වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




අසාධාරණයට ලක් වූ සිනමාකරුවකු ලෙස මාත් අතරමං වෙලා

අසාධාරණයට ලක් වූ සිනමාකරුවකු ලෙස මාත් අතරමං වෙලා

උපාලි ගම්ලත්

තරුණ සේවා සභාවේ නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කරන අතර කාලයක් තිස්සේ සිනමාව වෙනම හදාරා චිත්‍රපටකරණයට එන උපාලි ගම්ලත් විශ්වවිද්‍යාලයේ හැදෑරුවේ උසස් රසායනික තාක්ෂණික විෂයයන්ය. ඔහු කියවූ සාහිත්‍ය කෘති අතර වූ සෝවියට් ළමා පොත් සහ ෂෙල්ටන් පයාගල වැනි කලාකරුවන් සමඟ නාට්‍ය කලාවේ නියැලීමෙන් ඔහු එයට පන්නරය ලද්දේය. දේශපාලනික කටයුතුවල නියැලීම සමඟ සිනමාව සහ දේශපාලය අතර ඇති සහසම්බන්ධය විෂයය කෙරෙහි ඔහුගේ උනන්දුව වැඩි කළේය. ඒ බැඳීම ව්‍යාපාරයක් වශයෙන් නොව හොඳ සිනමා ආත්ම ප්‍රකාශනයක් කිරීමට ඔහු පෙලඹුවේය.

කළු හිම දැන් ප්‍රදර්ශනය වනවා?

'කළු හිම' මගේ දෙවැනි චිත්‍රපටය හැබයි ප්‍රදර්ශනය වූ පළමු චිත්‍රපටය. 'ගුරුගීතය' තමයි කලින් හැදුවේ 2012 සිට 2014 දක්වා නිර්මාණ කටයුතු කළා. ඒත් ප්‍රදර්ශනය කරගන්න බැරුව ඉන්නවා වසර හතරක් තිස්සේ. හැබැයි වෙන රටවල නම් පෙන්නුවා.

මොකක්ද හේතුව?

හේතුව චිත්‍රපට සංස්ථාවේ ණය සමඟ චිත්‍රපටය පටන් ගත්තේ. හදලා ඉවර වෙලා දනුම් දුන්නාම සංස්ථාවේ පෝලිමට එකතු වුණා. ගත්ත ණයවල වාර්ෂික පොලිය ලක්ෂ 6ක් පමණ එකතු වෙමින් ලක්ෂ තිස් පහ 70 බවට වෙලා. එය ලොකු ප්‍රශ්නයක්. එයට විසඳුමකුත් නෑ.

එතකොට කළු හිම ආවේ?

එල් එෆ් ඩී මණ්ඩලයෙන්. ගුරු ගීතයේ නිෂ්පාදක ඇතුළු අපි හැමෝගෙම කැමැත්ත වෙන මණ්ඩලයකින් එන්න. ඒකට හේතුව චිත්‍රපට ශාලාවල පවතින අතිශයින් දුර්වල ගුණාත්මක බව. මුදලක් ගෙවා යන අයට කිසි ම ආස්වාදයක් නෑ. ඒ වගේම කාලයක් තිස්සේ ඒ සිනමාහල්වල පෙන් වූ චිත්‍රපට සමඟ මතයක් ගොඩනැඟී තිබෙනවා, හරසුන් චිත්‍රපටවලට ඉඩ දෙන බවට. 'කළු හිම' තරංගනී ශාලාවේ පෙන්වද්දි ඉතා හොඳට තිබුණා. ඒත් ඒ මණ්ඩලයේ පෙන්වද්දි සමහරු හිතුවා අපි හිමාලය කියලා ප්‍රේක්ෂකයන් රවටනවා කියලා. ඒ තරමට ගුණාත්මක බව පිරිහිලා. ප්‍රක්ෂේපණ යන්ත්‍ර පරණයි. එහෙම වුණාම අපේ මහන්සියේ ප්‍රතිඵලය කුමක්ද? මෙය වෙනස් විය යුතුයි වහාම. නැත්නම් සිංහල සිනමා කර්මාන්තයක් පවතින එකක් නෑ. හැමෝම එදාවේල සොයා ගන්න හදනවා මිස සමස්තයක් ලෙස ගොඩ ඒමට, නියාමනයක්, හැඟීමක් සංස්ථාවටවත් නෑ.

අනෙක් පෞද්ගලික මණ්ඩල?

පෞද්ගලික මණ්ඩලවලත් යම් දියුණුවක් තිබුණට ලොකු සාර්ථකත්වයක් නෑ. මගේ ගුරුගීතය වගේම අන්තර්ජාතික සම්මාන ගත් චිත්‍රපටත් අතුළුව කෘති 80ක පමණ පෝලිමේ, එකතැන පල් වෙවී තිබෙනවා. ඒ අතර සමහර චිත්‍රපට පෝලිම් පැනලා එනවා. ඒ සමහරු කියනවා අර චිත්‍රපට වැඩිහරියක් පෙන්වන්නවත් සුදුසු නෑ කියලා. ජනාධිපතිතුමා කමිටුවකුත් දාලා තිබෙනවා. අපිත් ඉල්ලන්නේ ක්‍රමවේදයක් හදන්න කියලා. තරුණ සම්මාන ලාභි සිනමාකරුවන්ට අසාධාරණයක් වෙලා තිබෙනවා. ඒ අතර මමත් අතරමං වෙලා.

ලැබුණු ශාලා 20වත් දර්ශන වාර නිසි විදිහට නොලැබුණේ දෙමළ චිත්‍රපට, පරණ චිත්‍රපට, වෙනත් චිත්‍රපට අතර අපටත් අවස්ථාවක් දෙන තත්වයක් ආව නිසා. මේ දින 37 තිස්සේම අසාර්ථකකම් අප අත්විඳීනවා. එය අපට පමණක් නොවේ සිනමා කර්මාන්තයටම බලපානවා. ඒ අතර සිවිල් දේශපාලන බල තිබෙන අය අබලන් වූ සිනමා කර්මාන්තය තුළ තමන් පමණක් ගොඩ යන්න හදනවා.

මේ තත්ත්වයට විරුද්ධව තරුණ සිනමාකරුවන් එක් වුණා නේද?

මෙතෙක් තිබූ අධ්‍යක්ෂවරුන්ගේ සංගමය ඇතුළෙත් මේ කැඳහැලියම ඉන්න කොට හරි තීරණයක් ගන්න බැරි නිසයි තරුණ සිනමාකරුවන් වෙනම සංගමයක් හදා ගත්තේ. විවිධ පාර්ශ්වයන් මේ ප්‍රශ්නයට විවිධ විසඳුම් යෝජනා දී තිබෙනවා. ඒවායේ හොඳ දේ ගැනවත් මේ කිසිම සභාපතිවරයෙක් සැලකීමක් කළේ නෑ, අශෝක සේරසිංහ මහත්මයා සිනමා හල් සීමිත සංඛ්‍යාව 35 බැගින් වෙන් කරන්න හැදූ අවස්ථාව පවා ක්‍රියාත්මක කරන්න බැරුව ගියා සිනමා කලාකරුවන් යම් පිරිසක් අවුල් කළ නිසා, දේශපාලන මිතුරුකම් පාවිච්චි කරලා. ඉන් පසු කිසි කෙනෙක් එය කරන්න හැදුවෙත් නෑ. සිනමා ශාලා වැසිලා යනවා ඩීසීපී වෙනුවට ඊසිනමා ආවා. දිගටම නරක පැත්තටම යනවා. ජනාධිපති කමිටුවේ ඉන්න ධර්මසිරි බණ්ඩාරනායක මහතා අතුළු කණ්ඩායම මෙයට විසඳුමක් සොයයි කියා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ සමඟ සිනමාවේ සහෘදයෝ කියලා මාධ්‍යවේදින් පිරිසක් සිනමාකරුවන් එක්ව සංගමයක් හදාගෙන තිබෙනවා. එයින් බලපෑමක් කර විසඳුමක් ගන්න බලාපොරොත්තු වෙනවා. එය කිසිවකුගේ දේශපාලනයක් කරන්න නෙවෙයි. අපේ අභිප්‍රාය කර්මාන්තය ගොඩ දැමීම. දැන් අපට සිදු වෙලා තිබෙන්නේ මෙවැනි බලපෑම් කණ්ඩායම් වගේ ඉන්න මිස නිර්මාණ කරන්න නොවේ.

ඒ වගේම තරුණ සිනමාකරුවන්ගේ නිර්මාණ පිළිබඳවත් විවේචන තිබෙනවා?

තරුණ අයට තිබෙනවා චෝදනාවක් ලංකාවේ ප්‍රතිරූපයට හානි කරනවා කියලා. හැබැයි අපේ ආත්ම ප්‍රකාශනයන් ගේන්න බැරි තත්ත්වයක් නම් හදලා තිබෙන්නේ, මේ පාර කපන්නේ නැවතත් අර ඉතිහාසය යළි කැඳවීමද?

මේ විදිහට ඔබ දකින අපේ සිනමාවේ අනාගතය කෙබඳුද?

සිංහල සිනමාව නැති වෙයි ඉදිරි වසර පහක් වගේ අතුළත. අධික වියදම් කළ හැකි හින්දි අධ්‍යක්ෂවරුන්, වෙනත් ධනවතුන් මෙය ආක්‍රමණය කරයි. මෙය තමයි ධනපති ක්‍රමයේ ස්වභාවය. සුළුකර්මාන්ත කරුවන්ට විදේශිය කර්මාන්ත සමඟ හැපෙන්න බැරුව විනාශ වුණා වගේ ඉන්දියන් සිනමාව වැනි මහා කර්මාන්ත ඉදිරියේ මෙය ආක්‍රමණයට නතු වෙලා යයි. එනිසා ලෝකයේ බොහෝ රටවලට උරුම දේශීය සිනමාවකුත් තිබිය යුතු නිසාවත් එය බේරා ගැනීමයි රජයේ වගකීම. එහෙම නැත්නම් සංස්ථාවක් ඕනෙත් නැනේ.

වාරණය ගැන මොකද හිතන්නේ?

චිත්‍රපටවල වාරණය හරි විවාදාත්මකයි. මෙතෙක් වුණේ ඉන්න පාලක පන්තියට අභියෝගයක් නම් හෝ ආගමික හෝ වෙනත් සංස්ථා සතුටු කිරීමට චිත්‍රපටය වාරණය වීමයි. එනිසා වාරණයට විරුද්ධ වනවා වගේම ප්‍රමිතිකරණයට මම එකඟ වනවා. කලාකරුවකුට ආත්ම ප්‍රකාශනයේ සැබෑ නිදහස තිබිය යුතුයි. එය සමාජයට හානිදායක නම් එය ප්‍රමිතිකරණය කළ යුතුයි. ඒත් ඉතිහාසය පුරා සිදු වුයේ ඒ පිටින් දමා වෙනත් දේ කිරීමයි.

මේ තත්ත්වය යටතේ ඔබේ ගුරුගීතය ප්‍රදර්ශනයට ගන්නා පියවර?

අයිත්මාතෙව් මේ කතාව ලියන්නේ එයට පදනම් වූ සිද්ධියෙන් බොහෝ කලකට පස්සේ. එය රූපගත කරන්න හොඳම තැන හිමාලය බවට ගත් තීරණය නිවැරැදි බව මට තහවුරු වුණේ අවරුදු100ට කලින් අපේ රට දැක්ක බව කිරිකිස්තාන වැසියන් කසකසතානයේ මේ චිත්‍රපටය පෙන්වද්දි කීම නිසයි. රටවල් වශයෙන් වෙන් වුණා කීවට එකම භාෂාව කතාකරන අය එය නරඹන්න ආවා. අයිත්මාතව් සංගමයේ ලේකම් 2017 සමරුවෙදි එය පෙන්වන්න කටයුතු කළා. ඔවුන් කීවා කතාවට සාධාරණයක් චිත්‍රපටයෙන් කර තිබෙනවා කියලා. සෝවියට් මිත්‍රත්ව සංගමය පිහිටුවලා 60 වසරක් පිරෙන ගිය වසරේ චිත්‍රපටය රිලීස් කරන්න හැදුවාට, බැරි වුණා.

1965 කළ රුසියානු නිෂ්පාදනයේ අල්තිනාගේ චරිතය රඟ පෑ නිළිය නතාලියා, ‍කිරිකිස්තානයේ සංස්කෘතික අධ්‍යක්ෂ, එංගලන්තේ අයිත්මාතෙව් ඇකඩමියේ ප්‍රධානී වගේම චිංගිස් අයිත්මාතෙව්ගේ පුතා මෙහි මංගල දර්ශනයට එන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා මෙය තවත් කල් දාන්නත් බැහැ. ඒත් සංස්ථාවට මේ ගැන වගේ වගක් නෑ. එනිසා සම්මත ප්‍රවාහයෙන් බැරි නම් වෙනම ක්‍රමයක් ඔස්සේ හෝ ප්‍රදර්ශනයට උත්සාහ කරනවා.