෘති කෙරෙහි බොහෝ සමීප වෙලා තිබෙනවා.

ඩෑන් බ්‍රවුන්ගේ විශේෂත්වය?

ඩෑන් බ්‍රවුන් කෘතියක් කරද්දි යෙදෙන අධ්‍යයනය සහ ඔහු ඒ කතාවට සම්බන්ධ කරන දැනුම් සම්භාරය. හැබැයි ඔහු ඒ දැනුම් සම්භාරය අතර පාඨකයා කිසිදු වෙහසකින්, ආයාසයකින් තොරව කතා රසයත් සමඟ ගෙන යනවා. දැනුම ගබඩා කරන්න කැමති සිංහල, ඉංග්‍රිසි පාඨකයන් ඔහු සමඟ බද්ධ වනවා. විශේෂයෙන්ම සම්භාව්‍ය කෘති ගැන, ඓතිහාසික ස්ථාන පිළිබඳ ඔහු කරන විස්තර අපි දැක්කා ඔහුගේ කෘතිවල. ඔරිජින් ගත්තොත් මීට පෙර ඔහුගේ කෘතිවල ඉතා ලස්සනට විස්තර කළ සම්භාව්‍ය කෘති නූතන කලා නිර්මාණ එක්ක ඉතා අපූරුවට සන්සන්දනය කරනවා. විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ඔහු සතු පුළුල් දැනුම ඔහු විශිෂ්ටයකු බව පසක් කරනවා.

ඔබේ පාඨකයාත් ඒ බව තේරුම් ගන්නවාද?

පඨකයන් මුහුණු පොත ඔස්සේ කියනවා ' අයියාගේ පොත කියෙව්වා. ඒ ගමන් ගූගල් සර්ච් කරලා මේ සියලුම තැන් හෙව්වා' කියලා. එය මමත් ඔහුගේ පොත කියවද්දි කළ දෙයක්. සමහරු මට යෝජනා කරනවා ඉක්මනට පොත දෙන්න කියලා. ඒත් එහෙම කරන්න බැරි මමත් ඒ පරිවර්තනවලදි අධ්‍යයනය සඳහා සෑහෙන වේලාවක් ගන්න නිසා. අනෙක ඔහු මේ කෘතිවලට වෙනමම රටවල් තෝරාගන්නවා. ඩාවින්චි කෝඩ්වලට ඔහු ගන්නේ ප්‍රංශය, ඉන්ෆර්නෝ ඉතාලියේ, ඔරිජින් ස්පාඤ්ඤයේ, ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස් රෝමය ඔහු තෝරගත්තාම මමත් ඒ රටවලට මනසින් යන්න ඕනා. ඒ රටවල උච්චාරණ විධි පවා දැනගන්න ඕනා. එහෙම නොවුණොත් නියම නම්ගම් පවා අපට ලියන්න බැරුව යනවා.

ඔහු ඒ ඒ රටවල භාෂා පාවිචචි කරනවා. මමත් ඒවා සිංහලට හරවා ගන්න ඕනා.

ඔබ ඩෑන් බ්‍රවුන් යම් සාහිත්‍ය මතවාදයකට, නැත්නම් යුගයකට අයිතියි කියා සිතනවාද?

මම ලේබල්වලට කමති නෑ. ඕනෙම කෙනෙක් තවත් කෙනකුට ලේබල් ගහන්නේ ඒඒ අයගේ හැටියටනේ. ඩෑන් බ්‍රවුන් තමන්ගේ කෘතිවලදි අතීතය, වර්තමානය සහ අනාගතය යන තුන් කල්ම කතා කරනවා. විවිධ ශානර ඔස්සේ යනවා. අන්තර්ජාතික වශයෙන් ගත්තත් සාහිත්‍ය කලාකරුවකු යම් රාමුවක කොටු කරන අය ඉන්නේ ටික දෙනයි. ඒ නිසා ඒ කෘතිය පොදු පාඨකයාට රස නම් එච්චරයි.

මුල් ලේඛකයාගේ පළමු භාෂාව දනගැනීමෙන් පරිවර්තනයක් වඩා සාර්ථක වනවාද?

භාෂාව කුමක් වුවත් මම ඒ සංස්කෘතිය හඳුනා ගන්නාවා නම් මට එය පාඨකයාට සමීප කරන්න පුළුවන්. ගීතා මෙහේතා, අමුල්ල්‍යා මල්ලඩි වගේ අයගේ කෘති ඉංග්‍රීසියෙන් ලියා තිබුණට අපට තේරෙනවා මේ ඉන්දීය සංස්කෘතිය කියලා. ඒ සංස්කෘතියට සමීප වන වචන යොදන්න පරිවර්තකයාට දක්ෂතාව තාබෙනවා නම් භාෂාව කුමක් වුණත් ගැටලුවක් වන්නේ නෑ. හියුගෝ ඩූමා වගේ ප්‍රංශ ලේඛකයන්ගේ කෘති කීප දෙනෙකු අතින් පරිවර්තනය වනවා. ඒ කොහොම වුණත් මුල් ලේඛකයාගේ හදවත මනෝභාවයන් හදුානා ගන්නට අපට විචාර ආදිය යොදා ගත හැකියි. එවිට පරිවර්තනය සාර්ථක කර ගන්න පුළුවන්. මම කවදාවත් පදාර්ථ පරිවර්තනය කරන්නේ නෑ.

සම්මාන පිළිබඳ මොකද හිතන්නේ?

මුකුත්ම හිතන්නේ නෑ. ලැබුණොත් ගන්නවා. නැත්නම් එච්චරයි. මට සම්මාන ලැබිලා තිබෙනවා. සම්මානවලට නිර්දේශ වෙලා තිබෙනවා. එය යම් උත්තේජනයක් කියා සිතෙනවා. ඒ සියල්ලට වඩා මට පාඨක ප්‍රතිචාර වටිනවා කියලා හිතෙනවා.

ඔබ සම්මාන සඳහා පොත් ලිවීම දකින්නේ කොහොමද?

මම දශක දෙකක් තිස්සේ පොත් ක්ෂේත්‍රයේ ඉන්නවා. විවිධ අයගේ අරමුණු විවිධයි. මම ක්ෂේතු ගණනාවක කටයුතු කරන නිසා ඒ විවිධ අයගේ හැටි දන්නවානේ. ඉතින් කියන්න තිබෙන්නේ නානාත්ත කාය නානාත්ත චිත්තා. මම මගේ වැඩේ අවංකව සහ කැපවීමෙන් කරනවා එච්චරයි.

හතු පිපෙන්නා වගේ ලේඛකයන් අද බිහිවෙනවා?

ඒක මෙහෙමයි. මිනිස්සු හිතාගෙන ඉන්නවා කලාව හරි ලේසියි කියලා. ඒ නිසා සිනමාව සහ රූපවාහිනිය ගත්තාම නළු නිළියන්ට වඩා පෙනී සිටින්නන් වැඩියි. ගායන ක්ෂේත්‍රයේ ගයන්නන්ට වඩා කියන්නන් වැඩියි. පුවත්පත් කලාවේ අද පුවත්පත් කලාවේදීන්ට වඩා ක්ලාක්වේදීන් වැඩියි. ඉතින් සාහිත්‍ය ක්ෂේත්‍රයේත් ලේඛකයන්ට වඩා ලියන්නන් වැඩියි.