වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ ගැන කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ

ඒ ගැන කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ

හරිඳු වරුණ පෙරේරා

හැමදාමත් කඩවසම් අඳින පළඳින, හිසෙහි කෙස් ගසකුදු නොමැති මේ නළුවා ඔබට ආගන්තුක චරිතයක් නොවේ. ඔහුටම ආවේණික මේ රූප සොබාව නිසාම පුංචි තිරයේ, රිදී තිරයේ ඔහු රඟන චරිත එකහෙළාම ප්‍රේක්ෂක මතකයේ රැඳෙනවා. නමින් හරිඳු වරුණ පෙරේරා වන මේ රංගන ශිල්පියා අද රංගනයට පමණක් නොවෙයි ගායනයට මෙන්ම රූපලාවණ්‍ය කලාවට ද දක්වන්නේ සුවිශේෂී දක්ෂතාවයකි. කලකට පසුව හරිඳු සරසවිය පුවත්පතට ගොඩ වැදුණේ ඔහුගේ නවතම තොරතුරු බෙදාහදා ගන්නයි.

මොනවද ඔබගේ නවතම කලා කටයුතු?

මේ දිනවල ටෙලි නාට්‍ය හා චිත්‍රපට කිහිපයකටම මම දායක වුණා. ඒ 'කොළඹ සන්නිය' චිත්‍රපටයේ හැරීගේ චරිතයට වගේම මේ දිනවල විකාශනය වන මිණි ගංදෑල 'හාමුදුරුවන්ගේ' චරිතය. ඒ වගේම මේ දිනවල බෙනට් රත්නායකයන්ගේ නවතම ටෙලි නාට්‍යයේ 'මෝනිස්' ගේ චරිතය රඟ දක්වන්නේත් මමයි. එය ළඟදීම විකාශනය වේවි.

හාමුදුරුවන්ගේ චරිතය ගැන කතා කළොත්?

ඇත්තටම ඒ චරිතයට හුඟක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබෙනවා. එය මට ලැබුණු විශේෂ චරිතයක් ලෙස මට දැනෙනවා. මොකද මම මස් මාංශයෙන් වගේම මත්පැන්වලින් තොරයි. එනිසා ඉතාම භක්තියෙන් යුතුව ඒ චරිතය මට රඟපාන්න හැකිව තිබෙනවා.

ඔබ මෙවැනි චරිතයක් රඟපාන්නේ පළමු වතාවටයි?

ඔව්. මම පැවිදි චරිතයක් රඟපාන්නේ මගේ රංගන දිවියේ පළමු වතාවට තමයි. ඇඟට සිවුරක් පොරවාගෙන රඟපාන්න ලැබීමත් ලොකු වාසනාවක්. කවදා හෝ එය සැබෑ ලෙසම පොරවාගෙන සදහම් මාවතේ යන්නටත් මගේ බලාපොරොත්තුවක් තිබෙනවා.

ඔබගේ බාහිර ස්වරූපය අනුව ඔබ මස් මාංශයෙන්, මත්පැන් පානයෙන් තොර බව හිතන්න අපහසුයි?

ඇත්තටම එහෙම ස්වරූපයක් තමයි බාහිරින් මගේ තිබෙන්නේ. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ මම මස් මාළු බිත්තර කන්නේ නැහැ කියලා. හැමෝම හිතන්නේ මම හරිම විනෝදකාමී මස් මාංශ කන, අඩියක් ගහන චරිතයක් කියලයි. මාව දකින කවුරුවත් ඒ ගැන විශ්වාස කරන්නේ නැහැ.

ඔබ බොහෝ විට රඟපෑවේ ඒකකාරී චරිත බව පෙනෙනවා?

ඔව්. මට ලැබුණු බොහෝ චරිත චණ්ඩින්ගේ චරිත. එනිසා නාට්‍යවල, චිත්‍රපටවල මට ලැබුණේ මැර චරිතම තමයි. ඒත් මේ දිනවල තිරගත වෙන හා විකාශනය වෙන ටෙලි නාට්‍ය හා චිත්‍රපටවල මම රඟපාන චරිතවලින් ඒ ඒකාකාරී බව බිඳී ගියා.

ඒ කියන්නේ?

හර්ෂ උඩකන්දගේ 'කොළඹ සන්නිය' චිත්‍රපටයේ මම හාස්‍ය උත්පාදන චරිතයක් රඟපාන්නේ. ඒ වගේම 'මිණි ගංදෑල' ටෙලි නාට්‍යයේ 'පැවිදි හිමි නමකගේ' චරිතයක්. මේ නිසා ප්‍රේක්ෂකයා මා දෙස වෙනත් ස්වරූපයකින් බලන්නට පටන් ගත්තා. මටත් රංගනයේ විවිධ පැතිකඩ සොයා යන්නට අවස්ථාව ලැබුණා.

ඔබ ගායනයටත් දක්ෂයි?

ඔව්. රංගනයට වගේම ගායනය වෙනුවෙනුත් මගේ කාලයෙන් කොටසක් වැය වෙනවා. එනිසාම මේ දිනවල මම ප්‍රසංග වේදිකාවේත් කාර්යබහුලයි කියා කියන්නට පුළුවන්. මම ගායනා කරනවා වගේම ගීත රචනාත් කරනවා. ප්‍රසංග වේදිකාවේදී බොහෝ විට මම ගායනා කරන්නේ මගේම ගීතයි. මේ වන විට අලුතින්ම ගීත පහළොවක් පමණ මම ගායනා කළා. ඒවාහි සංගීතය, පදමාලාව මගේමයි. මා ගැයූ රෙගේ ගීතයක් වගේම වේග රිද්්මයේ ගීතයත් මේ දිනවල හුඟක් ජනප්‍රියයි. මෙහි 'රෙගේ' ගීිතයෙන් පැවසෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය ගැනයි. මිනිස්සු මොන තරම් නැටුවත් එහි අවසාන ප්‍රතිඵලය බුදු දහමට අනුවයි විසඳෙන්නේ. මේ ගැන තමයි මේ ගීතයෙන් කියැවෙන්නේ. මම බොහෝ විට උත්සාහ කරන්නේ බුද්ධ පණිවිඩය මගේ කලා නිර්මාණ ඔස්සේ සමාජගත කරන්නයි.

ප්‍රසංග වේදිකාවේ ඔබට තිබෙන ඉල්ලුම?

හුඟක් හොඳ ඉල්ලීමක් තිබෙනවා. මගේ ගීතවලට රසිකයන් කැමැත්තක් දක්වන බව පෙනෙනවා.

ඔබ රූපලාවණ්‍ය කලාවටත් දක්ෂයෙක්?

ඔව්. එදා වගේම අදටත් රූපලාවණ්‍ය කලාවේ නිරත වෙනවා. මගේ රූපලාවණ්‍ය සත්කාර ගත්ත දේශපාලඥයන් අදටත් මගෙන් ඔවුන්ගේ රූපලාවණ්‍ය කටයුතු සිදු කර ගන්නවා.

සැලෝන් කෙරුවාව මේ කලා කටයුතුවලට වඩා පහසුද?

මෙහෙමයි, රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනවා කියන්නේ එය වගකීමෙන් කළ යුතු දෙයක් වෙනවා. සැලෝන්වල පරිහරණය කරන සත්කාර, බඩු බාහිරාදිය ගැන හරි අවබෝධයක් ප්‍රමිතියක් තිබිය යුතු වෙනවා. මම මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන්නේ දැන් දශක තුනකට ආසන්න කාලයක සිටයි. සමහර නළු නිළියන් මගෙන් අහනවා මම ක්ෂේත්‍රයට ළඟදිද ආවේ කියලා. ඇත්තටම මම ක්ෂේත්‍රයට එකතු වෙන කොට මගෙන් එහෙම අහන අය ඉපදිලාවත් නැතුව ඇති.

මොනවද ඔබගේ අනාගත බලාපොරොත්තු?

මම හැම පෝයටම සිල් සමාදන් වෙනවා. මම කැමැතියි කවදා හරි දවසක මේ සියල්ල අතහැර දාලා බුදුන් දෙසූ චතුරාර්ය සත්‍ය මාර්ගය හොයා ගෙන යන්න.