වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රායෝගික බවට වඩාත් නැඹුරු වූ සිනමා හා රූපවාහිනී උපාධිය අපෙන්

ප්‍රායෝගික බවට වඩාත් නැඹුරු වූ සිනමා හා රූපවාහිනී උපාධිය අපෙන්

මේ මස 31 වැනිදා වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය සංවිධානය කෙරෙන කෙටි චිත්‍රපට උලෙළට අයදුම්පත් බාරගැනීම අවසන් වීමට නියමිතය. ඒ පිළිබඳව සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිළිබඳව අපි එහි මාධ්‍ය හා තොරතුරු සේවා පිළිබඳ අධ්‍යක්ෂ ඉංජිනේරු ස්ටැන්ලි හෙට්ටිආරච්චි මහතාගෙන් විමසුවෙමු.

කෙටි චිත්‍රපට උලෙළ පිළිබඳ අපි මතක් කරමු?

මේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමෙන් පසු පවත්වන දෙවැනි උලෙළ. අපි කෙටි චිත්‍රපට උලෙළේදී බලාපොරොත්තු වන්නේ ඕනෑම තේමාවක් යටතේ විනාඩි 2සිට 40 දක්වා නිර්මාණ ඉදිරිපත් කරීමට උනන්දු කරවීම. මෙහි අරමුණ තරුණ පරපුර අතර කෙටි චිත්‍රපට ප්‍රචලිත කිරීම සහ අප විශ්ව විද්‍යාලයේ සිනමා හා ටෙලිනාට්‍ය නිෂ්පාදන තාක්ෂණය (Film and Television Production Technology) පිළිබඳ උපාධියක් තිබෙන බවට මාධ්‍යවල සේවය කරන්නන් සහ අනෙක් පිරිස් දැනුම්වත් කිරීම සහ විශ්වවිද්‍යාලය පිළිබඳ සමාජ කතිකාවක් ඇති කිරීම. මීට පෙරත් අප මහා පරිමාණ උලෙළක් කළා. ඒ නිසා අප මේ වතාවේ එතරම් ලොකු උත්සවයක් කරන්න බලාපොරොත්තු වන්නේ නෑ.

සම්මාන පිරිනමන්නේ කෙසේද?

මෙහිදී අපි ප්‍රධාන සම්මාන තුනකුත් තවත් තෝරාගත් පස් දෙනකුට සම්මාන සහ මුදල් ත්‍යාග දීමටත් නිර්මාණ ඉදිරිපත් කරන සියලු දෙනාටම සහභාගීත්ව සහතික ප්‍රදානය කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විනිශ්චය සඳහා මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය වාරයේ නම් අපි කලින්ම වැඩමුළුවක් කරලයි කෙටි චිත්‍රපට සැදීමට අවස්ථාව දුන්නේ. මෙවරත් කාලවේලාව අනුව සම්මානලාභීන්ට වැඩමුළුවක් කිරීම සඳහා උලෙළින් පසු අපට තිබෙන අවකාශය සොයා බලනවා.

තරඟකරුවන් භාවිත කළ යුතු තාක්ෂණය?

මෙහිදී ඕනෑම කැමරාවක් භාවිත කරන්න පුළුවන්. මූව්, එස් එල් ආර් වැනි කුමක් වුවත් අප බලාපොරොත්තු වන්නේ තමන්ගේ හැකියාව අනුව ඉදිරිපත් වීම මිස තාක්ෂණික ගුණය නොවේ. මේ පිළිබඳ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ බලන්න පුළුවන්. www.univotec.ac.lk

අපි විශ්වවිද්‍යාලය පිළිබඳ කතා කරමු?

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ආරම්භ කළේ 2008දී. වෘත්තීය අධ්‍යාපනය ඇති අයකුට උපාධිය දක්වා ගමන් කිරීමට ඇති එකම අධ්‍යයන ආයතනය මෙයයි. නිදසුනක් විදිහට ලංකාවේ HNDE හෝ NDT වැනි ඩිප්ලෝමාවක් ගත් පසු කිසි කෙනකුට ඉන් එහාට යන්න අවස්ථාවක් නෑ. මෙයට පිළියමක් වශයෙන් NVQ ක්‍රමයක් ලංකාවට හඳුන්වා දුන්නා. එහිදී ඩිප්ලෝමාව NVQ ලෙවල් 5 විදිහටත් උසස් ඩිප්ලෝමාව NVQ ලෙවල් 6 විදිහටත්, උපාධිය NVQ ලෙවල්7 විදිහටත් සැලකෙනවා. මේ උපාධියේ අනෙක් උපාධිවලට වඩා විශේෂත්වය වන්නේ මෙහි ප්‍රායෝගික නිපුණත්වයට තමයි සියයට 60ක 70ක පමණ බර තබන්නේ. ශාස්ත්‍රීය දැනුමට බර තබන්නේ සියයට 30ක් 40ක් පමණ. අනෙක් උපාධිවල සිදුවන්නේ මෙහි ප්‍රතිවිරුද්ධ පැත්තයි. මෙයින් අප බිහි කරන්න බලාපොරොත්තු වන්නේ යමක් නිර්මාණය කරන ශිල්පියකුට වඩා මේ ක්ෂේත්‍රයේ වැඩ කරන ක්ෂේත්‍රය දියුණු කළ හැකි නිපුණත්වයක් ඇති පුද්ගලයකුයි. එනිසා අප මෙයින් ඉංජිනේරුවන්ට වඩා තාක්ෂණවේදීන් බිහි කරන්න බලාපොරොත්තු වනවා.

ඇත්තෙන්ම ඒ මඟින් තමයි මුළු රටේම දියුණුව රඳා පවතින්නේ. ජර්මනිය වුණත් අද තිබෙන තැනට ආවේ මෙවැනි කණ්ඩායම් දියුණු කිරීම නිසා. හේතුව ඉංජිනේරුවරුන් සහ සැලසුම් ශිල්පීන් සැලසුම් සකස් කළාට ඒවා ක්‍රියාකාරී මට්ටමට ගෙන එන්නේ මේ අතරමැදි තාක්ෂණවේදීන් අවශ්‍යයි. සමහරු කියනවා 'අය්යෝ එයා සිවිල් ඉංජිනියර් වුණාට තාප්පයක්වත් බඳීන්න බැනේ 'කියලා. සිවිල් ඉංජිනේරුවන් ඉන්නේ ඇත්තෙන්ම තාප්ප බඳීන්න නෙවෙයි. බාසුන්නැහේලා ඉන්නේ ඒකට. ඒ දෙදෙනා අතර වෙනස පිරවීමට තේරුම් සහිත මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් බිහිකිරීමයි අපේ අරමුණ.

මේ සඳහා ඇති පාඨමාලා?

අපි මේ වෙනකොට උපාධි පාඨමාලා දහතුනක් කරගෙන යනවා. මෙය සම්ප්‍රදායට එහා ගිය එකක්. මිකැනිකල්, ඉලෙක්ට්‍රොනික්, ඉලෙක්ට්‍රිකල් වගේ ඉංජිනේරු පාඨමාලා අතර අපි දෙනවා බිල්ඩින් සර්විසස් ඉංජිනියරින් කියලා වෙනම එකක්. ඒ විද්‍යාර්ථියා ඉලෙක්ට්‍රිකල්, සිවිල්, ඉලෙක්ට්‍රොනික්, ලිෆ්ට් වැනි සියලුම දේ පිළිබඳ දැනගෙන ඉන්න ඕනා. විශේෂයෙන්ම ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ගත්තත් එහි නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය තාක්ෂණ ක්‍රමවේද කැමරා, අලෝකකරණය, ශබ්ද, 2D 3D ඇනිමේෂන්, පිටපත් රචනය වගේ හැමදේම පිළිබඳ දැනුම ලබා දෙනවා.

ඒ සඳහා තිබෙන සම්පත්?

අනෙකුත් උපාධි පාඨමාලා සඳහා අවශ්‍ය රසායනාගාර ආදි සියල්ල තිබෙනවා. ඒත් චිත්‍රපට සහ ටෙලිවිෂන් සඳහා අවශ්‍ය මැදිරි සංකීර්ණය තවම නිර්මාණය වෙලා නැ. එය නිර්මාණය වෙමින් පවතිනවා. එය තමයි මෙහි ප්‍රායෝගික අධ්‍යයනයට අත්‍යවශ්‍ය දෙය.

ඒ මැදිරි සංකීර්ණයට කොපමණ වියදමක් වැය වනවාද?

මැදිරි සංකීර්ණය සම්පූර්ණ වීමට මිලියන 500ක පමණ මුදල් සම්භාරයක් වැය වනවා. දැනටමත් ඉන් මිලියන 400 ඉක්මවා අප කටයුතු කර තිබෙනවා. තවත් මිලියන 60ක පමණ මුදලක් තමයි වැය කර සංකීර්ණය නිමා කිරීමට ඉතිරිව තිබෙන්නේ. මේ මැදිරිය මූලික වශයෙන් ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් සඳහා භාවිත කළත් අනෙක් සියලුම පාඨමාලා සඳහා මෙය බලපානවා. මොකද ඒවාට අවශ්‍ය කෝස් මැටීරියල්ස් හදන්න, වීඩියෝ ක්ලිප්ස් හදන්න, ඉදිරියේදී අප දන්නවා අපට එන්නේ ඉන්ටරැක්ටිව් ලර්නිං සිස්ටම් එකක්, ඒ සඳහා අවශ්‍ය ඉන්ටර්නෙට් භාවිතය ආදි පහසුකම් සියල්ල ඒ මැදිරි සංකීර්ණයේ තිබෙනවා. ඒ නිසා සියලු පාඨමාලාවලට මෙය ඉතා වැදගත්.

ඔබ හිතන ආකාරයට මේ මැදිරි සංකීර්ණය නිමා කරන්න කොපමණ කල් ගතවේවිද?

අප බලාපොරොත්තු වන්නේ සහ සැලසුම් කළේ මේ වසරේ දෙසැම්බර් වන විට මේ කටයුතු අවසානයක් දකින්න. වෙනත් බාහිර බලපැමක් නොවුණොත් අපට එය මේ වසර අවසානයේදී විද්‍යාර්ථීන් අතට පත් කළ හැකි වනවා.

බාහිර ප්‍රශ්න කියන්නේ තාක්ෂණය සම්බන්ධවද?

තාක්ෂණයට අමතරව යම් යම් තීරණ තීන්දු සම්බන්ධව යම් යම් ගැටලු ඇති වී තිබෙනවා. අපට මූල්‍ය ගැටලු නැ, මුදල් අනුමත වෙලයි තිබෙන්නේ. එනිසා තීරණ නිරාකරණය වුණාට පස්සේ අපට පුළුවන් මෙය සම්පූර්ණ කරන්න.

මෙයට විදේශ ආධාර ලැබෙනවාද?

සෘජු විදේශාධාර නැ. ඒත් අපේ එස්ඒස්ඩීපී කියලා ව්‍යාපෘතියකට ලැබෙන ආධාරවලින් තමයි අපට මුදල් ලබා දී තිබෙන්නේ. ඒ වගේම මෙයට අවශ්‍ය විශේෂඥ දැනුම අපේ රටින්ම අපේ විශ්වවිද්‍යාලවලින්ම තමයි සපයා තිබෙන්නේ.

මෙය යම් විදෙස් විශ්වවිද්‍යාලයක් සමඟ අනුබද්ධ වනවාද?

දැනට එහෙම නැ. ඒත් අප බලාපොරොත්තු වනවා ඉදිරියේදී යුරෝපීය විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ වෙමින් මේ තත්ත්වයන් වැඩි දියුණු කරගෙන ඉදිරියට යන්න. මූලිකම දේ මෙය තමයි ලංකාවේ ප්‍රායෝගික තලයේ තිබෙන එකම රූපවාහිනී පාඨමාලාව. අපට අවශ්‍යව තිබුණා සිනමාව සහ රූපවාහිනිය වෙනුවෙන් උපාධියක් ලබා දෙන්න. එහි පළමු කණ්ඩායම මේ වසරේ එළියට එනවා. අපට පුළුවන් දැන් පාඨමාලාවේ අඩුපාඩු තිබේද කියා සොයා බලා තවත් විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ වෙමින් මෙය දියුණු කළ යුතු ආකාරය සොයා ගන්න. විශේෂයෙන්ම කිව යුතුයි මෙහි පාඨමාලාව මුලින්ම නිර්මාණය කළේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්, ඉන්පෙර මෙයට සම්බන්ධ වූ ආචාර්ය ඩී. බී නිහාල්සිංහයන් වැනි අයත් ඇතුළුව ක්ෂේත්‍රයේ සිටින සුමිත්‍රා පීරිස් මහත්මිය වැනි ප්‍රවීණයන් සියලුදෙනා මෙයට සම්බන්ධ වුණා.

විද්‍යාර්ථීන්ට දැනුම ලබා දීමේදී අපේ රටේ මේ වනවිට ප්‍රාමාණික ශාස්ත්‍රීය දැනුම සහිත අය අවශ්‍ය තරම් ඉන්නවාද?

මෙහිදී ගැටලු දෙකක් තිබෙනවා. ලංකාවේ චිත්‍රපට හා ටෙලිවිෂන් උපාධියක් මීට පෙර නොවූ නිසා ඒ සම්බන්ධව විද්‍යානුකූල හැදැරීමක් සහිත අය අඩුයි. බොහෝ දෙනා ක්ෂේත්‍රයේ වැඩ කිරීමෙන් ලබා ගත් දැනුම සහිත වූවන්. ඒ දැනුම මෙයට පැහීමේදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතු වෙනවා. ඒත් අප එය බොහෝ විට ක්ෂේත්‍රයේ අවශතා හඳුනාගෙන ඒ සඳහා ඉගැන්වීමේ හැකියාව ඇති වෘත්තිකයන් සම්බන්ධ කරගෙන තමයි කටයුතු කරන්නේ. ඒ වගේම විදේශ පාඨමාලාවට නොදෙවෙනි ආකාරයෙන් අප මේ පාඨමාලා නිර්මාණය කර තිබෙනවා.

ලංකාවේ සරසවි අතරින් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල දහසට අයත් වන එකම විශ්වවිද්‍යාලය මොරටුව සරසවියයි. අපේ බලාපොරොත්තුවත් වසර කිහිපයකදී ලොව පිළිගත් මට්ටමට ඒමයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු මහාචාර්ය ජී. එල්. ඩී. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෙරෙමින් පවතිනවා. මෙය සම්පූර්ණ රජයේ විශ්වවිද්‍යාලයක් නිසා කිසිම අය කිරීමක් සිදු වන්නේ නැ. මෙයට ඇතුළත් වීමේ ක්‍රම දෙකක් තිබෙනවා. එකක් සති අන්ත පාඨමාලා සඳහා ප්‍රමුඛත්වය ලැබෙන්නේ NVQ ලෙවල් 5 හෝ 6 සඳහා සුදුසුකම් ඇති සිසුන්ටයි. ඒ හැර සතියේ දිනවල මීට අමතරව ඉඩ තිබුණොත් උසස් පෙළ ඛස්කෝර් එක අනුව ළමයින් බඳවා ගැනෙනවා.

විදේශීය විශේෂඥයන් මඟින් පාඨමාලාවල ශාස්ත්‍රීය දැනුම ලබා ගනීමටත් බලාපොරොත්තු වනවාද?

ආරම්භයේදී මූලිකවම අප බලාබොරොත්තු වුණේ විශ්‍රාම ගිය ආචාර්යවරුන්, මහාචාර්යවරුන් ගෙන්වා සම්බන්ධ කර ගන්න. එය යම් යම් හේතු නිසා මඟහරුණා. ඒ වගේම අපට ඕන වුණා සිනමාවේ සහ රූපවාහිනියේ විනයගරුකබව බොහෝ වැදගත් නිසා යුරෝපයට යොමු වෙන්න. ඉදිරියේදී ඒවා සිදු වේවි.