වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තලා, පුතාලා, මාමලා, බැනලා එක්වන MR. CHANDRAMOULI

තාත්තලා, පුතාලා, මාමලා, බැනලා එක්වන MR. CHANDRAMOULI

MR. CHANDRAMOULI මේ දිනවල කොලිවුඩයෙන් රිදී තිරයට පැමිණි නවතම සිනමා නිර්මාණය යි. හාස්‍ය රැගත් ක්‍රීඩා චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය වී ඇති MR. CHANDRAMOULI අධ්‍යක්ෂණය කර තිබෙන්නේ තිරූ ක්‍රිෂ්ණමූර්ති විසින්. වෘත්තීය බොක්සිං ක්‍රීඩකයකු වටා කතාව ගෙතී තිබෙන MR. CHANDRAMOULI පසුගිය ජූලි 06 වැනිදා සිට තිරගත කිරීම ඇරඹුණි.

මෙම චිත්‍රපටයේ විශේෂත්වය නම් සැබෑ ලොව පිය - පුතු යුගලක් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කිරීමයි. 80 දශකයේදී සිනමාවට පිවිස කොලිවුඩයේ ජනප්‍රිය තරුවක බවට පත් වූ කාර්තික් (මුරලි කාර්තිකේයන් මුතුරාමන්) සහ ඔහුගේ වැඩිමල් පුතු වන ගෞතම් කාර්තික් විසිනි. කාර්තික්ගේ පළමු විවාහයේ පුත්‍රයෙකු වන 28 හැවිරිදි ගෞතම් කාර්තික් සිනමාවට පිවිසියේ 2013 වසරේ ම්චඤචත චිත්‍රපටයෙනි.

එහි රංගනය වෙනුවෙන් දකුණු ඉන්දීය ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම නැඟි එන නළුවා වෙනුවෙන් වූ සම්මානය ද ඔහුට හිමි විය. රංගනයට පිවිසියද ඔහු මනෝවිද්‍යා උපාධිධරයෙකි. MR. CHANDRAMOULI චිත්‍රපටයේ තම පියා සමඟින් රංගනයේ යෙදෙන්නට ලැබීම ඔහු තම රංගන ජීවිතයේ ලද වටිනා අවස්ථාවක් බව පවසයි. "සැබෑ ජීවිතයේ මට ලොකු කාලයක් ඔහු සමඟින් ගත කරන්නට ලැබුණේ නැහැ. එහෙත් මේ චිත්‍රපටය රූගත කිරීම පුරාවට ඔහු සමඟින් ගත කරන්නට ලැබුණු කාලයේ වටිනාකම වචනයෙන් විස්තර කළ නොහැකියි" ගෞතම් පවසන්නේ මෙලෙසින්.

MR. CHANDRAMOULI චිත්‍රපටය පුරාවට ද පිය - පුතු සබඳතාවය මාතෘකාවට ලක් වන්නක්. රාගව් නම් වෘත්තීය බොක්සිං ක්‍රීඩකයා අනපේක්ෂිත සිදුවීම් දාමයකට මැදිවීම සමඟින් සිය ජීවිතය, පවුල සහ ආදරය අතර ඇති වන සටන මේ ඔස්සේ දිග හැරෙනවා. මෙහි රාගව්ගේ චරිතයට පණ පොවන ගෞතම් කාර්තික්, බොක්සිං පුහුණුව සඳහා තායිලන්තයට ගිය බවද පැවසේ. කාර්තික් විසින් පණ පොවන චන්ද්‍රමෞලි නම් චරිතය පැරණි බඩු භාණ්ඩ ප්‍රිය කරන තම පැරණි මෝටර් රථයට පණ මෙන් ආදරය කරන එය සුරකින අපූරු චරිතයකි.

MR. CHANDRAMOULI චිත්‍රපටයෙන් කොලිවුඩයේ විශේෂ චරිත කිහිපයක්ම ඔබ හමුවීමට නියමිතයි. මෙහි කාන්තා ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ රෙජීනා කැසෙන්ඩ්‍රා සහ වරලක්ෂ්මි සරත්කුමාර් විසිනි. වරලක්ෂ්මි දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවකු සහ දේශපාලනඥයකු වන ආර්. සරත්කුමාර්ගේ වැඩිමල් දියණිය යි.

මීට අමතරව දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රබල චරිත ද්විත්වයක රංගනය ද MR. CHANDRAMOULI චිත්‍රපටයට ලැබී තිබෙනවා. තිර රචකයකු සහ අධ්‍යක්ෂවරයකු වන ජේ. මහේන්ද්‍රන් සහ තිරරචකයකු, අධ්‍යක්ෂවරයකු මෙන්ම නළුවකු වන අගතියාන් ද මෙහි ප්‍රමුඛ චරිත ද්විත්වයකට පණ පොවයි. අගතියන් සහ අධ්‍යක්ෂ තිරූ සැබෑ ජීවිතයේ මාමා සහ බෑණා වීමත් විශේෂයි.

1960 දශකයේ ජනප්‍රිය නළුවකු වූ සිවකුමාර්ගෙන් පසුව ඔහුගේ පවුලෙන් සිනමාවට පැමිණි සූර්යා සහ කාර්ති පුතුන් දෙදෙනා ද කොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් ළඟාකර ගැනීමට සමත් වුණා. මේ දක්වා සිනමාවට දායක නොවූ ඔහුගේ දියණිය බ්‍රින්ධා මුල්වරට සිනමා පසුබිම් ගායනයට එක් වීම සිදූ වූයේත් MR. CHANDRAMOULI චිත්‍රපටය සමඟින්. ඇය ද පසුබිම් ගායනයෙන් සිනමා ක්ෂේත්‍රයේ සාර්ථකවනු දැකීම සිවකුමාර් පවුලේ බලාපොරොත්තුවයි. MR. CHANDRAMOULI චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ යොවුන් සංගීතඥයකු වන සෑම් සී. එස්. විසිනි.