වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝති සිනමා ගී මහරගමට එයි තරු 31 ක් ගී 31 ක්

ජෝති සිනමා ගී මහරගමට එයි තරු 31 ක් ගී 31 ක්

අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ 31 වැනි ගුණානුස්මරණය සමරමින් අති දැවැන්ත ජෝති සිනමා ගී ප්‍රසංගයක් මෙම මස 26 වැනිදා සවස 6 ට මහරගම තරුණ සේවා සභාවේ රංග ශාලාවේදී පැවැත්වේ. මෙහිදී ජනප්‍රිය කලා තරු 31 ජෝති ගැයූ ගී 31 එකකින් ප්‍රසංගය රසවත් කරනු ඇත. ඒ අනුව රවීන්ද්‍ර රන්දෙණිය, ක්ලීටස් මෙන්ඩිස්, රොජර් සෙනෙවිරත්න, වෝල්ටර් ප්‍රනාන්දු, ලලිත් පොන්නම්පෙරුම, අමිලා නදීශානි, උපසේන සුභසිංහ, ටෝනි හසන්, සුප්‍රියා අබේසේකර, ඩිනක්ෂි ප්‍රියසාද්, රොනී ලීච්, නුවන් ගුණවර්ධන, මුතු තරංගා, සාරංග දිසාසේකර, සචිනි අයේන්ද්‍රා, චන්න පෙරේරා, නිලන්ති ඩයස්, විශ්ව ලංකා, සමන් විජේසිංහ, ශනුද්‍රි ප්‍රියසාද් මෙහිදී ගී ගැයීමට නියමිතය. සංගීත අධ්‍යක්ෂණය නුවන් සමරසිංහගෙනි. ප්‍රසංගයේ පූර්ණ අධීක්ෂණය ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ නීතිඥ එරංද වැලිඅංගේ ගේ විසිනි. සංවිධායකවරු ලෙස දිනේෂ් ප්‍රියසාද්, නිශාන්ත කුමාර, දිනේෂ් ලන්සකාර සහ ප්‍රදීප් කේ. සෝමරත්න කටයුතු කරති ලසන්ත මොහාන් කතනයෙන් ප්‍රසංගය මෙහෙයවයි.


වාර්ෂික ජපන් චිත්‍රපට උලෙළ 21 - 22

එන්න සකුරා මල්සුවඳ විඳ ගමු

ජපන් තානාපති කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එකමුතුවෙන් සංවිධානය කළ ජපන් චිත්‍රපට දැක්මක් මෙම මස 21 සහ 22 යන දිනයන්හි ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.

චිත්‍රපට තිරගත වන පිළිවෙල මෙසේය.

22 වැනිදා සවස 3 ට ඔසාමු මිනෝරිකාවා අධ්‍යක්ෂණය කළ ඉට්ස් අ බියුටිෆුල් ලයිෆ්

එදින සවස 5.30 ට හිදායෝ නකටා අධ්‍යක්ෂණය කළ ද කම්ප්ලෙක්ස්

22 වැනිදා සවස 3 ට තොරු හොසෝකවා අධ්‍යක්ෂණය කළ ගෝල්ඩන් ඔවෙස්ට්‍රා

එදින සවස 5.30 යාසු හිරෝ යෝෂිරුවා අධ්‍යක්ෂණය කළ

ටයිම් ඔෆ් ඊව්


රන්වල බලකායට සෙබලුන් ඕනෑලු

රන්වල පදනමේ ජන ගී හා ප්‍රාසංගික කලා පාඨමාලාව සඳහා මේ දිනවලදී නවකයින් බඳවා ගනේ. මේ සඳහා එකතුවීමට කැමැති නවකයන් වෙතොත් මෙම මස 21 වැනිදා ගම්පහ 'නිවහන' ශාලාවට හෝ අගෝස්තු 11 වැනිදා ගාල්ල වයි. එම්. බී. ඒ. ශාලාවට හෝ සැප්තැම්බර් 01 සහ 02 වැනිදා බත්තරමුල්ල අපේගම සම පරිශ්‍රයට පැමිණෙන ලෙස සහන් රන්වල ආරාධනා කොට සිටියි. මේ පිළිබඳ වැඩි විස්තර 0729333666 අංකයෙන් ලබාගත හැකිය.


චන්ද්‍රා තලගලගේ ප්‍රසංගය 22 දා

ගායන ශිල්පී චන්ද්‍රා තලගලගේ ගීත රැගත් සංගීතමය ප්‍රසංගයක් මෙම මස 22 වැනිදා සවස 6.30 ට නුගේගොඩ ජුබිලි කණුවේ රෆෙල්ලා උත්සව ශාලාවේදී පැවැත්වේ. එහිදී අම්මා නමින් සංයුක්ත තැටියක් ද එළිදැක්වෙනු ඇත. මේ අවස්ථාව සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගිවීමට නියමිතය. වසර විසි පහකට වඩා කාලයක් ගුරු වෘත්තියේ නියැළුන චන්ද්‍රා කීර්ති පැස්කුවල්ගේ සංගීත ආයතනයේ ශිෂ්‍යාවකි. ඇගේ පළමු සංයුක්ත තැටිය සයුනි නමින් 2014 වසරේදී එළි දැක්විණි. ඉන් ලැබුණු ආදායම් ඇය විසින් සමාජ සුභසාධනයට යෙදවීම විශේෂත්වයකි.


ආරෝෂගේ මව සහ පියා 50 සමරයි

එම්.පී.අයි. මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයකු වන චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ මව්පියන්ගේ 50 වෙනි විවාහ සංවත්සරය පසුගිය දා සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා ජනපි‍්‍රය කලාකරුවන් රැසක් සහභාගි විය. මේ 50 වෙනි සංවත්සරය සමරමින් ආරෝෂගේ මවුපියන් කේක් කැපු අයුරුයි.