වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

BOLLYWOOD

සනී ලියොන්ගේ ජීවිත කතාව

සනී ලියොන් මේ වන විට බොලිවුඩයේ වැඩි වශයෙන් කතාබහට ලක් වී සිටින නිළියක්. ඉන්දීය සම්භවයක් සහිත කැනේඩියානු ජාතික සනී ලියොන් වර්තාමානයේදී සරාගී බොලිවුඩ් නිළියක ලෙස ප්‍රරසිද්ධියට පත් වී සිටියත් මීට පෙර ඇය ලොව කාගේත් අවධානය දිනා ගත්තේ නිල් චිත්‍රපට සුරූපිනියක ලෙසිනි. ඉන්දියාවේ සිට කැනඩාවට සංක්‍රමණය වූ ඉන්දීය ජාතික යුවළකගේ දියණිය ලෙස 1981 වසරේදී කැනඩාවේ දී උපත ලද ඇය ඉන්දියාවට පැමිණියේ බිග් බොස් රූපවාහිනි වැඩසටහන සමඟිනි. අනතුරුව 2012 වසරේදී Jism 2 චිත්‍රපටයට ලද ආරාධනාව ඔස්සේ ඇය බොලිවුඩයට පිවිසියාය. සරාගි නිළියක ලෙසින් ඉහළ ජනප්‍රියත්වයක් ලද ඇය මේ වන විට දරුකමට ගත් නිෂා දියණිය සහ ගර්භාෂ කුළියට ගැනීමේ ක්‍රමයෙන් ලද පුතුන් දෙදෙනෙකුගේ මවක්. මේ විදියට අද සනී ලියොන් ගැන කතා කරන්නේ විශේෂ හේතුවක් නිසා. නිල් චිත්‍රපට නිළියක ලෙසින් ජනප්‍රිය වී බොලිවුඩයට පැමිණි සනී ලියොන් තම ජීවිත කතාව හැමෝටම කියන්න සූදානම්. ඒ Karenjit Kaur: The Untold Story Of Sunny Leone නම් වෙබ් කතා මාලාව ඔස්සේ. රංගන ක්ෂේත්‍රයට ගැළපෙන පරිදි සනී ලියෝන් ලෙසින් භාවිත කළත් ඇයගේ සැබෑ නම කරෙන්ජිත් කෞවුර්. ලබන 16 වැනිදා සිට Zee5 ඔස්සේ එය විකාශය කිරිමට නියමිතයි. මේ ඔස්සේ කුඩා වියේ පටන් තම ජීවිත කතාව කියන්න සනී සූදානම් වන්නේ ඇයගේ චරිතය ඇය විසින්ම නිරූපණය කරමින්.

 


එකමත් එක කාලෙක හොලිවුඩයේ

ක්වෙන්ටින් ටරෙන්ටිනෝ විසින් අධ්‍යක්ෂණය කෙරෙන Once Upon a Time in Hollywood චිත්‍රපටය පිළිබඳ කාගේත් අවධානය යොමු වෙලා. එයට දායකත්වය සපයන නළු නිළි එකතුව එයට ප්‍රධානතම හේතුවක්. ඔස්කාර් සම්මානනීය නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ බ්‍රැඩ් පිට් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. පසුගියදා ඩිකැප්‍රියෝ එහි ඡායාරූපයක් සිය ට්විටර් පිටුවට එක්කර තිබුණා. ඔහු එහි රූපවාහිනි තරුවකගේ චරිතයට පණ පොවනවා. බ්‍රැඩ් පිට් පණ පොවන්නේ ඔහුගේ හොඳම මිතුරා සේම දිගු කාලීනව තිරයේ ඔහුගේ ක්‍රියාදාම ජවනිකා වෙනුවෙන් පෙනී සිටින්නා ලෙසින්. සම්මානනීය හොලිවුඩ් නළුවකු වන අල් පසීනෝ ද මෙහි නියෝජිතවරයකුගේ චරිතයට පණ පෙවීමට නියමිතයි. අමෙරිකානු ජාතික අපරාධකරුවකු වන චාර්ල්ස් මෙන්සන් ඇතුළු මෙන්සන් පවුල විසින් සිදු කළ ඝාතන වටා ගෙතුනු කතාවක් මෙහි ඇතුළත්. චාර්ල්ස් මෙන්සන් යනු අමෙරිකානු අපරාධකරුවෙක්, මැර කණ්ඩායමක නායකයෙක් මෙන්ම ගීත රචකයෙක්. 1960 දශකයේ මෙන්සන් පවුල ප්‍රසිද්ධියට පත් වුණේ, අපරාධ සම්බන්ධයෙන්. චාර්ල්ස් මෙන්සන්ගේ අනුගාමිකයන් 1969 ජූලි - අගෝස්තු කාලය තුළ ස්ථාන 4ක සිදු කළ මිනි මැරුම් 9ට ඔහු වරදකරු වූයේ එම මිනි මැරුම් 2ක් සිදු කිරීම සහ මිනි මැරුම් 7ක් සැලසුම් කිරීම වෙනුවෙන්. ඔහුට මරණීය දණ්ඩනය නියම කෙරුණත් කැලිෆෝනියාවේ මරණීය දණ්ඩනය ඉවත් කිරීම නිසා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා. මෙම ඝාතන අතර අලුත විවාහපත් වුණු තරු යුවළකගේ නිවසේ සිදු වූ ඝාතනයක් ද වේ. එනම් ජනප්‍රිය නිළි ෂැරොන් ටේට් සහ සුප්‍රකට අධ්‍යක්ෂ රෝමන් පොලන්ස්කිගේ නිවෙසේ සිදු වූ ඝාතනය යි. ඒ වන විට අධ්‍යක්ෂ පොලන්ස්කි සිනමා නිර්මාණයක් වෙනුවෙන් යුරෝපයට ගොස් සිටි නිසා දිවි ගලවා ගත් අතර මාස අට හමාරක ගැබිණියක වූ බිරිය ෂැරොන් ඇතුළු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් එහිදී ඝාතනයට ලක් වූවා. Once Upon a Time in Hollywood චිත්‍රපටය මෙම සිදුවීම් දාමය අලළා නිර්මාණය වී ඇති අතර එම ඝාතන සිදුවී වසර 50ක් ගත වන 2019 වසරේ අගෝස්තු මස එය තිරගත කිරීමට නියමිතයි.


සොනාලි බෙන්ද්‍රේ පිළිකා සටනක

ජනප්‍රිය සුරූපි බොලිවුඩ් නිළියක වන සොනාලි බෙන්ද්‍රේ පසුගිය සතියේ ඇයගේ රසික රසිකාවන් වෙත ගෙන ආවේ කනගාටුදායක පුවතක්. එනම් තමා පිළිකා රෝගයකින් පීඩා විඳීමින් සිටින බවයි. ට්ව්ටර් හා ඉන්ස්ටග්‍රම් සමාජ මාධ්‍ය ජාල හරහා පණිවිඩයක් තබමින් ඇය පවසා සිටියේ, මේ වන විටත් ඒ වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක්හි රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටින බවයි. කිසිදිනෙක බලාපොරොත්තු නොවූ මෙම අවස්ථාවේදී තමන් ධෛර්යයවත් කරමින් තමන් වටා සිටින සියලු දෙනාටම ඇය සිය ස්තූතිය පුද කර සිටිනවා. 43 හැවිරිදි වියේ පසුවන සොනාලි බෙන්ද්‍රේ බොලිවුඩයට පැමිණියේ 1994 වසරේ තිරගත කෙරුණු Aag චිත්‍රපටයෙන්. ඒ වෙනුවෙන් ඇයට ෆිල්ම්ෆෙයාර් නවක නිළිය වෙනුවෙන් වූ සම්මානය ද හිමි විය. Diljale,Lajja, Hum Saath-Saath Hain, Chori Chori, Sarfarosh වැනි සිනමා නිර්මාණ රැසකට දායක වෙමින් බොලිවුඩයේ ජනප්‍රිය නළුවන් රැසක් සමඟින් චරිත නිරූපණයට ඇයට අවස්ථාව හිමි වී තිබුණා. තෙළිඟු, දෙමළ, මරාති සහ කණ්ණඩ සිනමා නිර්මාණ වෙනුවෙන් ද සිය දායකත්වය ලබාදුන් ඇය තාවකාලිකව සිනමාවෙන් ඉවත් වූවා. ඇය අවසන්වරට ප්‍රධාන චරිතයට පණ දුන්නේ 2004 වසරේ තිරගත කෙරුණු තෙළිඟු චිත්‍රපටයක් වන Shankar Dada MBBS හිදීයි. 2014 - 2015 කාලය තුළ දී ඇය රූපවාහිනි වැඩසටහනකට සම්බන්ධව සිටියත් සිනමාවට එතරම් සමීපතාවයක් දැක්වූයේ නැහැ. ගෝල්දි බේල් නම් චිත්‍රපට නිර්මාණකරුවෙකු සමඟින් විවාහ දිවියට පත් ඇය අවුරුදු 13ක පුතෙකුගේ මවක්.


බෙකම් යුවලට 19 යි

ස්පයිස් ගර්ල්ස් කියන්නේ අනූව දශකයේ ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් කාන්තා පොප් සංගීත කණ්ඩායමක්. ස්පයිස් ගර්ල්ස් 1994 වසරේදී ආරම්භ කර වරින්වර විසිර ගිය ද පසුකාලීනව අවස්ථා කිහිපයකදී ඔවුන්ගේ ප්‍රසංග අත්විඳීන්න ලොවපුරා රසික රසිකාවන්ට අවස්ථාව ලැබුණා. බ්‍රිතාන්‍ය සංගීත ලොව පෙරළියක් කළ ස්පයිස් ගර්ල්ස් කණ්ඩායමේ වික්ටෝරියා බෙකම් තව තවත් අවධානයට ලක් වූයේ හිටපු ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයකු වන ඩේවිඩ් බෙකම් සමඟින් විවාහ දිවියට පත් වෙමින්. 1999 වසරේ ජූලි මස 04 වැනිදා විවාහ දිවියට පත් බෙකම් යුවළ පසුගියදා ඔවුන්ගේ 19 වැනි විවාහ සංවත්සරය සැමරුවා. බෙකම් යුවළ මේ වන විට පුතුන් තිදෙනෙකු හා දියණියකගේ මාපියන්. මේ දක්වාම තම පවුල් ජීවිතය සාර්ථකව පවත්වා ගෙන ඒමට එකම හේතුව දෙදෙනාම සෑමවිටම පවුලට මුල් තැනදීම කියලයි වික්ටෝරියා පවසන්නේ.