වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




පයින් art

සුවඳ සබන් ඇඟ ගාලා

තම සුරතලුන්ට සුවඳ සබන් ගාලා නාවලා තමන් රෙදි හෝදන සබන් ගාලා මූණ කට හෝදන නළුවෙක් අපට හමු වුණා. ඔහුගේ නම සැනෙට් දික්කුඹුර. දෙහිවල පදිංචි සැනෙට් ගත කරන්නේ තනිකඩ ජීවිතයක් කියලා ඔහුගේ සමීපතමයින් දන්නවා. එහෙත් ඔහුගේ ජීවිතයට තනි නැහැ. ඒ මේ බලු සුරතලුන් ඉන්න හින්දා. එක බලු පැටියෙක් කරන්නෙම සැනෙට්ගේ ජංගම දුරකතනයට ඇමතුමක් එනකොට බුරන එක. ඒ සද්දය දුරකතනයේ හඬට වඩා වැඩියි. සැනට් තමන්ට දුරකතන ඇමතුමක් එන වගට දැන ගන්නෙත් ඒ බිරීමෙන් තමයි. සැනෙට්ගේ ගෙදර ඉන්න සුනඛයින් තුන් හතර දෙනාට කොච්චර ආදරේ ද කියලා කිව්වොත් උන්ව නාවන්න සුවඳ සබං ගේනවා. උණු වතුරෙන් නාවන වෙලාවලුත් තියෙනවා. ඒත් සැනෙට් ගාන්නෙ රෙදි හෝදන සබන්. ඒ වගේම සැනෙට් කොහොම හරි පාර්ටියකට ගියාම ඒකේ තියෙන කෑම කන්නෙ නැතුව පාර්සලයක් බැඳ ගෙන එනවා. ඒක දකින අය හිතන්නේ සැනෙට් ගෙදර ගිහින් කන්න තමයි මේ පාර්සලය ගෙනි යන්නේ කියලා. එහෙත් වෙන්නේ වෙන දෙයක්. සැනෙට් යන ගමන් කඩෙන් කෑම එකක් ගන්නවා. පාර්ටියේ කෑම එක සුරතල් බල්ලන්ට දෙනවා. කොහොමද සැනෙට්ගේ වැඩ.

ඉල්ලන් කෑම

ලක්ෂ්මන් අමරසේකර හෙවත් අපේ අලිඩොං හරි අකරතැබ්බයකට තමයි මුහුණ දීලා තියෙන්නේ. එක අතකින් බැලුවොත් ඒක ඉල්ලගෙන කන වැඩක්. ලක්ෂ්මන් මෙහෙම ඉල්ලගෙන කාලා තියෙන්නේ බුලත් විට. සිද්ධිය මේකයි. ඉකුත් දිනයකදී සිහින නමින් ටෙලි චිත්‍රපටයක රූප ගත කිරීම් තිබුණා කුලියාපිටියේ. ලක්ෂ්මන් එහි රඟපෑවේ හෙංචයියා කියන විකට චරිතයක්. පිටපත එහෙම බලලා ලක්ෂ්මන් කිව්වලු මේ චරිතය බුලත් කකා හිටියා නම් හොඳයි කියලා. නිෂ්පාදන අංශයෙන් වහාම බුලත් විට කිහිපයක් ලැබිලා. ලක්ෂ්මන් හිතලා තියෙන්නෙ එදින තමන්ට තියෙන්නේ දර්ශන පහක් විතර කියලා. එහෙත් ඔහුගේ දර්ශන දහයක් එදා තිබිලා. ෂෙඩුල් එක දැක්කම තමයි ඔහුට තරු පෙනිල තියෙන්නේ. එදා කොහොම හරි බුලත් විට කකා දවසම ලක්ෂ්මන් රඟපෑවලු. අන්තිමේ වෙලා තියෙන්නේ කාපු බුලතේ හැටියට ලක්ෂ්මන් මත්වෙච්ච එක. බුලත යෝධයාවත් ලක්ෂ්මන් තරම් දවසක බුලත් විට කාලා නැතුව ඇති.

ආයෙත් එනවා

සුරුපී අමාවි කලක් වහංවෙලා හිටියේ රංගනයෙනුත් ඈත් වෙලා. ඒ මොකද දන්නවද ඇය අම්මා කෙනෙක් වෙච්ච හින්දා. අමාවි මවක් වුණ බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ. ඊයේ පෙරේදා දිනයකදියි ඇය ඒ වග මුහුණු පොතෙන් ප්‍රසිද්ධ කළේ. දැන් බබා ටිකක් ලොකුයි. ඒ හින්දා ඇය ආයෙමත් රඟපාන්න එනවලු. ළඟදි අමාවිගේ අපූරු රංගනයන් දැකගන්නට ලැබේවි.

හොඳ වෙලාවට ‘ස්ටොප්’ වුණා

නව පරපුරේ රංගන ශිල්පියකු මෙන්ම අප සහෝදර පුවත්පත් ආයතනයක මාධ්‍යෙවේදියකු ද වන වසන්ත කුමාර පසුගියදා යුගදිවියට පිවිසුණා. ඔහුගේ අත ගත් මනාලිය වූයේ ඉරේෂා ලක්මාලි. අඹේපුස්සේ හෝටලයකදියි ඔහුගේ ජීවිතයේ ඒ නවමු පිටුව පෙරළුණේ. වසන්තගේ වෙඩින් එකට කලාකරුවන් රැසක් සහභාගි වුණා. ඔහුට සුබපතන ගමන් මේ කියන්න හදන්නේ එදා වෙච්ච රසවත් සිදුවීමක්. තමන්ට සුබපතන්න පැමිණි කලාකරුවන් අතර ගායකයකුයි නළුවෙකුයි ඉන්නවා. ගායකයා උදේශ් නිලංග, නළුවා ප්‍රියන්ත මංසිලු. වසන්තට ඕන වුණා මේ දෙන්නා ලව්වා ගීතයක් ගායනා කරවා ගන්න. වසන්ත කිහිප සැරයක් ළඟට ඇවිත් කිව්වත් දෙන්නා 'පස්සෙ කියන්නම් කිය කියා වාඩි වෙලාම හිටියලු.

බැරිම තැන වසන්ත ඇවිත් බෑන්ඩ් එක ළඟ තිබුණු මයික්‍රෆෝනය අරගෙන උදේශ්ගෙත් මංසිලුගෙත් නම් දෙක කියලා. දෙන්න දඩිබිඩි ගාලා නැගිටලා අතේ තිබුණ වීදුරු දෙකත් ගුඩුස් ගාලා හිස් කරලා ස්්ටේජ් එකට ගියාලු. එවලෙ වෙඩින් එකට ආව පිරිස නට නට හිටපු වෙලාවලු. උදේශ් සහ මංසිලු කතා කරගත්තලු ඒ නිසා නැගලා යන ගීත ඇතුළත් නන්ස්ටොප් එකක් කියන්න. දෙන්නා පටන් ගත්තලු. මුලදි වසන්ත මනාලිය එක්ක බොහොම ආසාවෙන් දෙන්නා සින්දු කියනවා බලාගෙන ඉඳලා. ටික වේලාවක් ගත වුණාලු. වෙඩින් එකට ආව හිතවත් කිහිප දෙනෙක් සින්දු කියන්න බලාගෙන ඉන්නවලු. උදේශ් සහ මංසිලු දිගටම සිංදු කියනවාලු. අන්තිමේ බැරිම තැන වසන්ත ස්ටේජ් එකට නැගලා දෙන්නට රහසින් කියලලු නන්ස්ටොප් එක නතර කළේ. නැතිනම් තවම දෙන්නා සින්දු කියනවලු.