වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




නිලාර්ගේ ‘සරස වසන්තය’ රූපවාහිනියේ

නිලාර්ගේ ‘සරස වසන්තය’ රූපවාහිනියේ

නිලාර් එන්. කාසිම් ගේ පන්විසි වසරක කලා දිවිය සමරමින් පැවැත් වූ සරස වසන්තය ප්‍රසංගය මෙම මස 12 වැනිදා රාත්‍රී 10.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. නිලාර්ගේ ගීත සියයක් ඇතුළත් සරස වසන්තය ගී පොත එනමින් යුතු ෆ්ලෑෂ්පෙන් ඩ්‍රයිවයක් සහ සංයුක්ත තැටි 04 ක් ජනගත කිරීම නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රසංගය පැවැත්විණ.

ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කරන ලද මෙම සන්ධ්‍යාව අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, සමන්ත පෙරේරා, නිරෝෂා විරාජිනි, උරේෂා රවිහාරි, හේමන්ති රණසිංහ, ඉන්දිකා උපමාලි, කසුන් කල්හාර, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, උමාරියා සිංහවංශ, තීක්ෂණ අනුරාධ, රුවන් හෙට්ටිආරච්චි, රවින් කනිෂ්ක සහ සුබුද්ධි ලක්මාලි යන ගයක ගායිකාවෝ ගායනයෙන් රසවත් කළහ.

මහාචාර්ය ජේ. බී. දිසානායක, සමන් ආතවුදහෙට්ටි සහ නදීක ගුරුගේ මෙහි කෙටි දෙසුම් පැවැත් වූහ.


ඇලෙක්ස්ගේ සුවදුක් බලති

සිංහල සිනමාවේ අමිල සලකුණක් තැබූ රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ සුවදුක් විමසීම සඳහා මුහුණු පොතෙහි ආනන්දනීය සිංහල සිනමාව ඉදිරිපත් කරන ආනන්ද ගමගේ ඇතුළු සහෘද සමූහයක් ඉකුත් දිනයකදී ඔහුගේ නිවසට ගියහ.

මෙහි අරමුණ වූයේ ක්‍රියාකාරී ජීවිතයෙන් ඈත්ව සැඳෑ සමය ගෙවන ඔහුට මානසික සුවයක් ලබාදීමටය. ආනන්ද සමඟ මෙම චාරිකාව සඳහා ගිල්බට් පෙරේරා, කුමාර මුණසිංහ, අජිත් කුමාර, විජිශ්‍රී, චතුර පතිරණ, ධම්මිකා වික්‍රමසිංහ, රජීව් රණසිංහ, ප්‍රදීප් ධම්මික සහ නිර්මලා ගුණසිංහ සහභාගි වූහ.


සුදර්ශනගේ කුලුඳුල් අධ්‍යක්ෂණය

ටෙලි නාට්‍ය රංගන ශිල්පී සුදර්ශන බණ්ඩාර අධ්‍යක්ෂවරයකු ලෙසට කලඑළියට පැමිණියේ පැකේජ් ටෙලි සිතුවම සමඟිනි. එය මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ දිග හැරේ. අමිත්ත වීරසිංහ, ගිරිරාජ් කෞශල්‍ය, මාධිනි මල්වත්ත, මාධව විජේසිංහ, බුද්ධික සේමසිංහ, ෂෙහානි කහඳවල, වත්සලා දියලගොඩ, පියුමි බොතේජු, ගිවන්ත අර්ථසාද්, කිෂානි අලංකි, තරංග දිසානායක, බර්ටි සුසිරිපාල, අජිත් ලොකුගේ, මධුශාන් නානායක්කාර, නෙතලි නානායක්කාර, මැණික් විජේවර්ධන, සරත් චන්ද්‍රසිරි, හෂිනිකා කරළියැද්ද සමඟ සුදර්ශන බණ්ඩාර චරිත මවති.

රුවන් චමින්ද කුමානායක කැමරා අධ්‍යක්ෂවරයාය. ප්‍රදීප් මානවඩුගේ සහාය අධ්‍යක්ෂණයකි. බුද්ධික සේමසිංහ රූපවාහිනි රචකයාය. රොෂාන් අනිල් පෙරෙයිරා සහ දිනේෂ් සඳරුවන් කලා අධ්‍යක්ෂවරුන්ය. සන්ජිත් රත්නකාරගේ අංග රචනයකි. දිමුතු විජේසිංහ සංස්කරණ ශිල්පියාය. අමිල ඉන්ද්‍රජිත් සමඟ ප්‍රමුදිත මානෙලංගෙ සංගීත අධ්‍යක්ෂවරුන්ය. කපිල නවරත්න සහ තුසර වීරසූරිය මෙහි නිෂ්පාදකවරුන් වෙති.


කුවේට් රොමෑන්ටික් සංගීත ප්‍රසංගය හෙට

ජනප්‍රිය ගායන ශිල්පී ධනපාල උඩවත්ත සමඟ පුන්සිරි සොයිසා ගී ගයන 'රොමෑන්ටික්' සංගීත ප්‍රසංගය හෙට (12) දින කුවේට් හි හවාර්ලි බොයිස්කවුට් රංගන ශාලාවේදී පැවැත්වේ.

මෙදින රොමෑන්ටික් වාදක කණ්ඩායම සංගීතවත් කරන අතර මෙම ප්‍රසංගය උපුල් ප්‍රමුඛ කුවේට් එක්සත් මිතුරු කැල සංවිධානය කරයි.