වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ගිරවියක්ද නැත්ද කියා තීරණය වනුයේ නාලිකාව මතයි

ගිරවියක්ද නැත්ද කියා තීරණය වනුයේ නාලිකාව මතයි

ඇගේ රුව ඔබට නුහුරු වන්නට ඇති. එනමුත් හඬ එසේ වන්නේ නැත. ඒ ඇය ගුවන්විදුලි නිවේදිකාවක ලෙස සිය මාධ්‍ය චාරිකාවේ නියැළෙන නිසාය.

තරුෂි අතුකෝරල.

හඳුනාගනිමු ඇයව. මේ තරුෂි වෙනුවෙන් වෙන්වූ ඉඩකඩය.

ඔබ වත්මනෙහි සේවය කරන මාධ්‍ය ආයතනය ගැන සඳහනක් කළොත්?

චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ නිත්‍ය නිවේදිකාවක්.

මොකක්ද මේ චීන ජාත්‍යන්තර ගුවන්විදුලිය කියන්නෙ.

චීනයත් ලංකාවත් අතර ඇති මිත්‍රත්වයේ ගුවන්විදුලියක්. මේ ගුවන්විදුලියේ ලංකාවෙ අය වගේම සිංහල ඉගෙනගත් චීන ජාතිකයන් සේවය කරනවා.

කොහොමද ඒ ගුවන්විදුලියට සවන්දෙන්න පුළුවන්.

97.9 න් අසන්නට පුළුවන්.

මේ වනවිට ඔබ එහි මෙහෙයවන වැඩසටහන් මොනවද කියලා කිව්වොත්?

තරු අරුන්දතී නමැති ප්‍රධාන වැඩසටහනක් මෙහෙයවනවා. ඒක ප්‍රචාරය වන්නේ සතියේ දින පහේම සවස හයේ සිට හතයි තිහ දක්වා. එම වැඩසටහන කොටස් තුනකට බෙදෙනවා. ගී සිහින ගීතාලංකාර සහ ගී මියැසිය කියලා.

මේ ඔබේ කීවැනි මාධ්‍ය නවාතැනද?

තුන්වැනි තැන.

පෙර ඔබ සේවය කළ මාධ්‍ය ආයතන ගැන සඳහනක් කළොත්

මං මුලින්ම සම්බන්ධවන්නෙ සිංහ ගුවන් විදුලියට. ඒකත් අහම්බෙන් සිදුවුණ දෙයක්. නිවේදිකාවක් හැටියට වැඩ කටයුතු කරගෙන ජීවිතයෙ ඉදිරිය දකින්න ඕනෙ කියලා හිතාගෙන හිටියට නිවේදිකාවක් වෙන්න ඕනා කොහොමද කියලා දැනගෙන හිටියෙ නැහැ.

මාධ්‍යයට සම්බන්ධ අයගෙ සබඳකම් තිබුණෙත් නැහැ. ඔය අතරේ මට සිංහ ගුවන්විදුලියෙම ප්‍රචාරය වූ දැන්වීමක් අසන්නට ලැබෙනවා. ඒ ඒ ගුවන්විදුලියට අලුතින් පිරිසක් ගන්නවා කියලා.

මං එවෙලෙම ඇඩ්ඩ්‍රස් එක අහගෙන ඊට අයැදුම් කළා. ඊට පසුව සම්මුඛ පරීක්ෂණයට මුහුණදීලා තමයි එතැනට සම්බන්ධ වුණේ.

පළමුව මෙහෙයවූ වැඩසටහන මොකක්ද කියලා කිව්වොත්?

ගිය අලුත කිසිම වැඩසටහනක් දුන්නේ නැහැ. මාස තුනක් ට්‍රේනිං එහෙම ඉඳලයි මට වැඩසටහනක් ලැබෙන්නෙ. ඒ උදෑසන වැඩසටහන. ඒක උදේ හතේ ඉඳලා දහය වෙනකම් ප්‍රචාරය වුණා.

කොපමණ කලක් ඔබ එම වැඩසටහන මෙහෙයවූවාද?

අවුරුදු දෙකක් පමණ.

ඊට පසුව?

මට සිත ගුවන් විදුලියට යන්න සිදුවෙනවා. මං එහි සිත්තම් රෑ කියලා රාත්‍රී වැඩසටහනක් කළා.

රෑ හතේ සිට දහය දක්වා ප්‍රචාර වුණා. ඒකටත් ඉහළ ප්‍රතිචාර ලැබුණා. මගේ හඬ ගොඩදෙනෙකු අතරට ගියෙ ඒ වැඩසටහනෙන්. මාත් එක්ක එය

මෙහෙයවූයේ මට වඩා සීනියර් අයකුවන වජිර ජයවර්ධනයි. ඉන් අනතුරුවයි මං චීන ගුවන්විදුලියට එන්නෙ.

මේ කාලය අතරතුරදී ඔබ ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ එහෙම නැත්ද?

මොකද නැත්තෙ. මං වර්තමානයෙත් ප්‍රවෘත්ති කියනවා. ප්‍රවෘත්ති කියන්නටත් හැකියාව තියෙනවා.

තිරයට ගැළපෙන රුවකුත් තියාගෙන ඇයි ඔබ ගුවන් විදුලිය තුළම සිරවී සිටින්නෙ.

මට රූපවාහිනි නාළිකාවලින් ආරාධනා ලැබුණා. ඒත් මං ගියෙ නැහැ. මගෙ වැඩි ආසාව තිබෙන්නෙ ගුවන්විදුලි මාධ්‍යයට. ඒ තුළ කරන්න පුළුවන් දේ කරනවා.

ටී වී චැනල් එකක සේවය කළානම් ජනප්‍රිය වෙන්න තිබුණා නේද?

ජනප්‍රියත්වයට මගෙ ලොකු කැමැත්තක් නැහැ. නිවේදකයකු ජනප්‍රිය වෙන්න ඕන තමයි. ඒත් මගෙ වැඩිකැමැත්ත හඬ පමණක් ජනතාව අතට යැවීමයි.

ඔබේ එම හඬ නිසා විඳි අමතක නොවන අත්දැකීමක් ගැනයි මං අහන්නෙ?

මගේ කටහඬට ළෙංගතුවූ එක තැනැත්තෙක් මට කෝල් කරලා මාව හොයාගෙන ආවා. කිව්වට විශ්වාස කරන්න ඔහු අන්ධ පුද්ගලයෙක්. බොහොම අමාරුවෙන් බැරි බැරි ගාතෙ ඔහු ඇවිත් තිබුණා. එදා නම් මට ගොඩක් සතුටු හිතුණා.

ඔබ සිංග්ලිෂ් නිවේදිකාවක්ද

කොහෙත්ම නැහැ.

ගුවන් විදුලි නිවේදිකාවන්ට අනවර්ථ නාමයක් තියනවා නේද එෆ් එම් ගිරව් වගේ කියලා?

මං හිතන්නෙ හැමෝටම එහෙම කියන්න බැහැ. ගිරවියකුද නැද්ද කියලා තීරණ වන්නෙ ඒ ඒ නාළිකා මත. වැඩිපුර කියවන්න පුළුවන් චැනලුත් තියෙනවා. එහෙම නැති ඒවත් තියෙනවා. කියවන එක ප්‍රතිපත්තියක් කරගත්තු චැනලුත් තියෙනවනෙ. එතකොට නිවේදිකාවක් ඉබේම ගිරවියක් බවට පත්වෙනවා.

තරුෂි කැමැතිම ගුවන් විදුලි නිවේදිකාව කවුද?

මම බොහොම ප්‍රියයි කුසුම් පීරිස්ට.