වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




හදිස්සියෙන් කියපු ප්‍රවෘත්ති මතක හිටිනවා

හදිස්සියෙන් කියපු ප්‍රවෘත්ති මතක හිටිනවා

NAYOMI FERNANDO

දෙරණ නාලිකාව හැඩ කරන ඈ නයෝමි ප්‍රනාන්දුය.

නයෝමි කොපමණ කල් ද ඔබ දෙරණට ඇවිත්?

දැනට වසර හතරයි.

ඔබේ මුල්ම නාලිකාව දෙරණද? නැහැ. හා හා පුරා කියලා මං ක්ෂේත්‍රයට එකතු වන්නේ ස්වර්ණවාහිනිය හරහා. ඒ දෙදහස් එකොළහ වසරේ.

මාධ්‍යවේදිනියක වීමේ සිහිනයක් තිබුණද?

කෙහෙත්ම නැහැ. පාසල් වියේදි නම් මාධ්‍ය ගැන හිතුවෙම නැහැ. එහෙම හිතුවට අන්තිමේ මං නතර වුණේ මෙතැන.

නිවේදනයට ඇල්මක් ඇති වුණේ කොහොමද?

ඉස්සර ඉඳන්ම ප්‍රවෘත්ති බැලුවා. රස රිසි ගී වැඩසටහන නාරද තනුජා ඉදිරිපත් කරද්දී නොබලපු සතියක් නැහැ. ඔවුන්ගේ ස්ටයිල් එකට මං ප්‍රිය කළා. ගෙදරදි පත්තර කියවනවා. කියවන්නෙත් ප්‍රවෘත්ති කියන විදිහට. කාලයක් යද්දි මට දැනුණා මගේ ඇඟේ නිවේදන හැකියාව තියෙනවා කියලා.

වැඩිපුරම ප්‍රවෘත්ති බැලුවෙ මොන නාලිකාවේද?

ස්වර්ණවාහිනියේ. එතකොට හරේන්ද්‍ර අයියලා තමයි ප්‍රවෘත්ති කිව්වේ.

අවසනදි ඔබට ස්වර්ණවාහිනියටම එන්න ලැබෙනවා?

ඒක තමයි විස්මය. මං ස්වර්ණවාහිනියට ඇප්ලිකේෂන් දැම්මා. පුදුමෙ කියන්නේ එදා ඉන්ටර්වීව් බෝඩ් එකේ හිටියේ හරේන්ද්‍ර අයියා. ඔහු තමයි මාව තෝර ගත්තේ.

පළමුවැනි දවසේ නිවුස් රූම් එකට ගියාම මොකද හිතුණේ?

හරියට මට දැනුණේ හීනෙන් මං ඇවිදගෙන යනවා වගේ. අන්තිමේ මං නරඹමින් හිටපු නාලිකාවෙම මට ප්‍රවෘත්ති කියන්න ලැබුණා.

ස්වර්ණවාහිනිය අතහැර ඔබ දෙරණ නාලිකාවට එන්නේ ඇයි?

මට වෙනසක් අවශ්‍ය වුණා. ස්වර්ණාවාහිනිය මාව බොහෝ දුර ගෙනාවා. ඒක මම කවදාවත් අමතක කරන්නේ නැහැ. නමුත් මට මගේ වෘත්තීමය ජීවිතය තුළදී ඒකාකාරී බවක් දැනුණා. කාටත් එහෙම වෙනවනෙ.

ඔබ ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති ශෛලියට ප්‍රිය කරන්නේ නැතිද?

ඇත්තම කිව්වොත් ඔව්. ඒ ශෛලියට මං වැඩිය ආස නැහැ. ඒක නිසාත් ජීවිතයේ ඒකකාරී බව දැනුණා.

ඔබ කොළඹ කෙනෙකු නෙවෙයි නේද?

ඔව්. මගේ ගම පේරාදෙණිය. පේරාදෙණිය මධ්‍ය මහ විදුහලෙනුයි අධ්‍යාපනය හැදෑරුවේ.

ගමේදී ඔබට මොන වගේ ප්‍රතිචාර ද ලැබෙන්නේ?

ගමේ ප්‍රතිචාර ඉතාම ඉහළයි. ගමේ ඉන්න එකම නිවේදිකාවනෙ මම. විවේක වෙලාවෙදි ගමේ යනවා. එතකොට යාළුවො හැමෝම හමු වෙනවා. ඔවුන්ගෙන් ලැබෙන සතුටුදායක ප්‍රතිචාර විඳගෙනයි මං කොළඹ එන්නේ.

නිවේදිකාවක් හැටියට ඔබ තෘප්තිමත්ද?

ඔය තෘප්තිමත් බව ලැබෙන්නේ අප කරන කාර්යය සතුටින් කරන්න ලැබෙනවා නම්නෙ. ඒ වගේම තමන්ට දැනෙන්න ඕන තමන් තමන්ගේ වගකීමට සාධාරණය ඉටු කළාද කියලා. එහෙම වුණාම තමයි තෘප්තිමත් වෙන්න පුළුවන්. ඇත්තටම මට දැනෙනවා මං ඒ දේවල් කරනවා කියලා. තෘප්තිමත් බව දැනෙන්නේ ඒ හින්දයි.

සම්මානයක බලාපොරොත්තුවක් නැද්ද?

තියෙනවා. කෙනෙකු සම්මානයක් බලාපොරොත්තුවෙන් වැඩ කරන්නේ නැහැ කිව්වොත් ඒක බොරුවක්. අපි හැමෝගෙම යටි හිතේ සම්මානයක් ගැනීමේ බලාපොරොත්තුව තියෙනවා. මං සුමති සම්මාන උලෙළේ හොඳම නිවේදිකාව හැටියට තෙවැනි තැනට නිර්දේශ වුණා. ඒක මට සතුටක්.

ප්‍රවෘත්ති කියන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද?

හොඳම අත්දැකීම තියෙන්නේ හදිස්සියේ ප්‍රවෘත්ති කියන්න ගියාම දඩිබිඩිගාලා ලැහැස්ති වෙලා දුවගෙන ගිහින් පුටුවෙ වාඩි වෙලා කියපු ප්‍රවෘත්ති තමයි මතක හිටින්නේ. බලාගෙන ගියාම සූදානමින් කියපු ප්‍රවෘත්තිවලට වඩා එහෙම කියපුවා සාර්ථකයි.