වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ව්‍යාකූල වූ ප්‍රචණ්ඩත්වය Venom

ව්‍යාකූල වූ ප්‍රචණ්ඩත්වය Venom

Venom පසුගිය ඔක්තෝබර් 05 වැනිදා සිට ලොවපුරා තිරගත කෙරෙන නවතම අමෙරිකානු සුපිරිවීර සිනමා නිර්මාණයකි. මාවල් චිත්‍රකතා චරිත අතරේ ‘වෙනොම්’ නම් චරිතය පාදක කොට ගෙන නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටයේ ‘එඩී බ්‍රෝක්’ හෙවත් ‘වෙනොම්’ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය බ්‍රිතාන්‍ය නළුවකු වන ටොම් හාර්ඩි.

මීට පෙර එඩී බ්‍රෝක් හෙවත් වෙනොම් චරිතය Spider-Man 3, The Amazing Spider-Man 2 ඔස්සේ සිනමාවට පැමිණි අතර ප්‍රධාන චරිතයක් ලෙසින් පැමිණෙන්නේ සෝනි පික්චර්ස් ඉදිරිපත් කරන Venom චිත්‍රපටයෙනි.

‘ලයිෆ්’ පදනමේ නිර්මාතෘ වන බ්‍රෝක් කාල්ටන් ඩ්රේක් හෙවත් රියොට් විසින් සිදු කෙරෙන රහසිගත පරීක්ෂණ පිළිබඳ සොයා යන මාධ්‍යවේදියකු වන එඩී බ්‍රෝක්ගේ සිරුරට පිටසක්වළ ජීවියකුගේ විසක් ඇතුළු වේ. ඒ හේතුවෙන් ඔහුහට සාමාන්‍ය මනුෂ්‍යයෙකු අබිබවා ගිය අධි මනුෂ්‍ය බලයක් සහ ශක්තියක් හිමි වේ.

මේ නිසා ඔහුගේ සිරුර තුළ චරිත ද්විත්වයක් ක්‍රියාත්මක වන අතර එඩී, මෙම බලය භාවිත කිරීමට විරුද්ධත්වය පළ කරන විටදී අනෙක් චරිතය නපුරු ගති පැවතුම් සමඟින් ක්‍රියාත්මක වේ.

එම චරිතය අතිශය ප්‍රචණ්ඩකාරී වන අතර එක් පුද්ලයෙකුගේ සිරුර තුළ මෙම චරිත ද්විත්වය ක්‍රියා කරන්නේ කෙසේ ද? යන්න Venom ඔස්සේ දිග හැරේ.

මෙහි එඩී බ්‍රෝක් හෙවත් වෙනොම්ගේ චරිතයට පණ පොවන බ්‍රිතාන්‍ය නළුවකු වන ටොම් හාර්ඩිගේ රංගන ප්‍රතිභාව සිනමාව, රූපවාහිනිය සහ වේදිකාවේ ද පැතිර පවතින්නකි. Mad Max: Fury Road සේම

Stuart: A Life Backwards(2008), Inception (2011), The Revenant (2015), Legend (2015) ඇතුළු සිනමා නිර්මාණ රැසක හාර්ඩි ගේ රංගනය විශේෂ වේ.

Venom චිත්‍රපටයේ හාර්ඩි සමඟින් My Week with Marilyn, Manchester by the Sea, Blue Valentine, All the Money in the World වැනි චිත්‍රපට වල චරිත මැවූ අමෙරිකානු නිළි මිචෙල් විලියම්ස් කාන්තා ප්‍රධාන චරිතයට පණ පොවන අතර රිස් අහමඩ්, ස්කොට් හේස්, රීඩ් ස්කොට් ඇතුළු පිරිසක් ද රංගනයෙන් දායක වේ.

ඇට්ලන්ටා, නිව්යොර්ක් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී රූගත කළ මෙහි නිෂ්පාදන පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 100කි.

Venom අධ්‍යක්ෂණය කර තිබෙන්නේ අමෙරිකානු අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් වන රූබන් ෆ්ලේෂර් විසිනි. angster Squad, 30 Minutes or Less, Zombieland වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ෆ්ලේෂර් රූපවාහිනි කතාමාලා රැසක ද අධ්‍යක්ෂවරයා වේ.

Venom චිත්‍රපටයට IMDb දර්ශකයේ ලකුණු 7.1/10ක් හිමි වී ඇතත් යහපත් විචාරක මනාපයක් නම් හිමි වී නොමැති බව පෙනේ. වෙනම් චරිතය ප්‍රධාන චරිතයක් ලෙසින් සිනමාවට පැමිණෙන පළමු සිනමා නිර්මාණයම බෙහෙවින් ව්‍යාකූල එකක් සේ හැඟෙන බව විචාරක අදහසයි.

අදාළ නොවන බොහොමයක් දේ ඇතුළත් කර ඇති සේම ඇතැම් විටෙක ස්පයිඩර් මෑන් චිත්‍රපටයක් වීමට උත්සාහ ගන්නා බවත් ද පෙනී යන බවත් ඇතැම් විචාරකයන් පෙන්වා දේ.

රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ එයට විචාරක මනාපය 32%ක් ලෙසින් ලැබී ඇති අතර බෙහෙවින් දක්ෂ නළුවකුගේ රංගනය පරදා අවුල් සහගත බවත් ඉස්මතු වී ඇති බව ඔවුහු පවසා සිටිති.