වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




යාන්තම් බේරුණු අනුපමා

යාන්තම් බේරුණු අනුපමා

කුඩා කල සිටම අසිතගේ සිතට වෛරය ඇතුල් කළේ මාර්තා විසිනි. එය මාර්තා හිතා මතා කල දෙයක් නොවුණද , අසිතගේ සිතට වෛරයේ මුල් බීජය ඇතුල් වූයේ, ඇය තම සහෝදරයන් දෙදෙනා වූ ජුලියස් සහ ලුවී කළ වෙනස්කම් අසිතට කියූ පසුවය. තම මවට හිමිවෙන්නට තිබුණු බූදලය සම්පූර්ණයෙන්ම කොල්ලකෑවේ මේ තමන්ගේ මාමණ්ඩියන් වූ ජුලියස් හා ලුවීය. තම මුත්තන්ගෙන් අවසානයට ඉතුරුවුනු කිණිස්ස අසිත ඉල්ලා සිටියේ තම මවගේ සොහොයුරන්ව මැරීමටය. එයට විරුද්ධ වූ මාර්තාට අසිත කිව්වේ තමා ලොකු වූ පසු තුවක්කුවක් ගෙන ජුලියස් හා ලුවී මාමාවරුන් මරණ බවය.

දයා රාජපක්ෂ තම චිත්‍රකතාව වූ "අනුපමා" පටන් ගත්තේම වෛරයකිනි. ඉන් පසු ටික ටික අසිතගේ සිතට එම විෂබීජය ඇතුල් කළේය. අසිතට කුඩා කල සිටම අයුක්තිය අසාධාරණය පෙන්වන්නට බැරිය. එකල ගාමිණී ෆොන්සේකාත් එහෙමය. අයුක්තිය අසාධාරණයට, 'කොකු' දාගන්නේ කිලෝ ගානටය.

අසිත, චණ්ඩියෙක් වග දයා රාජපක්ෂ මුලින්ම පෙන්නන්නේ රංජියගේ පිත්ත සංජය උදුරාගෙන සෙල්ලම් කරන විටය. අසිත සංජය සමඟ ගෝරි දාගෙන සංජයට ඇට්ටි හැලෙන්න ගැහැව්වේ ඔහුට උතුර දකුණ මාරු වෙන්නටය. දයා, අසිතට, සදාකාලික වෛරක්කාරයෙක් හදා දුන්නේ එතැන් සිටය. ඒ සංජයය .

ජුලියස් මාමා තම එකම දියණියව අනුපමා ව මාර්තා ළඟ නවත්වා මැණික් ගැරීමට ගොස් දෝනාවකට යටවී මිය යයි. අවසානයේ අනුපමාව රැක බලා ගැන්මට සිදුවෙන්නේ ඇයගේ නැන්දණිය වූ මාර්තාටය. අනුපමා පාසැල් ගියේද අසිත සමඟය. දයා රාජපක්ෂ කථාව "ත්‍රිල්" කරන්නට යන්නේ අනුපමා ව අසිතගේ ජන්මාන්තර වයිරක්කරයා වූ සංජයට ජෝඩු කිරීමෙනි.

" සිළුමිණ" පුවත්පතේ පළවූ අනුපමා චිත්‍ර කථාව අතීශයින්ම ජනප්‍රිය විය. එකල චිත්‍ර කථා චිත්‍රපට ගත කිරීමේ "ට්‍රෙන්ඩ්" එකක් තිබුණි. . විශේෂයෙන් දයා රාජපක්ෂගේ චිත්‍ර කථාවලට තිබුණේ දැඩි ඉල්ලුමකි. සුනිල් ආරියරත්න මෙම චිත්‍ර කථාව චිත්‍රපට ගත කිරීමෙන් සිනමාවට පිවිසීය. චිත්‍ර කථාවක් චිත්‍රපට ගත කිරීමට යන විට පාඨකයා ,ප්‍රේක්ෂකයෙක් වෙයි. ඔහු බලාපොරොත්තු වනුයේ අර චිත්‍ර කථාවෙන් ලබන වින්දනය චිත්‍රපටයෙනුත් ලබා ගැනීමටය. එහෙත් මෙය නිර්මාණ දෙකකි. පින්සල් තුඩුවකින් අදිනවා තරම් චිත්‍රපටය කිරීම පහසු නැත. දයා රාජපක්ෂගේ චිත්‍ර කථාවෙන් ලද වින්දනය "අනුපමා" චිත්‍රපටයෙන් නොලැබුණා කියා ආඩපාලි කියූ අය සිටියද සුනිල් ආරියරත්නගේ සිනමාවේ කෝඩුකාර බව පෙනුණද , අනුපමා ප්‍රේක්ෂකයන් අතරට ගිය චිත්‍රපටයක් විය.

අසිත අනුපමා ගැන මහා මෙරක් සේ බලාපොරොත්තු තබා සිටියද, එයටත් වඩා අසිතගේ මව මාර්තා තම පුතු තම සහෝදරයාගේ දියණිය වූ අනුපමාව විවාහ කර ගනියි කියා සිතුවාය. අනුපමා ආදරය කළේ සංජයටය . දයා තම කථාව "ත්‍රිල්" කළේ එසේය. මේ 'ප්ලොට්' ඒකෙන් 'ගොඩ' යා හැකි බව ආරියරත්නට සිතුණි . මාර්තා, අසිත,අනුපමා,සංජය, රන්ජියා , සිනමා ශාලාව දෙදරන්න දෙන්න පුළුවන් චරිත බව ආරියරත්නට වැටහුණි.

අසිත අනුපමාට ආදරය කිරීමට ගොරහැඩි වැඩිය. ඒ අනුපමා කියූ දෙයය. එහෙයින් ඇය තෝරා ගත්තේ අසිතගේ විරුද්ධවාදියා වූ සංජයවය. අසිත අනුපමාට දැඩිව ආදරය කළ බවක් චිත්‍රපටයේ පෙන්වුනා මදියයි සිතේ. අසිත නිවස අතහැර කැලෑවක ජීවත් වෙන හොර මැරකම් කරන කල්ලියකට එකතු වූයේ අනුපමා ඔහුගේ ආදරය ප්‍රතික්ෂේප කළ නිසායැයි කීමට නොහැකිය. එහෙත් දයා රාජපක්ෂ ගේ චිත්‍ර කථාව තුළ නම් ඒ හැගීම දැඩිව දැනුණි

"මරු කතරේ පිපෙන මලක් වන්න අනුපමා
නිල් ගුවනේ දිලෙන සඳක් වන්න අනුපමා
යුග සවනේ සුපෙම් තෙපුල් ලා
ආදරයේ දිය කඳුළක් වෙන්න අනුපමා"

සුනිල් ආරියරත්න එම ගීතය තුළින් නම් අසිත අනුපමා වෙනුවෙන් ආයාචනාත්මක ආදරයක් කරන බවක් පෙන්නන්නට උත්සහා කළද, චිත්‍රපටය තුළ එය දැඩිව දැනුණේ නැත. බොහෝ විට හැඟුණේ අසිතගේ දඩබ්බර කම නිසා මේ සියල්ල සිදුවන බවක්ය. අසිතට ඒ දඩබ්බර ජීවිතයට යෑමට අනුපමාව හේතුවක් කර ගත් බවකි, සුනිල් ආරියරත්නගේ සිනමා පටයේදී පෙනුණේ. අසිත තම මව, ඉගෙන ගන්නා පාසල, හිත මිතුරෝ සියල්ලම අත හැර පලා යෑම ගැන නම් පෙනුනේ නිකං ෆැන්ටසියක් ලෙසය. එහෙත් අනුපමා චිත්‍රපටය ට "ත්‍රිල්" එක ලැබුණේ නම් ඒ පලා යෑමෙන් පසුවය.

සිනමාව බොහෝ විට හඳුන්වනුයේ මායාවත් යථාර්ථයත් සමිශ්‍රනයක් ලෙසය. ආරියරත්නගේ "අනුපමා" මායාවේ ගැල්වී තිබු අතර යථාර්ථය තිබුණේ බොහෝ ඈතකය. එහෙත් සිනමාවේ රිද්මය ආරියරත්න තම මුල් කෘතියෙන්ම හඳුනා ගෙන තිබු බවක් පෙනුණි . ආරියරත්න "ත්‍රිල" පසු පසම ගිය නිසා "රොමැන්ටික්" බව අඩුවී තිබුණි. එහෙයින්දෝ ආරියරත්න සිහින දර්ශන වලින් ඒ රොමැන්තික අඩුව වසා දමන්නට උත්සහා කළේය

"සිහින විලේ නිලුපුලි - පැතුම් ජලාශයේ
ඔබ කා නමින්ද පිපුණේ- මල් මානවිකාවි
කැකුළු වියේ දිනිදුනි -සුපෙම් උදානයේ
ඔබේ රුවයි පතන්නේ මා ජීවිතේ පුරා."

ආරියරත්න ගේ උත්සාහය අතී සාර්ථක වූයේ, එච්.ආර් ජෝතිපාල, ලතා වල්පොල ගැයූ ඒ සුමිහිරි ගීතය නිසාය . මුළු චිත්‍රපටය පුරාම රොමැන්තික බව රැදුනේ මේ ගීතය තුලිනි. එහෙත් දයා තම චිත්‍ර කථාව තුළ රොමැන්තයට වැඩි ඉඩ කඩක් දුන්නේ නැත. එහෙයින් ආරියරත්නටත් ඒ සීමාව තුළ ඉන්නට සිදුවිය. අසිත හොර නඩයකට එකතු වූ දිනයේම ඔහුව නායකත්වයට පත් කෙරිය . ඒවා මාර "කන්සෙප්ට්"ය. දයා එහෙම ලිව්වා නම් ආරියරත්න මොනවා කරන්නද? එදිනම රංජියාද එම නඩයට එකතු විය. ඒවත් ඒ පුදුම 'කනසෙප්ට්' වලට අයිති දේවල්ය.අපිට තිබුණේ පණ්ඩිතකම් නොදොඩා බලා සිටින්නටය.

"රාජ කිරුළු පලන් දාපු රජ්ජුරුවෝ
රටේ සැමට ඉරේ හඳේ එළිය ගෙනෙන රජ්ජුරුවෝ
සිරසට ඔටුනු පලන් මංගල්ලේ
ජය පානෙන් මත් වන්නේ
"

අසිතගේ රාජාභිෂේකය සැමරුණේ එලෙසය. ආරියරත්න එය හරි අපුරුවට ඉදිරිපත් කර තිබුණි. එතැනින් පසු අසිත හා රංජි තම නඩයත් සමඟ භයානක හොරු කල්ලියක් වූහ. අසිතගේ ප්‍රථම වික්‍රමය වූයේ තම මව වූ මාර්තාට අයිති වීමට තිබු බූදලය වස්තුව කොල්ල කා ගත් තම මාමණ්ඩිය වූ 'ලූවිගේ' සම්පුර්ණ වස්තුව කොල්ල කෑමය . ඔහු ඒ පළිය තිතටම කළේය. ඉන් පසු ඔහු සරදියෙල් කෙනෙක් වන්නට විය. දැන් සංජය පොලිස් නිලධාරියෙකි. චිත්‍ර කථා හෝ චිත්‍රපටවල කථා හැදෙන්නේ එහෙමය. මේවා බොහෝ විට ආවේණික වන්නේ ඉන්දියානු හා එයින් ආභාසය ලැබෙන සිංහල චිත්‍රපට වලටමය.

දයා රාජපක්ෂ මෙම කථාව තුළ කුතුහලය ඇති කළේ විශ්මිත වය. සුනිල් ආරියරත්න මෙය හොදට අවබෝධ කර ගති. දැන් පොලිස් ඉන්ස්පෙක්ටර් සංජය අසිත නමැති හොරා අල්ලන්නට කැලයට යන්නට යයි. ඔහු ඒ බවක් තම පෙම්වතිය වූ අනුපමාට කියයි. ඇය සිතන්නේ තම බලය උපයෝගී කරගෙන සංජය කුඩාකල සිට විරුද්ධ වාදී කම් කෙරූ අසිත ගෙන් පළිගැන්මට උත්සහා කරන බවය. අනුපමාට අසිත ගැන අනුකම්පාවක් සිතී ඇය අසිතව සොයා ගෙන කැලයට යයි. චිත්‍රපටයේ විස්වාසනීය බව සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නේ මෙතැන් සිටය. ඒ, කැලේ දී අනුපමාට අසිතව මුණ ගැහීමත්, දෙදෙනා දෙදෙනාව හඳුනා නොගැනීමත්ය. ඒ හෙයින් අසිත අනුපමා වෙන කෙල්ලක් කියා සිතා ඇයව දුෂණය කරයි. ඒ වැඩ ඔක්කොම වුණාට පසුය ඔවුන් දෙදෙනා හඳුනාගන්නේ. ඒවා 'මාර" කෑලිය. ඉන්පසු අනුපමා කැලෙන් එළියට පැන යන විට ඇයට මාර්තා හමුවෙයි , ඒ මාර්තාත් අසිතව සොයා එන ගමනේදීය. අනුපමා සියලු විස්තර ඇයට කියයි. අසිත ඇයව දූෂණය කෙරු බවද කියයි. මාර්තා ගේ අතේ අර අසිතගේ සීයා ඉතුරු කර ගිය කිණිස්ස තිබුණි. අවසානයේ ඇය අසිතව සොයා ගොස් ඒ කිණිස්සෙන් ඔහුට ඇන ඔහුව මරා දමා , තමාද එම කිණිස්සෙන් ඇන ගෙන ජීවිතක්ෂයට පත්වෙයි. සංජය ඇතුළු පොලිස් ඇණිය අසිතගේ මැර කල්ලිය අත්අඩංගුවට ගෙන කුදලාගෙන යයි. චිත්‍රපටය "නිමි" විය. ප්‍රේක්ෂකයාද, ශාලාවෙන් පිටවී යයි.

අසිත ලෙස විජය කුමාරණතුංග ව තේරීම තුල කිසියම් ආකර්ෂණයක් තිබුණද, චිත්‍ර කථාවෙන් මැවුණු ළාබාල පාසැල් යන අනුපමා චරිතය 1963 තිරගත කළ "සුදු සදේ කළු වලා" චිත්‍රපටයේ රඟපෑ "සුවිනීතා වීරසිංහ" වැනි නිළියකට දීමට ප්‍රථම සුනිල් ආරියරත්න දහස් වාරයක් සිතන්නට තිබුණි. විශේෂයෙන් මාලනීගේ ඥාති දියණියකට සුවිනීතා රගපෑම ගැන නම් තරමක් නුහුරු විය. චරිත තේරීමේදී නම් අනන්ත අප්‍රමාණ නොගැලපීම් තිබුණි. මාලනී, සන්ධ්‍යා සුවිනීතා, පියසේන අහංගම,පිළිවලින් මාර්තා,මිසිස් සිල්වා, අනුපමා ,සංජය වැනි චරිත වලට ගැළපුනේම නැත. එහෙත් රංජියාගේ චරිතයට පන පෙවූ අමරසිරි කලංසූරිය නම් ටක්කෙටම ගැළපුණි. මැර කල්ලියට සෝමසිරි දෙහිපිටිය,මර්වින් ජයතුංග,සොමි රත්නායක,රන්ජන් මෙන්ඩිස්,වැන්නන් සිටියද අරියරත්නට ඔවුන්ගෙන් හරි වැඩක් ගැන්මට නොහැකි වූයේ ඔහුගේ කෝඩුකාර කම නිසා විය හැක. විශාල මෙන්ම දක්ෂ හා ආකර්ෂණීය තරු පිරිවරක් චිත්‍රපටයට එකතු කර ගත් නිසා සුනිල් ආරියරත්න බේරුණි. නැත්නම් අනුපමාට වෙන දේ සුනිල් ආරියරත්නවත් දන්නේ නැත.