වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මෙවර ජනපි‍්‍රය නළුවා හා නිළිය සම්මාන පිරි නොනැමේ

කිරිබත්ගොඩට අරුණ උදාවෙයි

චිත්‍රපට නිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වන සුනිල් අරුණ වීරසිරිගේ හිමිකාරිත්වයෙන් යුතු සිනමා ශාලාවක් මෙම මස 29 වැනිදා සිට කිරිබත්ගොඩ දී ආරම්භ වනු ඇත. අරුණ සිනමා නමින් අප සිනමා ලෝකයට එක්වන ඒ නව සිනමා ශාලාව නම් කොට තිබේ.

කිරිබත්ගොඩ නගරයේ මාකොල පාරේ අංක 94 දරන තැන පිහිටි උදේශි සිටි පරිශ්‍රයේදී ආරම්භ වන අරුණ සිනමා ඩිජිටල් තාක්ෂණයෙන් යුතු 3ච් සිනමා ශාලාවකි.

ඉංග්‍රීසි, දමිළ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන අරුණ සිනමා හි මංගල දර්ශනය මෙරට සිනමා ක්ෂේත්‍රයේ සහදෘයින් සමඟ මෙම මස 28 වැනිදා පැවැත්වෙනු ඇත.

ඊට පහුවෙනිදා සිට මහජන ප්‍රදර්ශනය ආරම්භවීමට නියමිතය. සුනිල් අරුණ වීරසිරි මෙරට සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ චිත්‍රපට නිෂ්පාදකවරයකු වශයෙනි.

සැපට දුකට සනී, ක්ලීන් අවුට් වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ හෙතෙම ටිකිරි සුවඳ සමඟින් අධ්‍යක්ෂණයට එකතු වෙයි.

ඔහුගේ දෙවන සිනමා නිර්මාණය හිතුවක්කාරී ළඟදීම තිරගතවීමට නියමිතය.


මෙවර ජනපි‍්‍රය නළුවා හා නිළිය සම්මාන පිරි නොනැමේ

නොවැළැක්විය හැකි හේතුවක් නිසා මෙවර ජනපි‍්‍රය නළුවා හා නිළිය සම්මාන පිරි නොනැමේ. මෙතෙක් ඒ පිළිබඳ උනන්දුව දැක්වූ රසිකයන් හට අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමු


මන රන්ජන දර්ශනීය ලංකා ගැයූ කේ. රාණි මිය යයි

අපේ ජාතික ගීය සුජාතා චිත්‍රපටයට ගැයුවේත් ඇයයි

ශ්‍රී ලාංකික චිත්‍රපට ගායන ඉතිහාසයේ අතිශය ජනප්‍රිය ගී රාශියක් ගායනා කළ කේ. රාණි පසුගිය ඉරිදා ඉන්දියාවේ හයිද්‍රබාද් නගරයේදී අභාවප්‍රාප්ත විය. මෙරට ජාතික ගීය මුල්වරට ඇතුළත් වූයේ සුජාතා චිත්‍රපටයට වන අතර එම ගීතය ගායනා කරන ලද්දේ කේ. රාණි විසිනි. සුජාතා චිත්‍රපටයට මනරංජන දර්ශනීය ලංකා ගීතය ඇය විසින් ගායනා කරන ලදී. ඒ දක්ෂිණ මූර්තිගේ සංගීතයටය. සැඩසුලං චිත්‍රපටයට ජමුණා රාණි සමඟ ජීවන මේ ගමන සංසාරේ, මාතලන් චිත්‍රපටයට සඳ රාහු මුඛයේ ඇතුළු ජනප්‍රිය ගී රැසක් ගැයූ කේ. රාණි පනහ දශකයේ දකුණු ඉන්දියානු චිත්‍රපට පසුබිම් ගායිකාවක වූවාය. 1943 වසරේ උපත ලද ඇය දමිළ, තෙළිඟු, කන්නඩ, මලයාලම් චිත්‍රපට සඳහා ද පසුව උස්බෙක් සහ සිංහල යන භාෂාවලින් ගීත පන්සීයකට වඩා ගායනා කළාය. ඇය 1965 වසර දක්වාම ගායනයේ යෙදී සිටියාය.


ඇලඩින් සහ පුදුම පහන 26 දා

සුප්‍රකට කතා පුවතක් වන ඇලඩින් සහ පුදුම පහන ඇසුරෙන් සුමිත් කුමාර නිර්මාණය කරන ලද ඇලඩින් සහ පුදුම පහන සිනමාපටය මෙම මස 26 වැනිදා සිට එම්. පී. අයි. සහ එල්. එෆ්. ඩී. මණ්ඩලවල සිනමා ශාලාවල තිරගතවීමට නියමිතය. ධනංජය සිරිවර්ධන, උදාරි වර්ණකුලසූරිය, අශිකා මතසිංහ, ඩී. බී. ගංගොඩතැන්න, දිල්හාරා රාජපක්ෂ, නිමල් පල්ලෙවත්ත, සේනක ටයිටස්, නෙතු ප්‍රියංගිකා, ප්‍රියන්ත මංසිළු, රෝහිත ඩයස්, රෝයි මැක්ලවුඩ්, දයාසිරි හෙට්ටිආරච්චි සමඟ බිංදු බෝතලේගම ඇතුළු පිරිස මෙහි චරිත මවනු ඇත. නිලන්ත චූලරත්න්ගේ කැමරා අධ්‍යක්ෂණයකි. අජිත් මෙන්ඩිස් තිරකතා රචකයාය. ශාන් අල්විස්ගේ සංස්කරණයකි. ධනංජය මංචනායක සහාය අධ්‍යක්ෂවරයාය. ප්‍රියන්ත රාමනායක කලා අධ්‍යක්ෂණයෙන් එකතු වෙයි. ගීත ගායනය සමන් ලෙනින් සහ ශාන්ත පීරිස් විසිනි. ගීතයේ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රුවින් ඩයස් නිම කොට තිබේ. ඇලඩින් සහ පුදුම පහන ප්‍රසාද් විජේසූරියගේ නිෂ්පාදනයකි.


හමුවෙන්න තවම හැකි කොමරේඩ් 24දා එයි

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' මෙම මස 24 වැනිදා සවස මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරේ. සිනමාවේදී අශෝක හඳගම සහ නාට්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ මෙහිදී දෙසුම් පැවැත්වීමට නියමිතය. මෙම ග්‍රන්ථයට අමතරව විමල් විසින් පෙර රචනා කළ දුහුවිලි සේල සහ නවයේ කතා නවකතා ද්විත්වයේ නව මුද්‍රණයන් ද මෙහිදී එළිදකියි. විමල්ගේ නවතම ග්‍රන්ථය අහස ප්‍රකාශනයකි.


තෝරදෙනිය ලියූ නවතම ග්‍රන්ථය ‘විචාර විලෝචන’

2015 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ එම වසරේම ස්වර්ණ පුස්තක සම්මානය සඳහා ද නිර්දේශිත වූ 'බණ්ඩර මැරූ උන්' නවකතාව ඇතුළු සම්මානනීය නවකතා රැසක් රචනා කළ ප්‍රවීණ ලේඛක හා සාහිත්‍ය විචාරක සේන තෝරදෙනිය මහතා විසින් ලියන ලද අලුත්ම ග්‍රන්ථය 'විචාර විලෝචන' පසුගිය ජූලි මස 17 වැනිදා කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් මැදුරේදී ජනගත කෙරිණි.

සාහිත්යික උප භාෂා, සම්භාව්‍ය යුගයේ සිට වර්තමානය දක්වා චීන සාහිත්‍යය, අධ්‍යතන සිංහල සාහිත්‍ය විචාරයේ ගැටලු හා සාහිත්‍ය විචාරයේ දුර්භාවිත ආදී වශයෙන් සේන තෝරදෙනිය විසින් ශාස්ත්‍රීය සඟරා හා උපහාර ග්‍රන්ථ කීපයකට ලියන ලද ලිපි එකොළසක් ද මීට පෙර පළ නොවූ එක් ලිපියක් ද 'විචාර විලෝචන' ග්‍රන්ථයට ඇතුළත් වෙයි.