වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




මෙල්රෝයිගේ ගීතයක් මුල්වරට රූපරචනයට

මෙල්රෝයිගේ ගීතයක් මුල්වරට රූපරචනයට

මෙල්රෝයි ගී සියයක් ඇතුළත් ‘ගී කව් සරස’ 24 වැනිදා ජනගත වේ

මේ කතාවට දිගු හැඳින්වීමක් අවශ්‍ය යැයි මම සිතමි. එහෙයින් පළමුව එය මෙලෙස සනිටුහන් වනු ඇත. මෙහි කථානායකයා මෙල්රෝයි ධර්මරත්නය. ඔබ ඉතා ප්‍රකට සංගීත කණ්ඩායමක් වන ධර්මරත්න සහෝදරයෝ පිළිබඳ නොඅසා ඇතැයි සිතීමට නුපුළුවන. කඳුකරේ, කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ, වැස්ස වහිනවා, වාසිටි කොල්ලෝ, රාජ කුමාරි මල්සර දෝණි ඇතුළු ඉමහත් ජනප්‍රිය වූ ගීත රැසක් ඔවුන් සතුය.

අයියා මලෝලා හතර දෙනෙකුගෙන් සැදුම් ලත් ධර්මරත්න සහෝදරයෝ කණ්ඩායමේ හතරවැනියා මෙල්රෝයිය. ඔහු විශේෂ වන්නේ එපමණක් නිසා නොවන්නේය. ඔබ මා අසා ඇති ගී රැසක පද රචකයා ඔහුය. සමහර ගීත ඔහු ලියා සංගීතවත් කොට ද ඇත්තේය.

ඔහු ඒ අන්දමින් නිර්මාණ දායකත්වය සැපයුවේ එසේ මෙසේ පරපුරකට ද නොවේ. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවාරච්චි, ඉන්ද්‍රානි පෙරේරා, ඩෙස්මන්ඩ් ද සිල්වා, සමන් ද සිල්වා, ශිරෝමි ප්‍රනාන්දු ආදී සුප්‍රකට ගායක ගායිකාවන්ටය. අප නිතර අසන ගීත රැසක් මෙල්රෝයි නිර්මාණය කොට ඇත්තේය.

ජෝති ගයන දුරකථනයකින් ගීතය සංගීතවත් කළේ ඔහුය. ජෝතිගේ ගංගාවයි මහ මුහුදයි, බලන්න ආවේ, හිතක තියෙන ආදරේ වැනි ගීතයන් ද එසේමය. ආයුබෝවන් ආයුබෝවන් ජපන් රටේ සයොනාරා ගීතයේ පද රචනය මෙන්ම සංගීතය ද මෙල්රෝයිගේය.

සමන් ද සිල්වා සහ උපාලි පෙරේරා ගයන සුරූපී විරූපී (පද / සංගීතය) ධර්මරත්න සහෝදරයෝ ගයන කඳුකරේ, වැස්ස වහිනවා, රාජ කුමාරි (පද) ෆීලික්ස් ඇන්ටන් ගයන සුළං රැල්ල (සංගීතය) මිල්ටන් මල්ලවාරච්චි ගයන මේ මැයි ගහ යට (සංගීතය) මිල්ටන් පෙරේරා ගයන පුංචි පුංචි තාරකා, මේ වගේ ගීතයක් (සංගීිතය) ශිරෝමි ප්‍රනාන්දු ගයන කළුම කලු කට්ට කලූ, කොන්ද නමාගෙන, සකල බුජන් (පද / සංගීතය), පෝල් ප්‍රනාන්දු ගයන එගොඩ ගොඩේ (සංගීතය) ඩෙස්මන් ගයන කොමලි පණේ (පද / රචනය) මෙල්රෝයි තැනූ ගීත අතරින් අතළොස්සක්ය.

ඔහු මෙවන් වූ ගීත රැසක් තැනුවා කියා බොහෝ දෙනෙකු දන්නේ නැත. ඒ බව කියා මෙල්රෝයි ද සිය ආත්ම වර්ණනාවේ නොයෙදුණේය. මේ අපූරු නිර්මාණකරුවාගේ තවත් විශේෂ කාල පරිච්ඡේදයක් මේ දිනවල ගත වන්නේය. ඔහු කොතෙක් ගී නිර්මාණය කොට තිබුණත් ඉන් එකක් හෝ රූපරචනය සිදු කොට නැත. ඔහු තැනූ නව ගීතයක් කුලුඳුලේ රූපරචනයට නැගිණ.

ඒ සඳහා හඬ මුසු කළේ වෛද්‍ය ජයන්ත විදානපතිරණ සහ විශාරද දේශානි විතානගේය. රන් රස සේ ලෙසට නම කොට ඇති එය තව නොබෝ දිනකින් එළි දැක්වෙනු ඇත. එහි රංගනයෙන් දායක වී රංගන ශිල්පියකු ලෙස ද හැකියාව විද්‍යමාන කිරීමට මෙල්රෝයිට හැකියාව ලැබිණ. මෙම මස 24 වැනිදා මෙල්රෝයිට තවත් සුවිශේෂී දිනයක් වෙයි. ඒ පිළිබඳ මෙතැන් පටන් මෙල්රෝයි අදහස් දක්වනු ඇත.

මං ලියපු ගීත සහ සංගීතවත් කළ ගීත මොනවද කියලා බොහෝ දෙනෙකුට පැටලෙනවා. ඇතැම් අය දැනුම්වත් වෙලත් නැහැ. මේ නිසා මං කල්පනා කළා මං රචනා කළ ගීත සියයක් අන්තර්ගත වූ ග්‍රන්ථයක් ඉදිරිපත් කරන්න. 'ගී කව් සරස' යනුවෙන් එය නම් කොට මෙම මස 24 වැනිදා සවස කොළඹ හැව්ලොක්ටවුන්හි පිහිටි සූරියා විලේජ්හිදී එය එළිදක්වනවා.

මෙදින ප්‍රධාන දේශනය පවත්වන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර. විජය කොරයා සහ ශෝන් මැක්සිමස් දිසානායක අනෙකුත් දෙසුම් පවත්වනවා. එක්දාස් නවසිය හැටහතේ තමයි මං මුලින්ම ගීතයක් ලියුවේ. වැස්ස වහිනවා තමයි ඒ ගීය.

ඊට පසුව දිගින් දිගටම නිර්මාණකරණයේ යෙදුණා. මං ලියපු පළමු නවකතාව වන මළවුන්ගේ කතාවක් ඇසුරෙන් චිත්‍රපටයක් කළා. ඒකේ නම කවුළුව. ඩැනී ඩබ්ලිව්. පතිරණ එය අධ්‍යක්ෂණය කළා. මමයි තිස්ස අබේසේකරයි එකතු වෙලා එහි තිර රචනය කළේ.

වසර ගණනාවක් නිර්මාණකරණයේ යෙදුණට මගේ ගීතයක් රූප රචනය කරලා තිබුණේ නැහැ. ඊයේ පෙරේදා දවසක ඒ බලාපොරොත්තුවත් සඵල වුණා. රන් රස සේ ගීතයට රූප රචනය කළේ ඩ්‍රීම් ක්‍රියේෂන් ටීම් එක.

රන් රස සේ කිරි පැණි සේ
පෑහෙන බව දැනුණා
මල හා බඹරිඳු විලසින්
තකට තකයි සිතුණා
කාන්දමක් වගේ වේගෙන්
ඔබ වෙතට මහද ඇදුණා
ගහට පොත්ත පොත්තට ගහ සේ
අප සිත් බැඳුණා

ඒ ගීතය පටන් ගන්නේ එහෙම. මේක ආදර ගීතයක්. ආදරයෙන් බැඳුණු ජෝඩුවක් ගැනයි ඉන් කියවෙන්නේ. ඒක හැදුවේ බයිලා රිද්මයට. කපිරිඤ්ඤා ශෛලියටයි වාද්‍ය භාණ්ඩ වුණත් හැසිරීම කළේ. මේ විෂුවල් එක හරහා මට රංගන ශිල්පියකු වන්නට ද අවස්ථාව උදා වුණා. වීඩියෝ ටීම් එකේ ආරාධනාව මත මං එහි රඟපෑවේ ගැහැනු ළමයාගේ පියාගේ චරිතය.