වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




තම විවාහ මංගල්‍යයදා පුවත්පතේ වැඩ අතපසු නොකළ සීලවිමල

තම විවාහ මංගල්‍යයදා පුවත්පතේ වැඩ අතපසු නොකළ සීලවිමල

'සුදෝ පොඩ්ඩක් අඬන්න', 'ආනන්ද මේ රෑ හරි හැඩයිනේ', 'හිස් ටින් එකක් වගෙයි මේ ජීවිතේ මල්ලී', 'මෙත් මල් පිබිදේවා', 'මමයි මොට්ටපාල', 'රත්තරන් කෙණ්ඩියේ' යනාදිය සිරිල්ගේ ගීතාවලියේ කැපීපෙනේ

මම 'සිරිල් ඒ. සීලවිමල' යන නම මුලින්ම දුටුවේ වයස අවුරුදු දහය පමණ කාලයේදීය. ඒ 'චලන චිත්‍ර' නම් සිනමා පත්‍රයේ ලිපියකිනි. 'චලන චිත්‍ර' සිනමා පත්‍රයේ සංස්කාරක සෝමපාල රණවීර මහතා මගේ පියාගේ මිතුරෙකි. ඔහු නැවතී සිටියේ අප නිවසට යාබදව ඇති 'ඈපා මුද්‍රණාලය' පිහිටි ගොඩනැගිල්ලේ උඩුමහලේය. ඔහු සංස්කරණය කළ 'චලන චිත්‍ර' පත්‍රයේ අලුත්ම පිටපතක් තාත්තාට තුඩු පඬුරු ලෙස දෙන සිරිතක් තිබුණි. සිනමාව ගැන බහ තෝරන කාලයේ සිටම ඇල්මක් ඇතිවීමට වර්ණ කවරයකින් යුතු මේ සඟරාව බලපාන්නට ඇති. මේ පත්‍රයේ ලියූ ලේඛකයන් අතර සිරිල් ඒ. සීලවිමල ලියූ සංකල්පනා කියවීමට එදා මම ප්‍රිය කළෙමි.

සෝමපාල රණවීර මහතාට මා කතා කළේ 'සෝමපාල මාමා' කියාය.

'මට ඉන්නේ එකම එක සහායකයි පත්තරේ වැඩ කරන්න. ඒ සිරිල්. සිරිල් ඒ. සීලවිමල'. දිනක් සෝමපාල මාමා තාත්තාට කියනු මම අසා සිටියෙමි. තව දිනක සෝමපාල මාමා 'චලන චිත්‍ර' කන්තෝරුවේ වැඩ කරමින් සිටින ඡායාරූපයක් තාත්තාට පෙන්නුවේ ඒ ඡායාරූපය මගේ මාමා කෙනෙකු ගත් එකක් යැයි පවසමිනි. එහි සෝමපාල මාමාගේ මේසයේම අනික් පැත්තේ සංස්කරණ කටයුතු කරමින් සිටියේ සිරිල් ඒ. සීලවිමල මහතා බව අපට කීවේය. ආරියරත්න කහවිට සංස්කරණය කළ 'කලා' සිනමා පත්‍රයට ඔහු එකල අපූරු කවි සංකල්පනා ලිවීය.

එකල ගුවන් විදුලියේ ජනප්‍රිය ගී දෙකක් අපට හොඳින් කටපාඩම්ව තිබුණි. එකක ගායකයා මොරිස් දහනායකය.

'සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙළන්න'

අනෙක් ගීතය ෆ්‍රෙඩී සිල්වා ගයන ගීයකි.

'මමයි මොට්ටපාල
දොට්ට දැම්ම පාසලෙන්
වෙට්ට පිත්තල වී සිටිමි කවටකම්වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ'

මේ ගීත ඇසූවන් ඇතැම්විට මිතුරන් සමඟ ගායනා කළත් ගීත රචකයා සිරිල් ඒ. සීලවිමල බව දැන ගත්තේ මොරිස් දහනායක ගැන මා සරසවිය පුවත්පතට 1970 දී පමණ ලියූ විශේෂාංගයකිනි.

සිරිල් ඒ. සීලවිමල නම පත්‍රකලවේදියා, කවියා, ගීත රචකයා මම මුල්වරට දැක ගත්තේ 'දවස' පත්‍ර ආයතනයට ගිය ගමනකදීය. ඒ පාසල් යන කාලයේ 'ශ්‍රී ' සඟරාවට ලිපි පළ කරවා ගැනීමට ශ්‍රියා අක්කා (ශ්‍රියා රත්නකාර) හමුවීමට ගිය අවස්ථාවකදීය. ඒ 1968 දී පමණය. ඔහු දවස කර්තෘ මණ්ඩලයේ දිග මේසයේ මුල් පුටුවක හිඳ ගෙන කරමින් සිටි බරපතළ රාජකාරි අතරතුරය. ශ්‍රියා අක්කා 'මේ ආනන්දේ ළමයෙක්' යයි මා හඳුන්වා දුන්නේය.

මේ උපශාන්ත මිනිසා නිහතමානි අව්‍යාජ සිනා රැල්ලකින් මට සංග්‍රහ කරමින් කතා කළේය. 'සිරිල් අයියා' මම ඔහුට කතා කළෙමි. මම වරක් 'සරසවිය' පුවත්පතට ඔහු ගැන ලිපියක් ලිවීමට ගියෙමි. 'දවස' නිවසේ කැන්ටිමේ තේ බොමින් අපි බොහෝ වේලාවක් කතා කළෙමු.

සිරිල් අයියා 'දවස' හා 'රිවිරැස' පත්‍රවල කර්තෘ පදවි දැරූ කාලයේ ද මට ඇසුරු කිරීමේ භාග්‍ය උදා විය. 'ලංකාදීප' පත්‍රයේ සම කර්තෘවරියක වූ චන්ද්‍රිකා විජේසුන්දර සිරිල් අයියා ගැන ලියා තිබූ සටහනකින් ඔහු සෙවණේ 'දවස' ආයතනයේ සිටියදී ගක කළ කාලය මොනවට විවරණය වෙයි.

'අප අද පුවත්පත් ජීවිතයේ යම් තැනක සිටින්නේ නම් ඒ ඔහුට පින් සිදුවන්නටය. අධිෂ්ඨානය, වගකීම සහ කැපවීම වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන් වූයේය. අප ගියේ ඔහු ගිය මඟය. එදා මෙන් නොව අද කාර්යබහුල පුවත්පත් ලෝකය යම් ස්ථාවරයක සිටින්නට අප ඔහුගෙන් ලද පන්නරය සහ ජවය අපට මහත් ශක්තියක් විය. ඒ වෙනුවෙන් මම ඔහුට එක් වරක් නොව දහස් වරක් වුව හිස නමා ගෞරවාචාර කරමි.'

සිරිල් අබේනායක සීලවිමල 1930 ඔක්තෝබර් 29 වෙනිදා සඳලංකාවේ ඉරබඩගම දී උපත ලැබීය. මීරිගම කඳන්ගමුව මහා විද්‍යාලයෙන් හා සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනෙන් ඉගෙනුම ලැබූ ඔහු වරක් තම කුඩා අවදිය ගැන මාධ්‍යවේදී ලලිත් ප්‍රියංකරට විස්තර කර තිබුණේ මෙසේය.

'අපේ තාත්තා වෛද්‍යාචාර්ය අබිලීන අබේනායක. ඔහු කිසි විටක දුම්පානය කළේ නැහැ. මත් වතුර පාලනය කළේ නැහැ. මස් මාංස අනුභව කළෙත් නැහැ. ආදර්ශය දුන්නා විනා අපේ තාත්තා වේවැල් කෝටුව පෙන්නුවේ නැහැ. අම්මා කරුණාවතී අබේනායක. අපේ පවුලේ මමයි, මල්ලියි, නංගියි.

පාසල් කාලයේ සිටම කවි නිසදැස් ලියා පුවත්පත්වලට තැපැල් කළා. ඒවා විටින් විට පළ වුණා. වෙ. වී. අබේගුණවර්ධන මහතා කර්තෘ වුණු 'පෙරමුණ' පත්තරයේ වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එවකට ගුවන් විදුලියේ සිටි තේවිස් ගුරුගේ මහතාගේ මාර්ගයෙන් ධනපාල මහත්තයා හමු වුණා. ඒ දවස්වල දවස පත්තරයේ කර්තෘ ධූරය දැරුවේ ධනපාල මහත්තයා. එතුමා මට නිදහස් ලේඛකයකු ලෙස ලියන්න දුන්නා.'

ඒ සිරිල් ඒ. සීලවිමලගේ පත්‍ර කලා ජීවිතයේ ආරම්භයය. පසු කාලයක ඔහුට 'දවස' පත්තරේත් 'රිවිරැස' පත්තරයේත් කර්තෘ වෙන්න අවස්ථාව උදා වුණා. දුෂ්කර හා කැපවීම් සහිත ඒ ගමන් මඟ ගැන සිරිල්, ලලිත් ප්‍රියංකරට කියා තිබුණේ මෙසේය.

'පත්තර කන්තෝරුවෙන් සිංහල අලුත් අවුරුදු දිනයට හා නත්තල් දිනයට නිවාඩු දෙනවා. ඒ දින හැරුණාම වෙනත් කිසිම දිනක මම නිවාඩු අරගෙන නැහැ. මගේ විවාහ මංගල උත්සව දවසෙදිත් වැඩ කළා. 'සිරිල් ඔයා කවදා හරි හොඳ පත්තරකාරයෙක් වෙනවා' කියා ඩී. බී. ධනපාල මහතා ළඟට ඇවිත් කියූ හැටි මතකයි.'

සිරිල් ඒ. සීලවිමල හා පංචිකාවත්තේ ටවර් හෝල් රංග ශාලාව ඉදිරිපිට තිබුණ ටවර් ෆ්ලැට් එකේ 'සින්දු කාමරය' අතර ඇත්තේ අවියෝජනීයව තිබෙන සම්බන්ධතාවකි. මේ සින්දු කාමරයට නිතර ආ ගිය පිරිස අතර ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ආර්. සිවනන්ද, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, මොරිස් දහනායක, ෆ්‍රෙඩී සිල්වා, පැට්‍රික් දෙනිපිටිය, ලාල් හීනටිගල ද වූහ. මේ සින්දු කාමරයේ ජනෙල් වසා තිබුණේ නැත. එක ඇඳයි, මේසයයි. එකම එක විදුලි බුබුලකි. ඒත් මේ කාමරයට අර ඉහතින් කී පිරිසට අමතරව වෝල්ටර් විමලරත්න මෙන්ම ජී. පී. ඕ. එකේ වැඩ කළ උදයකාන්ත ද විය. උදයකාන්ත සින්දු කාමරයට ආව ගියේය. වෝල්ටර්ගේ මේ කාමරයේ තමයි කොටහේනේ කුමාර විද්‍යාලයේ ශිෂ්‍ය ජී. ඩී. එල්. පෙරේරාගේ මුල්ම වේදිකා නාට්‍යය වූ 'කඳුළු' පුහුණුවීම් කළේ. දවසක් ජී. ඩී. එල්. පෙරේරා සින්දු කාමරයට යන විට සිටියේ උදයකාන්තට සමාන තවත් කෙනෙකි. ඒ උදයාකාන්තගේ සොහොයුරු සිරිල් ඒ. සීලවිමලය. කතාබහ කිරීමෙන් පසු ජී. ඩී. එල්, සිරිල්ට යෝජනාවක් ගෙනාවේය.

'අයියා කැමති නැද්ද අපේ නාට්‍යයේ රඟපාන්න'

'මම නම් රඟපෑමට ආශා නැහැ. හැබැයි මල්ලිට උදව්වක් හැටියට ඔයාට ඕනෑ මෙකක්ද කියලා කිව්වොත් රඟපාන්නම්'.

සිරිල් ඒ. සීලවිමල නම් මාධ්‍යවේදියා 'කඳුළු' නාට්‍යය තුළින් වේදිකා නළුවකු කිරීම ගැන ජී. ඩී. එල් පෙරේරා (සාමා, දහසක් සිතිවිලි, රෝමියෝ ජුලියට් කතාවක් චිත්‍රපට අධ්‍යක්ෂ) අදත් ආඩම්බර වෙයි. ජී. ඩී. එල්ට හා කලා පෙළ සංවිධානයට උපදෙස් දුන් උපදේශකයකි සිරිල්. ඔහු ගීත රචනයට පිවිසෙන්නේ ගුවන් විදුලියේ ළමා පිටිය වැඩ සටහන්වල ගී ලිවීමෙනි. කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, සරත් විමලවීර ආදීන් මෙහෙය වූ ළමා වැඩසටහන්වලින් ළමා ගී ලියූ ඔහු ග්‍රාමීය සන්ධ්‍යාවේ නාට්‍ය හා විචිත්‍රාංග ලිවීය. ළමා පිටියට ඔහු මුලින්ම ලියූ 'මා හිමි රජාණෝ ලෝක නාථ වූ' ගීතය ගැයුවේ අයිරින් සිල්වාය. මේ කාලයේම වසන්තා සන්දනායක හා සරත් සන්දනායකටත් ගීතයක් ලිවීමට සිරිල්ට හැකි විය.

මුල් කාලයේ සිරිල් ගී ලිව්වේ තම ආදරවන්තිය උදෙසාය. ඇගේ නම අනුලා පෙරේරා. විවාහ වූ පසු ද ඔහු ඇයට ගී ලිව්වේය. ඇය තම සැමියා ලියූ ගී අතරින් වඩාත් ප්‍රිය කරන්නේ රන්ජන් ජයතිලක හා සුජාතා ගැයූ මේ ගීතයටය.

'වෙලේ මඩේ අව් ගින්නේ වේලෙනවා
දිවා රැයේ අප වෙනුවෙන් වෙහෙසෙනවා'

ඒ ගීතයයි.

'ඒක සංසාරගත ප්‍රේමයක්. දවසක් අනුලා අම්මත් එක්ක කොහේදෝ යනවා ගමනක දුටුවා. එදා ඇය හැඳ සිටියේ ඔසරියක්. මගේ සිතේ ඇති වූ චමත්කාරය නිසා මම එවකට ගුවන් විදුලියේ ජනප්‍රිය ගායකයකුව සිටි ආර්. සිවනන්දට මේ ගීතය ලියලා දුන්නා.'

'ලස්සන ගංගා කුමාරියේ
යන්නෙ කොයිබද සවාරියේ
ඔයා නැළ වී නැළ වී හැඩ තාලේ
නිල් දිය ඔසරිය රැලි දාලා'

මේ ගීතයේ තනුවත් සිවනන්දගේ.

ආදරයට කොයිදෝ බාධා නැත්තේ? සිරිල්ගේ හා අනුලාගේ ප්‍රේමය වසර 7 කට පසු ජය ගත්තේ යුද්ධයක් කරල වගේය. ඉන්පසු සිරිල් ලියූ මේ ගීතය ගැයුවේත් ආර්. සිවනන්ද. සංගීත නිර්මාණය ලාල් හීනටිගල.

'ආදරේට ඇගේ
වේදනාව දෙන්නේ
අනේ ඔහොම දුක් දෙන්න
දුක නැද්ද අම්මේ
ලෝකෙ තාලේ
මේ වගේමයි නෙ
ආලේ ලීලේ හඳුනාලා නෑනෙ
ඈටත් මාගේ හැමදාම දුකනේ'

සිරිල් විසින් තම ආදරවන්තියට ලියූ මේ ගුවන් විදුලි ගීතය එදා පෙම්වතුන් පෙම්වතියන් අතර ඉමහත් ජනප්‍රසාදයක් ලබා ගත් බව පණහෙ හැටේ දසකවල ගුවන් විදුලි ශ්‍රාවකයන්ට මතක ඇති. ගායකයා මොරිස් දහනායකය.

'සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙළන්න'

තම පෙම්වතියගේ කඳුළු දැකීමට ඔහුගේ හදවතේ තිබූ දැඩි ආසාවක් ඉස්මතු වූයේ මේ ගීතයෙනි. වරක් මේ ගීතයේ පසුබිම සරසවිය පත්‍රයේ අර්නස්ට් වඩුගේට මෙසේ කියා තිබුණි.

'ඇත්තෙන්ම අනූ, ඔයා කවදාවත් ජීවිතයේ අඬලා නැද්ද?'

'යස වැඩක්නේ ඔයා ආස මං අඬනවටද?'

'ඔව් ඔයා හිනාවෙනවාට වඩා මං ආසයි අඬනව බලන්න'.

අනුලා හැඬ විය යුතු යයි සීලවිමල සිතා ගත්තේය. ඔහු ඇගේ බොරු වරදක් ගෙන ඈ අඬන තැනට කටයුතු කළේය. ඒත් මේ සෙල්ලම දුර දිග නොගියා නොවේ. අනුලාගේ කඳුළු සීලවිමලටවත් නතර කර ගත නොහැකි තරම් දුර දිග ගියේය.

'බොරු කියා ඔබ හැඬෙව්වත්
ළපටි හදවත රිදෙව්වත්
මගේ ආලය මමයි දන්නේ
නෑ වෙනස්කම් හිතින්වත්'

ගීතය අසා අනුලා සතුටු කඳුළු වැගුරුවාය. ටික කලකින් අනුලා 'අනුලා සීලවිමල' බවට පත් වූවාය.

'මගේ බොහොමයක් ගීත පසුපස ඉන්නේ අනුලා' සීලවිමල නිතර කීවේය. ඔහු තම බිරිඳට දැක් වූ ආදරය සෙනෙහස වචනයෙන් නිම කිරීමට බැරිය. අනුලා ද එයට නොදෙවෙනිය.

සිරිල් ඒ. සීලවිමල චිත්‍රපට ගීත රචකයකු ලෙස සිනමාවට හඳුන්වාදෙන්නේ 'දීපසිකා' චිත්‍රපටයේ අධ්‍යක්ෂක කිංස්ලි රාජපක්ෂය. පී. එල්. ඒ. සෝමපාලගේ සංගීතයට ලතා වල්පොල ගැයූ ගීත දෙකකි ඒ.

'එන්නා . . . කරුමෙ ලුහුබැන්දා
නැත සැනසීම මේ ජීවිතේ'
'කං කං බූරූ - සින් සින් නොරූ
සමන් මලෙන් හොරෙන් හොරෙන්'

ඊළඟට ඔහු ෆ්ලොරිඩා ජයලත් අධ්‍යක්ෂණය කළ 'ස්වීප් ටිකට්' චිත්‍රපටයේ පී. එල්. ඒ. සෝමපාලගේ සංගීතයට එච්. ආර්. ජෝතිපාල හා ඇන්ජලින් ගුණතිලක ගැයූ මේ ගීත එකල අතිශයින් ජනප්‍රිය විය.

'හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ
අපෙ ආදරේ - ආදරේ - අපෙ ආදරේ'

ඒ චිත්‍රපටයේම සුජාතා පෙරේරා (අත්තනායක) ගැයූ 'ච ච චා මොකද කෙල්ලේ ඔය තරම් ලැජ්ජා වෙන්නේ' ගීතය ද ඔහු රචනය කළේය.

ඔහු 'සුදු දුව' චිත්‍රපටයට රචනය කළ හරූන් ලන්ත්‍රා සහ සුජාතා පෙරේරා ගැයූ මේ ගීතය ද එදා ජනප්‍රිය විය.

'ආනන්ද මේ රෑ හරී හැඩයිනේ
කවුද පාවෙන මලක් වගෙයිනේ
හෝ . . . ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වෙයි
මමනෙ සුහදේ ඒ පෙම් කුමාරි'

සිරිල් ලියූ චිත්‍රපට ගීත රැසකි. කොළඹ හාදයෝ, රන් ඔන්චිල්ලා, කේසර සිංහයෝ, සුලි සුළං, දැන් මතකද?, ප්‍රවේසම්වන්න, උතුම් ස්ත්‍රිය, සිදාදියෙන් හයක්, පූජිතයෝ, මිරිඟුව, ගොපළු හඬ, අද මෙහෙමයි, සිනාවයි ඉනාවයි, සුදුසුදා, සුහද පැතුම, පික් පොකට්, ශාන්ති, වස්තුව, අමරණීය ආදරේ, ගිජුලිහිණියෝ, සිකුරුලියා. නයනා, හාරත හතර, යළි ඉපිදේ, විශ්මය, කුමර කුමරියෝ, සමන්මලී, දුටුගැමුණු, ඩොක්ටර් සුසන්තා, ලොකු තාත්තා, අජාසත්ත, කිඳුරු කුමාරි, රහසක් නැති රහසක්, චණ්ඩි සිරියා, බිරිඳ, තාත්තයි පුතයි, මල්වරුසා, වන බඹරා, ධවල පුෂ්පය, ඉන්ස්පෙක්ටර් ගීතා, සැනසුම මේ චිත්‍රපටය.

මිල්ටන් පෙරේරා හා ශ්‍රීමති තිලකරත්න කේසර සිංහයෝ චිත්‍රපටයට ගැයූ 'සන්සුන් රුවන් හද මන්දිරේ' (සංගීතය ප්‍රේමදාස අතුකෝරාල) 'දැන් මතකද' චිත්‍රපටයේ 'හිස් ටින් එකක් වගේ අපේ ජීවිතේ මල්ලී' (ගායනය මිල්ටන් පෙරේරා, ජෝතිපාල, මොහිදීන් බෙග්, සංගීතය පී. එල්. ඒ. සෝමපාල) ජෝතිපාල හා ඇන්ජලින් 'සුහද පැතුම' චිත්‍රපයට ගැයූ 'දෝතින් දෝතයි', 'සිකුරුලියා' චිත්‍රපටයේ එම්. එස්. ප්‍රනාන්දු ගැයූ 'දිලි දිලි දිලිසෙන එළියක්' සීලවිමලගේ පෑන් තුඩින් ලියූ චිත්‍රපට අතරින් කිහිපයක් පමණි.

ඔහු ලියූ සරල ගී එමටය. වික්ටර් රත්නායක, ආර්. ඒ. චන්ද්‍රසේනගේ සංගීතයට ගැයූ මේ ගීත දෙක ඔබට මතකද?

'රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබළේ'
'ළිඳෙන් වතුර බීලා - එයින් වතුර නාලා
ළිඳට ගල් ගසාලා - වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි - මිනිසා ගඟට ආවඩයි'

මොරිස් දහනායක, ස්ටැන්ලි එම්. ප්‍රනාන්දුගේ සංගීත නිර්මාණයට ගැයූ මේ ගීතය අමරණීය ගීතයකි.

'මෙත් මල් පිබිදේවා
සිත් තුළ මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුළ මෙත් මල් පිබිදේවා'

මේ මහා පුවත්පත් කලාවේදියා, ගේය පද රචකයා අසූ වසරකුත් දින පහක් පරම ආයුෂ වළඳා 2010 නොවැම්බර් 04 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේය.

සිරිල් ඒ. සීලවිමලයන්ගේ පිය බිරිඳ අනුලා සිය සැමියා වෙනුවෙන් පින්කම් කරන්නීය. නිතර ඔහු ගුණ ගයන්නීය. සීලවිමලයන්ගේ ජීවිතයේ සෙවණැල්ල ඇය විය. 1959 වසරේ මාලිගාවත්තේ පන්සලක සිංහල පන්තියකට ආ දහසය හැවිරිදි අනුලා පෙරේරාගේ ගුරුවරයා වූ 'සිරිල් සර්'ට ඇය පිළිබඳ සිතක් ඇති විය. බාධක මැද 1963 මැයි 30 විවාහ වූ මේ අනුලා, සිරිල්ට මිය යන තෙක්ම කතා කර ඇත්තේ 'මහත්තයා' යන ගෞරව නාමයෙනි. ජීවිතයේ මත්පැන්, දුම්වැටි කිසිදා පාවිච්චි නොකළ ඔහු ජීවිතය සුභවාදිව ගත කළේය. 'මෙත් මල් පිබිදේවා' ඔහුගේ ජීවන තේමාව විය. සම්මාන ගණනාවකින් පුද ලද සිරිල් 'සිත ඇඳි රේඛා' 'සඳ නුදුටු පිනි' කාව්‍ය සංග්‍රහයන් ලියා ඇත. ලලිත් ප්‍රියංකර විසින් 'සිරිල් ඒ. සීලවිමල මතක සැමරුම්' යන ග්‍රන්ථ සංස්කරණය කර ඇත.

නාලක, උදිත, අනූෂා හා හර්ෂා සීලවිමල යුවළගේ දූ පුතුන්ය. නාලක විදුහල්පතිවරයෙකි. උදිත වෙළඳ කළමනාකරුවෙකි. අනුලාවන් කඩවත, ගජබා මාවතේ අංක 36/1ඡ් නිවසේ පදිංචිව සිටින්නීය.

සිරිල් ඒ. සීලවිමලයන් දශක දෙකකට පමණ පෙර ලියූ 'සඳලතා' නවකතාව ඔහු බලවත් ලෙස රෝගාතුරව සිටියදී බිරිඳට දුන් පොරොන්දුවක් ඉටු කරමින් දැන් මුද්‍රණය වී ඇත. මේ නවකතාවේ ඔහු තම ජීවන දර්ශනය මෙසේ විග්‍රහ වෙයි. සිරිල් ඒ. සීලවිලගේ ජීවන දැක්ම මේ වදන් පෙළින් මොනවට විද්‍යාමාන වෙයි.

'සංසාර ගමනේ මේ ජීවිතයත් එක්තරා නවාතැන් පොළකි. ශරීර කූඩුවට රිංගාගෙන අප මේ නටන්නේ කුමන නෛයියාඩගමක් ද? උගත්කම, නම්බුව, ප්‍රසිද්ධිය, ධනය, දියුණුව යන නාමයෙන් අප උදුරාගෙන සිටින්නේ පරාජයන්ය.

අප දිනුමක් යයි සිතන්නේ ආත්මය පිරිහීමක් නොවන්නේද, රස තෘෂ්ණා, ආශා දැලේ පැටලී පැටලී මායාවෙන් මුලාවෙන් අන්ධ වී සිටින අපි ඉටු නොවන අරමුණක් කරා දුවන්නෝ නොවෙමුද?'

සිරිල් යනු සත් ගුණවත්, නිහතමානී, මහත්මා ගුණ ඇති අපූර්ව මිනිසෙකි.