වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

දීපිකා ඇසිඩ් ප්‍රහාරයකට සූදානම්

දීපිකා පදුකෝන් මේ වසර ආරම්භ කළේ සංජේලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කර බාධක රැසක් මධ්‍යයේ තිරගත කළ 'පද්මාවත්' චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟින්. කෙසේ නමුත් එහිදී ඇයට මරණ තර්ජන පවා එල්ල වුණා. මේ දිනවල දීපිකා සිය නවතම සිනමාපටයට සූදානම් වන බවත් ආරංචියි.

එය සත්‍ය සිදුවීමක් පාදක කොටගත් චිත්‍රපටයක් බවයි කියවෙන්නේ. 2005 වසරේදී වයස අවුරුදු 15ක් වූ ලක්ෂ්මි අගර්වාල් වෙත එල්ල කෙරුණු ඇසිඩ් ප්‍රහාරය පාදක කොට ගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කරන්න නියමිතයි. 28 හැවිරිදි වියේ පසුවන ලක්ෂ්මී අගර්වාල් මේ වන විට ඇසිඩ් ප්‍රහාර වැළැක්වීම වෙනුවෙන් දැනුවත් කරන්නියක සහ ඇසිඩ් ප්‍රහාරවලට ලක් වූවන් වෙනුවෙන් පෙනී සිටින්නියක ලෙසින් කටයුතු කරමින් සිටිනවා.

දීපිකා මෙම චිත්‍රපටය සමඟින් සිනමා දිවියේ තවත් පියවරක් තබන්නේ නිෂ්පාදනයට ද දායක වෙමින්. බොලිවුඩ් සිනමාවට රහස් ඔත්තුකාරියක කැඳවා ගෙන එමින් 'රාසි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මේඝ්ණා ගුල්සාර් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න නියමිතයි.


බීබර් - හේලි විවාහය කල් දැමීමට හේතුව

ජස්ටින් බීබර් සහ හේලි බොල්ඩ්වින් අතර ප්‍රේම කතාව කලයක් පුරා හොලිවුඩයේ පුවත් මැවූ අතර පසුගිය ජූලි මාසයේදී ගෙන ආවේ ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගත් පුවතයි. කෙසේ නමුත් මේ දක්වා විවාහ මංගල උත්සවය පැවැත්වීම පිළිබඳව නම් බීබර් හෝ හේලි දෙදෙනා ගෙන් කිසිවෙකුත් ප්‍රකාශයක් නිකුත් කළේ නැහැ.

මේ දෙදෙනාගේ විවාහයය කල් දැමීමට හේතුව බීබර්ගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය විසඳා ගැනීමට මුල් තැනදීම බව අලුත්ම ආරංචි ගෙන එනවා. බීබර් කැනේඩියානු ජාතිකයෙක් වන අතර හේලි අමෙරිකානු ජාතිකයෙක්. මේ නිසා බීබර් කැනඩාවේ මෙන්ම අමෙරිකාවේ ද ජීවත්වීම වෙනුවෙන් ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා සිටිනවා.


කැප්ටන් අමෙරිකා සමුගනියි

සිනමා ලෝකයේ ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කරගෙන සිටින මාවල් සිනමා විශ්වයේ සුපිරි වීරයන් වන අයන් මෑන්, කැප්ටන් අමෙරිකා, තෝර්, හල්ක්, ස්පයිඩර් මෑන්, බ්ලැක් පැන්තර්ගේ වික්‍රමයන් දෙස කවුරුත් බලා සිටින්නේ නොඉවසිල්ලෙන්. මාවල් චිත්‍රකතාවල දුටු මෙම සුපිරි වීරයන් දායක වූ චිත්‍රපට අති සාර්ථකව ලොව පුරා තිරගත වූයේ සිනමා රසිකයින් තව තවත් ඇද බැඳ තබා ගනිමින්.

කැප්ටන් අමෙරිකාහට මාවල් විශ්වයේ සුවිශේෂ ස්ථානයක් හිමියි. කැප්ටන් අමෙරිකාගේ බලය ඔහුගේ පලිහේ රැඳී පවතිනවා. වසර අටක් පුරා සිනමා ලොව කැප්ටන් අමෙරිකාගේ චරිතයට පණ පෙව්වේ ඇමරිකානු නළු ක්‍රිස් එවන්ස් විසින්. පසුගියදා ඔහු සිය ට්විටර් පිටුවේ කළ සටහනක් මාවල් සිනමා රසිකයන් බලවත් කනගාටුවට පත් කළා.

'අවෙන්ජර්ස්' සිව්වැනි චිත්‍රපටයේ රූගත කිරීම් සියල්ල අවසන් කළ බවත් එය ඉතාම හැඟීම්බර එකක් වූ බවත් ඔහු පවසනවා. වසර අටක් පුරා කැප්ටන් අමෙරිකා චරිතයට පණදීම ගෞරවයක් සේම කැමරාව පිටුපස සේම ඉදිරිපස සිටි සැමටත් ප්‍රේක්ෂකාගාරයේ සියලු දෙනාටත් සිය ස්තූතිය පුදකර සිටින බව ක්‍රිස් සිය පණිවුඩයේ සටහන් කර තිබුණා. මෙම ප්‍රකාශය ක්‍රිස් එවන්ස් මාවල් සිනමා විශ්වය වෙනුවෙන් වූ සිය කර්යයභාරය අවසන් කළ බව හැඟියන සේ සටහන් කර තිබෙනවා.

එහෙත් චිත්‍රපට කණ්ඩායමේ කිසිවෙකුත් මේ පිළිබඳ නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර තවමත් මේ අලුත් චිත්‍රපටයේ නම ද ප්‍රසිද්ධියට පත්කර නොමැත. කෙසේ නමුත් ලබන 2019 වසරේ මැයි 03 වැනිදා එය ලොවපුරා තිරගත කරන්නට සූදානම් බව නම් මාවල් රසිකයන් වෙත දැනුම් දී තිබෙනවා.


විල් ස්මිත් ඓශ් සමඟ බොලිවුඩ් චිත්‍රපටයක

හොලිවුඩයේ දැවැන්ත තරුවක් වන විල් ස්මිත් පසුගියදා බොලිවුඩයේ සංචාරයක නිරත වුණා. එහිදී ඔහු කරන් ජොහාර්, රන්වීර් සිං වැනි තරු කිහිප දෙනෙක් හමු වී තිබුණා. ඔහු 'කොෆි විත් කරන්' වැඩසටහනට දායක වීමට බොලිවුඩයට පැමිණි බවයි කියවුණේ. කෙසේ නමුත් බොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමේ ස්මිත්ගේ ආසාවත් මේ ගමනේදී හෙළි වුණා.

විල් ස්මිත්ගේ මේ බොලිවුඩ් සිහිනය සැබෑ කිරීමට කරන් ජොහාර් සහ රන්වීර් සිං බොහොම පැහැදීමෙන් එකඟවී සිටින බවට බොලිවුඩ් ආරංචි ගෙන එනවා. වසර 15ට පෙර හමු වූ බොලිවුඩ් මිතුරිය ඓශ්වර්යා රායි බච්චන් සමඟින් රඟපෑමට බොහෙවින් කැමැත්තෙන් පසු වන බව ඔහු පැවසුවේ, වසර 15ට පෙර ඇය හමු වූ අවස්ථාවේදී සිනමා නිර්මාණ‍යක් කිරීමේ අදහසක් තිබූ නමුත් මේ දක්වා එය ඉටු නොවු බව සිහිපත් කරමින්. "ඇත්තටම මම ඇය සමඟින් චිත්‍රපටයක් කරන්න ආසාවෙන් ඉන්නවා" විල් ස්මිත් පැවසුවා.


රිෂීටත් පිළිකා මාරයා අත වනයි ???

ඉන්දියාවේ ප්‍රථම සිනමා පවුල ලෙස සැලකෙන ප්‍රීතිවිරාජ් කපූර් පවුලට මේ වන විට ඉන්දීය සිනමාව තුළ පරම්පරා හතරක අභිමානය සතු වෙනවා. පසුගිය සතියේ කපූර් පවුලෙන් අසන්නට ලැබුණේ කනගාටුදායක පුවත් කිහිපයක්. ඉකුත් සතියේදී කපූර් පරම්පරාවේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගන්නට සමත් වූ සාමාජිකයා වන රාජ් කපූර්ගේ ආදරණීය බිරිය ක්‍රිෂ්ණා රාජ් කපූර්ගේ අභාවය සිදු වුණා.

ඒ සමඟින් අසන්නට වූයේ රාජ් කපූර් සහ ක්‍රිෂ්ණාගේ පුත්‍රයෙකු වන ජනප්‍රිය බොලිවුඩ් නළු රිෂී කපූර් පිළිකාවක තෙවන මට්ටමේ පසුවන බවයි. මාධ්‍ය ඔස්සේ මෙම පුවත පළ වීම සමඟින් රිෂීගේ වැඩිමහල් සහෝදරයා වන රන්ධීර් කපූර්, රිෂීට පිළිකාවක් ඇති බව ජනතාවට අනුමාන කළ හැක්කේ කෙසේ ද ? යන්න විමසා සිටිනවා. "ඔහුගේ රෝගයේ ස්වභාවය තවමත් අප දන්නේ නැහැ. තවම පරීක්ෂණ පවා ආරම්භ කර නැහැ. මේ වන විට ඔහු පරීක්ෂණ වෙනුවෙන් අමෙරිකාව වෙත ගොස් සිටිනවා. එහි ප්‍රතිඵලය ඉදිරියේදී දැනුම් දෙන්නම් රන්ධීර් පවසනවා".

රිෂී කපූර් ද තමන් වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් අමෙරිකාව වෙත යන බව පවසමින් සිය ට්විටර් පිටුවේ සටහනක් තබා තිබුණේ ආදරණිය රසික රසිකාවන්ට කනගාටු නොවන ලෙසයි. "ඔබ සැමගේ ආදරය සමඟින් මා ඉක්මනින් ආපසු එන්නම්" යැයි රිෂී එහි සඳහන් කර තිබුණා.