වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවත් වෙන්න ටෙලි නාට්‍ය කළත් සිනමාවෙන් හොඳ දෙයක් කරන්න ආසයි

ජීවත් වෙන්න ටෙලි නාට්‍ය කළත් සිනමාවෙන් හොඳ දෙයක් කරන්න ආසයි

Medha Jayarathna

මේධා ඔබේ නවතම කලා තොරතුරු මොනවාද?

මේ දවස්වල සිවගුරුනාදන්ගේ ‘හංස දඩයම’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අවසන් කළා. එය තව දින කිහිපයකින් ජාතික රූපවාහිනියේ විකාශය වීමට නියමිතයි. ඊට අමතරව ‘මඩොල් කැලේ වීරයෝ’ ටෙලි නාට්‍යයටත් දායක වුණා. එය සිරස ටී. වී. ඔස්සේ විකාශය වීමට නියමිතයි. ඒ ඇරෙන්නට පසුගිය දවස්වල ‘මෙගා ස්ටාර්ස්’ වැඩසටහනට මම දායක වුණා. මම රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයක්ම පසුගිය දවස්වල විකාශය නිම වුණා. දංකුඩ බණ්ඩා, තුත්තිරි, පාරා ඒ අතර විශේෂයි.

ඔබේ ජීවිතේ හුඟක් කාර්යබහුලයිද?

එහෙමත් නැහැ ඉතින්. හැමදේම සමබරව කරගෙන යනවා. අපි යොදා ගන්න වැඩ කටයුතුත් එක්ක තමයි කාර්යබහුල වෙන්නේ. නැතිව සැලැස්මක් අනුව ඒ කටයුතු කර ගන්නවා නම් ජීවිතේ කාර්යබහුල වෙන්නේ නැහැ.

ඔබ ක්ෂේත්‍රයට එක් වන්නේ නිවේදිකාවක ලෙස. අද නිවේදනය ඔබෙන් මඟහැරිලාද?

ඔව්. ඇත්තටම මට හිතෙනවා මඟහැරිලා කියලා. මං දන්නේ නෑ අද අලුත් නිවේදක නිවේදිකාවෝ ඕනෑ තරම් ඉන්නවා. එත් පසුගිය කාලයේ මම සියත රූපවාහිනියේ නිවේදිකාවක ලෙස කටයුතු කළා. ඊට පස්සේ මට ‘රිසිර’ කියලා අලුතින්ම රූපවාහිනී නාලිකාවක් පටන් ගෙන තිබෙනවා. එයින් ආරාධනා ලැබුණා. එයට සම්බන්ධ වෙන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොකද මම ඇත්තටම හුඟක්ම ආස නිවේදනයට නිසා.

ඇයි ඒ?

නිවේදිකාවක් කියන දෙයට හුඟක්ම ආසයි. මොකද දැන් ඉන්න අයත් එක්ක බලන කොට මඟ තොටේදී ප්‍රේක්ෂකයන් අපිට හමු වුණත් ඒ අය කියන්නේ ඔයාලගේ කාලේ අද වගේ නෙමෙයි කියලයි. එතකොට අපිට හිතෙනවා ඇයි අපි පැත්තකට වෙලා ඉන්නේ අපරදෙනෙ කියලා. දුකකුත් දැනෙනවා. ඒත් මම නිවේදනයෙන් දුරස් වෙලාම හිටියෙත් නැහැ. මම ‘රස මොහොත’ වගේ වැඩසටහන් කළා. එකම නාලිකාවක පෙනී නොසිටිය නිසා ගොඩක් දුරට නිවේදිකාවක් ලෙස දක්නට නොලැබුණු තරම්.

චිත්‍රපට ගැන කතා කළොත්?

පසුගිය කාලයේ නම් අනුරුද්ධ ජයසිංහගේ එක දවසක අපි චිත්‍රපටයට මම දායක වුණා. එය තිරගත වුණා. කොමඩි, විහිළු, බොළඳ කතාන්දර වගේ චිත්‍රපටවලට මට ආරාධනා කොතෙකුත් ලැබුණා. මම ඒවට ඒතරම් කැමැත්තක් දැක්වූවේ නැහැ. ටෙලි නාට්‍යවල ජීවත් වෙන්න මොනවා හරි දෙයක් කළාට මම හිතනවා සිනමාව වගේ දෙයක හොඳ දෙයක් කළ යුතුයි කියන තැන මම ඉන්නවා.

වර්තමාන ටෙලි නාට්‍ය කලාව ගැන ඔබේ අදහස ?

ලොකු කඩා වැටීමක් තිබෙන බවයි මට පෙනේනේ. ඒක නම් එන්න එන්නම දවසින් දවස පිරිහෙනවා. නිළිය පමණක් නොවෙයි නිෂ්පාදිකාවක ලෙසත් මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. එතැනදී පෙනෙන දෙයක් තමයි මේ කර්මාන්තයේ නියැළීම මොන තරම් අසීරු කටයුත්තක් ද කියලා. මොකද හැම දේම දවසින් දවස ගණන් යනවා. රුපියලේ අගය අඩු වෙනවා. නමුත් ටෙලි නාට්‍යවලට චැනල්වලින් ගෙවන ගණන් එන්න එන්නම අඩු වෙනවා. සත පහක්වත් වැඩි වෙලා නැහැ. අපි උදාහරණයක් ගනිමු. එදා ටෙලි නාට්‍යයකට ලක්ෂ දෙක හමාරක් ගෙවපු චැනල් එකක් දෙවැනි නාට්‍යයකට ලක්ෂ දෙකයි ගෙවන්නේ. තුන්වෙනි නාට්‍ය දෙන කොට ලක්ෂ එක හමාරයි ගෙවන්නේ. මේ වගේ තත්ත්වයක් තමයි අද රටේ ටෙලි නාට්‍ය කලාවේ තිබෙන්නේ.

ප්‍රේක්ෂකයන් අද ටෙලි නාට්‍යවලින් දුරස් වෙලාද?

මට එහෙම හිතෙනවා. මොකද සමීක්ෂණවලින් පවා හෙළි වී තිබෙනවා රූපවාහිනී නාලිකා බලන ප්‍රතිශතය ඉතාම අඩු මට්ටමක තිබෙන බව. ඒකට එදා ඉඳන් අද වෙනකම්ම තිබෙන දේශපාලනික, සමාජීය, ආර්ථික මේ හැම කාරණාවක්ම බලපාන්නත් ඇති කියලා මට හිතෙනවා.

නිෂ්පාදිකාවක ලෙස කටයුතු කිරීම පහසුද?

හරිම අසීරු කර්තව්‍යයක් එය. කලාවට තිබෙන ආශාව නිසාම මේ කාර්යයේ නියැළුණාට හරිම අමාරුයි. මොකද අපිට ලැබෙන ගාණට ටෙලි නාට්‍ය නිර්මාණය කිරීම අපහසුයි.

ඔබ කාලයක් විදෙස් ගත වී සිටියා. ඒ අත්දැකීම් හා අද මෙහෙ ගෙවෙන ජීවිතය මොන වගේද?

එංගලන්තයේ ලද අත්දැකීම් ගැන කතා කළොත් දවසක් වුණත් කතා කරන්න පුළුවන්. ඇත්තටම රටවල් එක්ක ගත්තම අපි මොනතරම් අවාසනාවන්ත ද කියලා හිතෙනවා. ඒ කියන්නේ රටේ වැරැද්ද නෙමෙයි මේ සමාජයේ නිසා ඇති වැරැද්ද. ඒ රටවල්වල ජීවත් වෙන්න හරිම පහසුයි. ජීවත් වෙන්න හරිම හොඳයි. ඒවත් එක්ක සමහරු අහනවා ඇයි ආවේ කියලා. අපි ජීවත් වෙන්නේ, හුස්ම ගන්නේ අපේ රටේනෙ. ඒ රටට අපි ආගන්තුකයිනේ. ඒ නිසා අපි අපේ රට හොයාගෙන එනවා.

ප්‍රේක්ෂක ප්‍රතිචාර?

හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම ලංකාවට ආවට පස්සේ හුඟක් නිර්මාණවලට දායක වුණා. ‘මෙගා ස්ටාර්ස්’ වගේ නර්තනමය රියැලිටිවලට දායක වුණා. මොකද මම නර්තනයේ යෙදෙනවා මගේ ප්‍රේක්ෂකයින් දැකලා නැහැ. එයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම වෙනස් වෙනස් චරිත රඟපාන්න ලැබුණා. දංකුඩ බණ්ඩා හි ‘මැණිකා’ චරිතයට මම හරි ආසයි.

අද සමාජයේ නළු නිළියන්ට ඇති කැමැත්ත ඔබට දැනෙන්නේ කොහොමද?

අද සමාජයේ මිනිසුන්ගේ කැමැත්තකුත් ලොකු ආදරයකුත් නළු නිළියන් කෙරෙහි පවතිනවා. ඒ අතරෙදි සමහර සිදුවීම් හා මිනිසුන්ගේ ඊර්ෂ්‍යාව, කුහකකම් එළියට එන වෙලාවලුත් මම දකිනවා. ෆෙස්බුක්, ගොසිප්වල නළු නිළියන්ට මඩ ගහන ඒවත් තියෙනවා. ඒ වගේම ආදරයකුත් තිබෙනවා.

නව පරපුර ගැන මොකද හිතෙන්නේ?

නව පරපුර ගැන මම දකින එකම දේ තමයි අපේ ක්ෂේත්‍රයේ හැදෑරීමක් නැහැ. සාමාන්‍ය දැනීමක්වත් ලැබෙන්න තරම් අධ්‍යාපනයක් නැහැ. ලස්සන විතරයි තිබෙන්නේ. විශේෂයෙන් ගැහැනු ළමයින්ට. ඒ නිසා පොඩ්ඩක් ජනප්‍රිය වූ ගමන් ඒ අයට ඒක දරාගන්න බැහැ. ඉස්සර අපි නම් අපි අඳුරන්නේ නැති වුණත් අපේ ප්‍රවීණයන් දුටු විට අපි ළඟට ගිහින් කතා කරනවා. මේ අය දැක්කත් හොඳට දන්නවා වුණත් ළඟට ඇවිත් කතා කරන්නේ නැහැ. තමන්ට වාසියක් තියෙනවා නම් විතරක් ඇවිත් කතා කරනවා.

මොනවද මේ කාලයේදී ඔබ මුහුණ දුන් අමතක නොවන සිදුවීම්?

මතකයේ තිබෙන්නේ දංකුඩ බණ්ඩා රූගත කිරීම්වලට යන විට හැප්පෙන්න ගිහිල්ලා දෙසැරයක්ම ජීවිතය බේරුණු එක තමයි. පොළොන්නරුවේ ෂූටින් නිසා රෑ වෙලා යන්නේ එහේ. එතකොට කොළඹ ඉඳලා යන කොට තව නුලෙන් බවුසරයක අපි ගිය වෑන් රථය ගැටෙනවා. මට ඇහැරිලා මම කෑ ගහපු නිසා බේරුණා.