වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි

සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි

‘අරුණ සිනමා’ අධිපති සුනිල් අරුණ වීරසිරි

වර්තමානය වන විට කොළඹ අවටත්, ඉන් පිටතත් ආකර්ෂණීය සිනමා රසාස්වාදයක් ලබන්නට හැකි නවීන තාක්ෂණික අංගෝපාංගයන්ගෙන් සමන්විත සිනමා ශාලා රැසක් ඉදිවෙනු දක්නට ලැබේ. ඉන් කිහිපයක්ම මේ වන විටත් මහජනතාව වෙනුවෙන් විවෘතය. කොළඹින් පරිබාහිරව කොළඹ මුවදොර කොට ගෙන කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉදිවුණු එවන් අපූරුතම සිනමා ශාලාවක චිත්‍රපටයක් නැරඹීමේ සුවිශේෂී මොහොතක් පෙර දිනක මට හිමි විය. කිරිබත්ගොඩ මාකොළ පාරේ උදේශී සිටි පරිශ්‍රයේ ඉදිවුණු 'අරුණ සිනමා' මෙකී සිනමා ශාලාවයි. අරුණ සිනමා හි අධිපතිත්වය දරනුයේ මෙරට සිනමා කර්මාන්තය තුළ දශක කිහිපයක්ම රැඳී සිටිමින් චිත්‍රපට නිෂ්පාදනයෙන් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් ද දේශීය සිනමාවට සිය දායකත්වය පිරිනැමුවෙකි. ඔහු සුනිල් අරුණ වීරසිරිය. ඔහු දේශීය සිනමා කර්මාන්තයට සිනමා ශාලා හිමියෙකු වශයෙන් නවතම භූමිකාවකින් පසුගියදා එක් වුයේය. ඔහුගේ සිනමා ශාලාව පිළිබඳවත් කර්මාන්තයේ ඉදිරි දැක්ම පිළිබඳවත් ඔහු සමඟ කළ කතාබහකි මේ.

ඔබ දේශීය සිනමාව තුළ චිත්‍රපට නිෂ්පාදකවරයකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වශයෙන් කලක පටන් රැඳී සිටින්නෙක්. සිනමා ශාලාවක් ඉදි කරන්නට ඔබට හිතුණේ ඇයි?

මම බොහොම කුඩා අවදියේ ඉඳලා දේශීය සිනමාව වෙනුවෙන් හද බැඳ ගත්තෙක්. ඒ කාලේ ඉඳලම චිත්‍රපට නැරඹීමට මම විශාල කැමැත්තක් දක්වනවා. සිනමාවට තිබුණු ඒ ළබැඳියාව නිසාවෙන්ම තමයි පසුකලෙක මම චිත්‍රපට නිෂ්පාදකවරයෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් බවට පත් වන්නේ. එහෙම වුණා කියලා මගේ චිත්‍රපට නැරඹීම සීමා වුණේ නෑ. බොහොම වෙලාවට අපි චිත්‍රපටයක් නරඹන්න ගියාම සිනමා ශාලාව තුළ තිබෙන අපහසුතා මම දැකලා විඳලා තිබෙනවා. එක අතකින් ඒ විඳීමම එක හේතුවක් වුණා අඩු පාඩුවක් නැති නවීන තාක්ෂණයෙන් යුතු වර්තමානයට ගැළපෙන සිනමා ශාලාවක් ඉදි කරන්න. අනිත් පැත්තෙන් සිනමාවේ රැඳී සිටින කෙනෙක් විදියට මට නිතරම අහන්න දකින්න ලැබුණේ දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබෙන සිනමා ශාලා දිනෙන් දිනම වැසී යන බව. අපි සිනමාවට ආදරය කරන අය වශයෙන් එයත් එක හේතුවක් අලුත් සිනමා ශාලාවක් ආරම්භ කරන්න.

ඔබ කිව්වා වගේ සිනමා ශාලා වැහෙමින් පවතින යුගයක ඔබ සිනමා ශාලාවක් ආරම්භ කරනවා. ඒක අභියෝගයක් නොවෙයිද?

ඔය කාරණාව බොහෝ දෙනෙක් මට කිව්වා. ව්‍යාපාරික වශයෙන් ගත්තම ඒක අභියෝගයක් තමයි. ඒත් කියන පමාවටම ඒ ගැන වැඩිදුර හිතන්න කලින් ඒක කොයි තරම් අභියෝගයක් ද කියල බලන්න අපි කරලම බලන්න ඕනෑ. අනිත් පැත්තෙන් මේක ලාභ ලබන ව්‍යාපාරයක් නොවෙයි කියන එක තමයි සමාජය තුළ තිබෙන්නේ. තවමත් ඒක එහෙම තමයි කියලා තමයි මටත් දැනෙන්නේ. නමුත් ඒ දැනෙන සමහර දේවල් අපි කරලම බලන්න ඕන. තව කෙනෙක් කිව්වට බෑ. මම අදටත් 'බැහැ' කියන්නේ නෑ. හෙට සුබවාදීව හිතනවා. ඉදිරියේදී සිනමා ශාලාවලට තරුණ පිරිස විතරක් නොවෙයි සියලු දෙනාම යන්නේ හොඳ තත්වයෙන් සිනමා ශාලාව තිබෙනවා නම් පමණයි.

'අරුණ සිනමා' මේ හොඳ තත්ත්වයේ පහුකම්වලින් යුතුයි නේද? අපි ඒ ගැන කතා කරමු?

හුඟාක් වෙලාවට වර්තමානයේ බොහෝ දෙනෙකු මුහුණපාන ගැටලුවක් තමයි වාහන නවතා තැබීමේ පහසුකම සිනමා ශාලාවක නොමැතිකම. ඒ පහසුකම උපරිමයෙන් අපි අපේ සිනමා ශාලාවට එන පිරිසට සපයනවා. ශාලාව ඇතුළතට ගියාම ප්‍රේක්ෂකයෙක් චිත්‍රපටයක් ඉවරවන තුරු අවම වශයෙන් පැය 02 කාලයක්වත් රැඳී සිටිනවා. ඒ කාලය තුළ ඔහුව අපහසුතාවයට පත් නොවන ආකාරයේ පරිසරයක් නිර්මාණය කිරීම සිනමා ශාලා හිමියාගේ වගකීම විදියට මම සලකනවා. කිරිබත්ගොඩ නගරය මම හැමදාමත් විශ්වාස කළා හැම දේකින්ම පිරිපුන් නගරයක් ලෙස. ඒ නිසයි සිනමා ශාලාව ඉදි කරන්නට මේ නගරය තෝරා ගත්තේ. අනිත් පැත්තෙන් නවීන තාක්ෂණයෙන් යුතු පහසුකම් ඇති සිනමා ශාලාවක අඩුව කිරිබත්ගොඩට තිබුණා.

ඒ අනුව අපි අපේ සිනමා ශාලාව 2ම් තාක්ෂණයෙන් ඩිජිටල් ශබ්ද සංයෝජනයෙන් යුතු 3ච් සිනමා ශාලාවක් ඉදි කළේ. මේ ශාලාව ආසන 150 කින් සමන්විතයි. ශාලාවේ ඉඩ ප්‍රමාණයේ හැටියට අපිට ආසන 200 ක ප්‍රමාණයක් වුණත් දාන්න පුළුවන්කම තිබුණත් නරඹන්නන්ගේ පහසුව තකා ආසන අතර පරතරය තබන්න අපි සැලසුම් කළා. කිසිම කරදරයකින් තොරව කිසි කෙනෙකුට හිරිහැරයක් නොවන පරිදි කෙනෙකුට මේ ශාලාවේ අසුන් අතර ගමන් කළ හැකියි. මේ ඕනෑම ආසනයක වාඩි වෙන කෙනෙකුට එක වගේම රිදී තිරය දර්ශනය වෙන ආකාරයට තමයි නිමවලා තිබෙන්නේ. අඩි 27 ක රිදි තිරයක් අපි මේ සඳහා භාවිත කරලා තිබෙනවා. අනෙක් විශේෂම කාරණාව කෙනෙකුට චිත්‍රපටයක් නරඹන්න අවශ්‍ය නම් වේලාසනින් ආසන වෙන්කර ගැනීමේ පහසුකමක් අපි ඔන් ලයින් හරහා ලබාදීලා තියෙනවා ඒ සඳහා මූලික ගෙවීමක් නොකොට.

මේ සිනමා ශාලාව නිර්මාණය කරත්දී ඔබ උපදේශනය ලබා ගත්තේ කොහෙන්ද?

මේ පිළිබඳ විශේෂඥ දැනුමක් තිබෙන නිහාල් රංජන් තමයි මම තෝරා ගත්තේ. ඒ සමඟම මගේ පුතා මේ සම්බන්ධව අධ්‍යයනය කරමින් උනන්දු වෙන කෙනෙක්. ඔහු කාලයක් පුරා ඉන්දියාවේ හිටපු කෙනෙක්. එහි සිනමා ශාලා, සිනමා තාක්ෂණය පිළිබඳ ඔහුට යම් තරමක දැනුමක් තිබුණ කෙනෙක්. මේ සංකලනයෙන් තමයි අපි සිනමා ශාලාව ගොඩනැඟුවේ.

සිනමා ශාලාව ගොඩ නඟද්දී ඔබට පැමිණි අභියෝග මොනවාද?

අභියෝග නම් නැත්තේ කොයි දේටද? අපි යමක් කරන්න ගත්තම තමයි ඒ සඳහා වන අභියෝග බාධක කොච්චර ද කියලා දැනෙන්නේ. මේ සඳහාත් මට විශාල අභියෝග ආවා. අපි හිතන මට්ටමටම ආශිර්වාද ලැබෙන්නේ නෑ කියලා මට තේරුණේ මම සිනමා ශාලාවක් කරන්න ගත්තට පස්සේ.

'අරුණ සිනමා' චිත්‍රපට පෙන්වන්නේ කොයි වෙලාවටද?

උදේ 10.30, 1.30, 4.30 සහ 7.30 වශයෙන් තමයි වෙලාවල් වෙන් කරලා තිබෙන්නේ. දැනට සිංහල ඉංග්‍රිසි සහ හින්දි චිත්‍රපට තමයි පෙන්වන්න සැලසුම් කරලා තිබෙන්නේ.

සිනමා ශාලා හිමියාගෙන් පරිබාහිරව ඔබේ චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂවරයාගේ භූමිකාවේ නව තොරතුරු ගැන කතා කළොත්?

මම සිනමාවට ආවේ මුදල් හම්බ කරන්නම නොවෙයි. නමුත් ආයෝජනය කරන මුදල නැති කර ගන්න කවුරුත් කැමැති නෑනේ. මේ වෙන කොටත් අලුත් චිත්‍රපටයක් මම අධ්‍යක්ෂණය කරලා තිබෙනවා. ඒකේ නම 'වීර පුතා'. එළඹෙන දෙසැම්බරයේ හෝ ජනවාරි මාසයේ එය ප්‍රදර්ශනයට අවස්ථාව හිමි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. තවත් නිර්මාණයක් ගැන හිතන්නේ ඒ චිත්‍රපටය නිදහස් වුණාට පස්සේ තමයි.

ඔබේ නව ව්‍යාපාර ජීවිතය පිළිබඳ මොනවද ඔබට කියන්න තිබෙන්නේ?

ඇත්තටම සිනමා ශාලා හිමියෙක් විදියට මට තිබෙන්නේ ඒ පිළිබඳ අලුත් අත්දැකීම් ටිකක්. මේ කෙටි කලට මට ලැබුණු අත්දැකීම් එක්ක මට විශේෂයෙන් කියන්න තිබෙන්නේ මට විතරක් නොවෙයි. මේ රටේ ඉන්න සියලුම සිනමා ශාලා හිමියන් වෙනුවෙන්. ඔවුන් දිහා රජය යම් කිසි අවධානයක් යොමු කළ යුතු බවයි. කිසියම් හෝ සහනයක් රජයෙන් ලබා දිය යුතුයි කියලයි. සිනමා ශාලා හිමියන් ලොකු මුදලක් යට කරලා තමයි මේක කරන්නේ. නැත්නම් සිනමා ශාලාවක් ඉදිරියට කවදාවත් බිහිවෙන එකක් නැති වෙයි. අපි චිත්‍රපට සංස්තාවට 10% ක් දෙන්න ඕන. ප්‍රාදේශීය සභාවට සියයට 7% ක් දෙන්න ඕන. මම කියන්නේ අපි කරන්නේ මිනිස්සුන්ට රස වින්දනයට යමක් සැපයීමයි. ඒ දිහා වෙනත් ව්‍යාපාර දිහා බලන විදියට නොබලා මානුෂීයව බැලුවොත් හොඳයි කියලයි.