වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




රත්න ශ්‍රී ට ආචාර්ය උපාධියක්

රත්න ශ්‍රී ට ආචාර්ය උපාධියක්

සිංහල සාහිත්‍යයට ඉටු කරනු ලැබූ මහඟු මෙහෙවර අගයමින් ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහට රුහුණු විශ්වවිද්‍යාලය මඟින් දර්ශන විශාරද උපාධිය පිළිගැන්වීය. එම විශ්වවිද්‍යාලයේ උප කුලපති ගාමිණී සේනානායක මහතා අතින් එහි රවීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේදී පැවැති වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී ඔහු මෙලෙස බුහුමන් ලැබීය.


දෙවෙනි ඉනිම දාහ පනිනවා
- සමන් එදිරිමුණි

තමාට හෝ දෙරණ නාලිකාවට දෙවැනි ඉනිම ටෙලි සිතුවම නතරකිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි එහි රචක සමන් එදිරිමුණි සරසවියට දන්වා සිටියි. එමෙන්ම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින්නේ මෙය නතරකිරීමට කලාක්ෂේත්‍රයේම අය සැලසුම් සකස්කරමින් සිටින බවය.

අප පිළිගත් සමීක්ෂණ වාර්තාවලට අනුව ඉහළම තැන සිටින්නේ දෙවැනි ඉනිම ටෙලිනාට්‍යය. ඒකෙන් පේනවනෙ නාට්‍යය කොච්චර ජනප්‍රියද කියලා. මං මේ විදිහට උදාහරණයක් දෙමින් ඒක පැහැදිලි කරන්නම්කෝ. චිත්‍රපටයක් හොඳට දුවනවා කියලා හිතන්න. ඒක බලන්න ඉන්න ප්‍රේක්ෂකයෝ ප්‍රමාණය වැඩියි. හැමදාම හෝල් හවුස් ෆුල් වෙනවා. එහෙම තත්ත්වයක් මත ඒ චිත්‍රපටය ගලවනවද? නැහැනෙ. දෙවැනි ඉනිමත් හොඳට දුවනවා. ප්‍රේක්ෂකාගාරය හවුස් ෆුල්. ඉතින් ඇයි අප ඒක ගලවන්නෙ. දෙවැනි ඉනිම මෙහෙම ජනප්‍රිය වෙද්දි නාට්‍ය නතරකරන්න කිහිපදෙනෙක් අර අඳිනවා. ඔවුන් කාටත් රහසින් සැලසුම් සකස් කරනවා. මේ පිරිස කවුද දන්නවද? තමන්ගෙ නාට්‍යයක් මේ වගේ ජනප්‍රිය කරගන්න බැරිවුණ අය. දෙවැනි ඉනිමේ ජනප්‍රියත්වය ඔවුනට උහුලගන්න බැහැ. හරිම ලැජ්ජයි කියන්නත් ඔවුන් කරන ළාබාල වැඩ. කොහොම හරි මං මේ හැමෝටම දැනගන්න කියන්නෙ දෙවැනි ඉනිම කොටස් දාහ ඉක්මවලා යනවා. ඒක සථිරයි.


ප්‍රේම දඩයමේ තෙවැනි දිග හැරුම

ප්‍රේම දඩයම තෙවැනි දිගහැරුම සිරස ටී වී ඔස්සේ ඉකුත් සෙනසුරාදා සිට විකාශය ආරම්භ විය. නැවුම් අත්දැකීමක් ගෙන දුන් වෙනස් ආරක පෙම් කතා ආස්වාදය යළිත් විඳ ගන්නට ප්‍රේම දඩයම තෙවැනි දිගහැරුම ඔස්සේ දේශීය ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සැලසෙනු ඇත. දෙවැනි කොටසේ අවසානයත් සමඟ ප්‍රේම දඩයම තෙවැනි දිගහැරුම ඔස්සේ විවිධ සීමා මායිම් මැදින් ගලා යන තවත් සොඳුරුතම පෙම් පුවතක් රසික හමුවට එයි.


මං එහෙම නැහැ 13 දා

රාජි මෙන්ඩිස්ගේ නාට්‍ය නිර්මාණය මං එහෙම නැහැ මෙම මස 13 වැනිදා සවස මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේදී වේදිකා ගත වේ.

රාජි මෙන්ඩිස්, ගාමිණී ජයලත්, රුක්ශානා දිසානායක, කීර්ති රංජිත්, සාලිය කුමාර ශ්‍රී, එරික් අබේවර්ධන සහ පුෂ්පා ගුණවර්ධන මෙහි චරිත මවති.

සටහන් - ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - ගීත් ද මැල්