වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




යුගයෙන් යුගය අළුත්වන ප්‍රේම වෘත්තාන්තය

යුගයෙන් යුගය අළුත්වන ප්‍රේම වෘත්තාන්තය Laila Majnu

ලොව ප්‍රේම කතා කොපමණ තිබුණ ද ඒ අතරින් ලෝක පූජිත පෙම් කතා ඇත්තේ කිහිපයක් පමණි. ‘රෝමියෝ - ජුලියට්’, ‘ලයිලා - මජ්නු’, ‘දෙව්දාස් - පාරෝ’ වගේම අපේ රටේ ‘සාලිය - අසෝකමාලා’, ‘දීඝ ගාමිණි - උන්මාද චිත්‍රා’ මේ අතරින් කිහිපයකි. සෑම ආදර කතාවකටම ලෝක පූජිත විය නොහැක් වන්නේ විවාහයකින් කෙළවර වන නිසාම දෝ යැයි සිතේ. කෙසේ නමුත් කිසිදා එක් නොවූ ආදරවන්තයන්ගේ මේ ආදර කතා යුගයෙන් යුගයට නැවත නැවතත් අලුත් වෙමින් පැමිණේ.

නවකතා, කාව්‍ය නිර්මාණ, වේදිකා නාට්‍ය, සිනමා නිර්මාණ ඔස්සේ දලු ලා මේ ආදර කතා යළිත් යළිත් පණ ලබයි. ඉංග්‍රිසි සාහිත්‍යයේ විශිෂ්ටතම රචකයා වන විලියම් ශේක්ස්පියර් විසින් රචිත නාට්‍ය අතර අතිශය ජනාදරයට පත් වූ කතා පුවත වන්නේ ‘රොමියෝ ජුලියට්’ ආදර අන්දරයයි.

එදා මෙදාතුර මේ ආදර කතාව පාදක කර ගනිමින් නිර්මාණය කළ චිත්‍රපට බොහෝ වේ. එමෙන්ම ‘ලයිලා මජ්නු’ ආදර කතාව ද පදනම් කොට ගෙන සිනමා නිර්මාණ බිහි වී තිබේ. පී. එස්. රාමක්‍රිෂ්ණන් විසින් අධ්‍යක්ෂණය කළ Laila Majnu තෙලිඟු චිත්‍රපටය 1949 වසරේදී ප්‍රදර්ශනය කෙරුණු අතර එච්. එස්. රවාලි විසින් අධ්‍යක්ෂණය කෙරුණු ලයිලා මජ්නු හින්දි චිත්‍රපටය 1976 වසරේදී තිරගත කෙරුණි.

රිෂී කපූර් සමඟින් රන්ජීතා කෞර් එහි මජ්නු සහ ලයිලාට පණ පෙවූහ. 1948 වසරේදී මෙරට තිරගත කෙරුණු සිංහල සිනමාවේ සිව්වැනි චිත්‍රපටය වන ‘දිව්‍ය ප්‍රේමය’ චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ ද මෙම ඓතිහාසික ආදර අන්දරය යි.

එහි ප්‍රධාන චරිත ද්විත්වයට (ලලිතා සහ පැරකුම්) පණ පෙව්වේ ශ්‍රීමති කරුණාදේවි සහ ලූමාන් රාජපක්ෂ විසිනි. දිව්‍ය ප්‍රේමය පිටපත රචනා වී තිබෙන්නේ ද ශ්‍රීමති කරුණාදේවි අතිනි.

‘ලයිලා මජ්නු’ ආදර කතාව රැගත් කාව්‍ය රචනා කර තිබෙන්නේ පර්සියානු කවියෙකු වූ නෙසාමි ගන්ජාවි විසිනි. මෙයට පාදක වී තිබෙන්නේ අරාබි පුරාවෘත්තයේ එන කතා පුවතකි. ධනවත් පවුලක දියණියක වන ලයිලා සහ ඇයගේ මස්සිනා ක්වේස් අතර කුඩා කල පටන් පැවති මිතුදම වයසින් වැඩෙත්ම ප්‍රේමයක් බවට පත්වේ.

මේ ආදර කතාව නොරිස්සූ ලයිලාගේ පියා වයසින් මුහුකුරා ගිය ධනවත් පුද්ගලයෙකු හට ඇය සරණපාවා දේ. කෙසේ නමුත් ලයිලා සහ ක්වේස් අතර පැවති ප්‍රේමය බිඳක්වත් අඩු නොවූ අතර ක්වේස් නිරන්තරයෙන් කවි ලියමින් ඇය හමුවීමට ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථව ගියේය.

ලයිලා කෙරෙහි වූ අසීමිත ආදරයෙන් කවි ලියමින් සිටි ක්වේස් අවසානයේදී උමතුවෙන් මෙන් වීදි පුරා සැරිසරන්නට පටන් ගත්තේ ලයිලා පිළිබඳ එම කවි ගායනා කරමිනි.

මෙය දුටු අනෙකුත් ජනයා ඔහු හඳුන්වනු ලැබුවේ ‘මජ්නු’ හෙවත් ‘උන්මත්තකයා’ යන නාමයෙනි. ලයිලා ද නැවතත් කිසිදිනෙක ක්වේස් හමුනොවීමේ සොවින් රෝගී වී මරණයට පත් විය.

මජ්නු හෙවත් ක්වේස්ගේ මිතුරන් ලයිලාගේ මරණය පිළිබඳ පුවත ක්වේස්හට පවසන්නට ඔහු සොයා පැමිණෙන විටදී, ඔහු ලයිලාගේ සොහොන අභියස මරණයට පත් වී සිටියේ ඇය වෙනුවෙන් ලියූ කවියක්ද අතැතිවය. ‘ලයිලා මජ්නු’ පෙම් පුවත එසේ අවසන් වූයේ, එය ලෝක පූජිත ප්‍රේම කතාවක් බවට පත් කරමිනි.

මේ දිනවල රිදී තිරයෙන් අපට දකින්නට ලැබෙන අමරණීය ආදර කතාව වන්නේ ‘ලයිලා මජ්නු’ ආදර කතාවයි. පසුගිය සැප්තැම්බර් 07 වැනිදා සිට තිරගත කෙරෙන Laila Majnu චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ සජීඩ් අලි විසිනි.

සජීඩ්, Love Aaj Kal,Rockstar, Cocktail,Highway,Jab Harry Met Sejal වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඉමිතියාස් අලීගේ බාල සොයුරා වේ. Laila Majnu සජීඩ් අලීගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන අතර එහි තිරරචනයට ඉමිතියාස් අලීගේ දායකත්ව ද ලැබී ඇත.

නිෂ්පාදනය එක්තා කපූර් විසිනි. මෙහි ලයිලා සහ මජ්නු චරිත ද්විත්වයට පණ පොවන්නේ බොලිවුඩයේ නවක රංගන ශිල්පීන් යුගලක් වන ත්‍රිප්ති දිම්රි සහ අවිනාශ් තිවාරි විසිනි.

ත්‍රිප්ති මීට පෙර Poster Boys (2017) චිත්‍රපටයට රංගනයෙන් දායක වී ඇති අතර සිරස නාලිකාව ඔස්සේ ‘ප්‍රේම දඩයම’ නමින් දිගහැරුණු Naagin (2015) හි ලයිලාගේ චරිතය ද නිරූපණය කළාය.

නළුවකු මෙන්ම නිෂ්පාදකවරයකු වන අවිනාශ් තිවාරි ද මීට පෙර Yudh (2014),Boring: A Day in the Life (2015) හි රංගනයෙන් දායක වී ඇත. නිලාද්‍රි කුමාර්, ජෝයි බර්යුවා සහ අලිෆ් විසින් සංගීත අධ්‍යක්ෂණය කර ඇති Laila Majnu චිත්‍රපටයට අර්ජිත් සිං, ශ්‍රෙයා ගෝෂාල්, මොහිට් චෞහාන්, සුනීධි චෞහාන්, ජෝතිකා තන්ග්‍රී, ජාව්ද් අලී ඇතුලු පිරිසක් පසුබිම් ගායනයෙන් දායක වී ඇත.