වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ සිනමාව.. මොඩ් වෙයි ද? පුස් කයි?

අපේ සිනමාව.. මොඩ් වෙයි ද? පුස් කයි?


බෙදාහැරීම් ගැටලුවේ යතාර්ථය හා අනාගතය

පසුගිය ජූනි 18 වන විට සමස්ථ සිනමා ක්ෂේත්‍රයම කැළඹීමකට ලක් කරන යම් ප්‍රබල තීන්දුවක් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ගෙන තිබුණි. එනම් වසර 18ක් තිස්සේ පුද්ගලික අංශයට තිබූ චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය හිටි අඩියේම ඔවුන්ගෙන් ඉවත් කිරීමට පියවර ගැනීමයි. එහි අනෙක් පස අදහස නම් සියලු බෙදාහැරීම් වල අයිතිය සංස්ථාව වෙත පවරාගත්තා යන්නයි.

මොකටද සර්කිට්?

වර්තමානයේ වන විට එදා සංස්ථාව බෙදූ ආකාරයෙන් සිනමාශාලා බෙදීමක් සර්කිට් සතුව නොමැති අතර චිත්‍රපටයේ ස්වභාවය අනුව සර්කිට් හෙවත් මණ්ඩල විසින් සිනමාශාලා ගොනු කොට එම චිත්‍රපටය බෙදාහරිනු ලබයි. ඒ අනුව අද පවතින ශාලා ප්‍රමාණය අනුව උපරිම සර්කිට් 3ක් තමන්ගේ චිත්‍රපටයක් වරකට මුදාහරී. මෙම සර්කිට් සතුවත් තමන්ටම අයිති සිනමාශාලා ඇති හෙයින් තමන් චිත්‍රපට බෙදානොහරින අවස්ථාවල වෙනත් මණ්ඩලයක චිත්‍රපටයක් පෙන්වීමට දායකත්වයක් ලබා දේ. මණ්ඩලයක් සතු ප්‍රධානම වගකීම නම් සිනමාශාලා ගොනු කොට චිත්‍රපටය බෙදාහැරීමත් කලට වේලාවට දෛනික ආදායම් වාර්තා ගෙන ආදායම් ගණනය කිරීමත් එම ගණනය කරන ලද ආදායමේ චිත්‍රපටයේ නිෂ්පාදකයාගේ පංගුව සහ ශාලා වල පංගුව කලට වේලාවට ලබාදීමත්ය. එම ආදායම් වල දෛනික වාර්තා ලබා ගැනීම සංස්ථාව විසින් පනවන රෙගුලාසියක් වන අතර ඒ සඳහා ප්‍රදර්ශකයන් අවනත විය යුතුය. මෙකී කාරණා සලකා බලද්දී ඩිජිටල් ජාලගත නොවූ ආදායම් ගණනය තුල කලට වේලාවට හරියට මුදල් එකතු කරගැනීම මණ්ඩල සතු නීතිමය වගකීමකි.

අපේ කර්මාන්තයේ ස්වභාවය...

අපේ සිනමාවට අවුරුදු 70ක් බව කඩවුණු පොරොන්දුවේ සිට කාලය ගණනය කරන විට හෙළිවේ. 1972 දි චිත්‍රපට සංස්ථා පනත සම්මත කොට සංස්ථාව පිහිටුවා බෙදාහැරීම සම්පූර්ණ ලෙස සියතට ගැනීමට 1976 වන තෙක් සිටීමට සිදුවිය. එම කාලය ඇතුලත ලංකාවේ චිත්‍රපට බෙදාහැරීම සහ නිෂ්පාදනය පුද්ගලික අංශය යටතේ පැවතිණි. එම වකවානුවේ එය තරඟකාරී වෙළඳපලක ලක්ෂණ තිබූ අතර එම වෙළඳපලේ ස්ථායිතාව ඉහල මට්ටමක තිබුණි. ඉන් පසු බෙදාහැරීම් සංස්ථාවේ උවමනා පිළිවෙලට කුඩා කලක් සාර්ථකව කෙරුණු අතර 80 දශකය ආරම්භයේදී මෙම වෙළඳපල ස්ථායිතාව මුළුමනින්ම බිඳ වැටෙන ලක්ෂණ පහළ වුණි. එය පසු කලකදී බොහෝ දෙනා අර්ථ ගැන්වූයේ දේශීය සිනමාවේ මළගම ඉක්මන් කිරීමට ගත් තීරණයක් ලෙසයි. නමුත් එකල එම පවරාගැනීමේ තීරණය යම් ධනාත්මක දේවල්ද සිද්ද කළත් වෙළඳපල තත්වයන්ට ඔරොත්තු නොදීමේ කරුණ මත සංස්ථාවත් සිනමාවත් දෙකම කඩන් වැටීමේ අනතුරට මුහුණ දීමට සිදු විය. එයින් විග්‍රහ වන ප්‍රධානම කරුණ නම් වෙළඳපල තරඟකාරීත්වයෙන් ඉවත් වී සංස්ථාව මගින් ඒකාධිකාරයක් නිර්මාණය කිරීමත් ප්‍රධාන ධාරාවෙන් එපිට දේශීය ස්වාධීන සමාන්තර දහරාවක් කල් පවතින ලෙස සෑදීමට ඔවුන් අසමත් වීමත්ය. එවකට රටේ තිබුණු තත්වයන් ගැන බොහෝ දෙනා අතිශයෝක්තියෙන් කතා කළත් වෙළඳපල තරඟකාරීත්වය තිබුණේ නම් සිනමාව කඩා නොවැටී පවත්වාගෙන යාමට හැකියාව එකල කර්මාන්තයට තිබුණි. එකල සිනමා කර්මාන්තය නමින් කට ඇර කීමට දෙයක් තිබුණා වුවත් අද ඒ තත්වය කෙසේවත් නොමැත. මන්ද ප්‍රධාන දහරාවේ ඉඊඋච්ධ්ර්‍ණඉ හෙවත් චිත්‍රපට සඳහා දැවැන්ත ආයෝජන කෙරෙන චිත්‍රාගාර මෙරට තිබූ අතර ඉතා හොඳ නිෂ්පාදන කළ නිෂ්පාදකයන්ද කර්මාන්තයට අඩුවක් නොවුණි. එකල ජනප්‍රිය නාමයන් වන සිලෝන් තියටර්ස් සහ සිනමාස් යන සමාගම් මෙහි දැවැන්ත බව වැඩි කළ අතර වඩා ලොකු කර්මාන්ත සිනමාවක් වෙනුවෙන් එම කැප කිරීම් අති මහත්ය. ක්‍රමයෙන් ඊට බාහිර වූ සමාන්තර දහරාවක් සිනමාවට නැති වූ අතර ප්‍රධාන දහරාවද නැති වී ගියේය. අවසානයේ සිනමාවක් කියා නාටු පොල් ගස් සහිත උරුමයෙන් ලත් පොල් ඉඩමක් අපට ඉතුරු වුණු අතර පවුලේ උරුමය නම්බුව නිසා කට්ටි කිරීමට නොහැකිව බලා සිටින නාකි රදලයෙක් තත්වයට ලංකාව පත් විය. ඒ අනුව 2001 න් පසුව මෙම බෙදාහැරීමේ ව්‍යාපාරය ඒකාධිකාර තත්වයෙන් මිදී කතිපයාධිකාර තත්වයට පත් වූ අතර සංස්ථාව ගිය මස 18 වන දින ගත් තීරණය අනුව නැවත 70 දශකයේ ඒකාධිකාර තත්වයට කර්මාන්තය ගෙන ගොස් ඇත.

සර්කිට් මල්ලේ සියඹලා ඇත්තේම නැද්ද?

සංස්ථාවේ සභාපතිවරයා සතුව පනතින් ලැබුණු බලගතු බලතල ප්‍රමාණයක් ඇත. අමාත්‍යවරයාගේ ආශිර්වාදය යටතේ සභාපතිවරයා ඔහුගේ බලය ක්‍රියාත්මක කර ඇත. දැනට සිදුවී ඇත්තේ එයයි. එම පවරාගැනීම පසුපසද තිබෙන්නේ නීති තර්කයකි. එනම් 2001දි මෙකී බෙදාහැරීම පවරා දෙනු ලැබුයේ මාස කිහිපයක් සඳහාය. එකල එය රාජ්‍ය ප්‍රතිපත්තිය වූ හෙයින්ද පනත ඒ සඳහා සංශෝධනය නොවී තිබුණු හෙයින්ද චක්‍රලේඛය ඉදිරිපත් වූයේ තාවකාලික පිලියමක් ලෙසය. නමුත් පාර්ලිමේන්තුවෙන් පනත සංශෝධනය වීම අද දක්වාම කල් ගිය නිසාත් එකී චක්‍රලේඛයේ සඳහන් මාස 3ක කාලය ඉක්මවා ගොස් දැනට අවුරුදු 17ක් ගත වී ඇති නිසාත් බැලුබැල්මට මෙම තීරණය ගැනීමට සංස්ථාවට වරම් තිබේ. නමුත් මණ්ඩල තමන්ගේ මේ කෙටි කාලීන ජයග්‍රහණය සඳහා බලවත් ප්‍රතිතර්කයක් මතු කළේය. එනම් පසුගිය අවුරුදු 17 තුල තමන් විවිධ අයුරින් මණ්ඩල ලෙස කර්මාන්තයට ආයෝජන කළ බවත් ඒ තුලින් තමන් රැකියා උත්පාදනය කළ බවත් සංස්ථාවේ මෙම ක්‍රියාව නිසා එක රැයෙන් සේවකයන්ට රැකියා නැති වීමේ අවධානමක් ඇති බවත් ගරු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කොට සිටියේය. අධිකරණයද එම තර්කය පිළිගෙන තිබේ. එනමුත් මණ්ඩල වලට සිදුවන්නේ බලවත් පනතක් හා සභාපතිවරයෙක් හා සටන් කිරීමටයි. මෙම සංස්ථාවේ කාර්යක්ෂමතාව ගැන මෙම ක්‍ෂේත්‍රයේ නොදන්නා කෙනෙක් නැත. එමෙන්ම සංස්ථාව ක්‍රියා කරන්නේ දීර්ඝ පෝලිමක් ඇති චිත්‍රපට පෝලිම් ගත කොට බෙදාහැරීමට නම් එයින්ද සිදු වන්නේ වෙළඳපල නිර්ණායකයන් උල්ලංගනය වීමයි. මන්ද මිට කලකට පෙර මණ්ඩල මගින්ම පැවසූ පරිදි යම් තාක් මට්ටමක ගුණාත්මකබවක් රඳවාගෙන ඇත්තේ චිත්‍රපට අල්ප ප්‍රමාණයක් පමණක් බවයි. එසේ පෝලිම් ගත කරන්නට ආරම්භ කළහොත් 'අප හදන කිනම් දේ හෝ මෙරට ශාලා වල පෙන්විය යුතුයි' යන ස්ථාවරයේ සිටින අයවලුන්ට බොහෝ 'වාසි' අත් වනු ඇත. පහුගිය වකවානුවේ චිත්‍රපට වල ප්‍රමිතිය යන්නට යම් අර්ථයක් මණ්ඩල මැදිහත් වී දුන් නමුත් එසේ වුවහොත් මෙම 'ප්‍රමිතිය' පුස් කනු ඇත. සෙමෙන් නමුත් වර්ධනයක් අත් පත් කරගැනීමට කර්මාන්තයට හැකි වූයේ මෙරට යුද්ධය අහවර වූ නිසාය. කර්මාන්තයේ ක්‍රමික වර්ධනයට මණ්ඩල මෙන්ම ඒවායේ කොටස් කරුවන් විශාල ලෙස දායක වී ඇත. ඒ අනුව බොහෝ පාර්ශව නව සිනමාහල් සඳහා ආයෝජනය කළ හා කරමින් පවතින අතර වඩාත් පලදායි ව්‍යාපාරික මොඩලයක් වෙනුවෙන් මාරු වෙමින් පවතියි. උදාහරණයක් ලෙස සී ඊ එල් මණ්ඩලයේ ප්‍රධාන හවුල්කරුවෙක් වන සිලෝන් තියටර්ස් සමාගම සිය හවුල්කාරිත්වය ඇති කාගිල්ස් ආයතනය හා එක්ව අලුත් ශාලා බිහිකිරීමට විශාල උත්සහයක් දරමින් සිටී. ඒවා ප්‍රධාන නගර කරා පැතිරවීමද ඔවුන්ගේ එක් අපේක්ෂාවකි. එහෙයින් මණ්ඩල නිසා සිනමාව වැටුනා හෝ සිනමාහල් වැසුනා යන කතා 100% වලංගු නැත.

හොඳ චිත්‍රපටයක් යනු කුමක්ද?

ඇත්තෙන්ම මේ කරුණේදී කිසිම පාර්ශවයකට තීරණයක් ගත නොහැක. මණ්ඩල චිත්‍රපටයකට යම් සහතිකයක් දුන්නද එම චිත්‍රපටය ජනකාන්ත එකක් වීමේ සහතිකයක් හෝ පුර්ව නිගමනයක් ලෙස සැලකීම අපොහොසත්ය. මන්ද ප්‍රේක්ෂකයාගේ තීරණය ඔවුන්ට තීරණය කළ නොහැකි නිසාය. එම තර්කයේ අනෙක් පස යමෙක් සංස්ථාව සමඟ බෙදාහැරීම සිදු කරන හෙයින් දේශීය සිනමාව ගොඩ යයි කියා සිතනවානම් එයද මුලාවකි. ඒ අනුව පර්යේෂණ අංශයක් තබාගෙන සිනමාව හැකිලී එය කමිසයේ උඩ සාක්කුවට වැටුන සිනමාව ගැන නොදත් සංස්ථාව මගින් ඊට අයත් සිනමාව කුමක්දැයි සොයාගනු ඇතැයි අපට විශ්වාස කළ නොහැක. ඒ අනුව චිත්‍රපටය යනු ඉතා බලවත් සාධකයකි. එමෙන්ම එහි හැකිලිමද මණ්ඩල වල අනාගත ව්‍යාපාර මොඩලයට බලපාන එකකි. එයින් මණ්ඩල වලටත් අභියෝගයක් නම් සංස්ථාව ගැන කවර කතාද? ඒ අනුව රිද්මා මණ්ඩලයෙන් ආශ්චර්යයන් බලාපොරොත්තු වීම කොහෙත්ම හිතකර නොවේ.

ජනාධිපතිවරයාගේ කමිටු වාර්තාවේ වටිනාකම මංචාඩි භාගයයිද?

ශ්‍රි ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස දේශීය සිනමාවේ අභිවෘද්ධිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැන සවිස්තර වාර්තාවක් ලබා ගැනීම සඳහා එතුමා විසින් කමිටුවක් පත් කොට එහි වාර්තාව එළිදක්වා තවම වසරක් වත් ගත වී නැත. එම කමිටුව සඳහා සම්පත් දායකත්වය සැපයීම සිද්ද කළේ මෙරට නම් දරා ඇති කලාකරුවන්ය. ඊට අමතරව සිනමාවේ අවශේෂ සේවා සපයන බොහෝ දෙනා මෙම කාර්යයට එකතු විය. මුලින්ම කිව යුත්තේ මෙම කමිටුව ජනාධිපතිවරයා නම් කරන ලද්දේ ඔහුගේ පුද්ගලික ආශාවක් සන්තර්පණය කිරීම සඳහා නොව දේශීය සිනමාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේ පහසුව තකාය. ඒ අනුව මෙසේ මණ්ඩල පවරා ගැනීමේ තීන්දුව ජනාධිපති කමිටු වාර්තාවට සපුරා පටහැනිය. මන්ද එම වාර්තාවෙන් දැක්වෙන පරිදි අදාළ ආයතන කටයුතු කළ යුත්තේ වඩා හොඳ තරගකාරිත්වයක් ඇතිවනු පිණිස තවත් බෙදාහැරීමේ මණ්ඩල වලට ඉඩ ප්‍රස්ථා සකසා දීමයි. ඊට අමතරව මේ මොහොතේ පවතින සිනමා යටිතල පහසුකම් වල තිබෙන ගැටලු වලට පිළිතුරු ද ප්‍රදර්ශනයේදී නිෂ්පාදක සඳහා ලැබිය යුතු මුදල් ප්‍රතිශතයන් ඉහල දැමීම ගැනද එම කමිටුවේ අවධානය යොමුව තිබුණි. ඒ අනුව තරඟකාරී ක්‍රමයකට බෙදාහැරීම සිද්ද කිරීම ගැන මණ්ඩල වල විරුද්ධත්වයක් පළ වී නොමැත. මන්ද ඔවුන්ගේ නියෝජනයද මේ කමිටුවට ලැබී තිබූ හෙයිනි. වැදගත් උත්ප්‍රාසය නම් එම කමිටුව සඳහා වාඩි වූ සුප්‍රසිද්ධ නම් කිහිපයක් සංස්ථා සභාපතිවරයා මෙම තීරණය ගනිද්දී ඔහුත් සමඟ එකට වාඩි වීමයි. එම වාර්තා කියවන ඔබ අප සැම සෙවිය යුත්ත නම් මේ ජ්‍යෙෂ්ටයන් එම වාර්තාවේ එකඟ මොනවාටද නැත්තේ මොනවාටද දැයි බැලීමයි.