වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඉවත හෙළයි ශෝක සුසුම් දෙලොවක් අතර

ඉවත හෙළයි ශෝක සුසුම් දෙලොවක් අතර

මේ සෙනසුරාදා සවස 4.30ට සරසවිය සිනමා උලෙළ වෙනුවෙන් මහනුවර රීගල් සිනමාහලේ දී දෙලොවක් අතර චිත්‍රපටය ප්‍රදර්ශනය වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන ලද ගම්පෙරළිය චිත්‍රපටය නිපදවන ලද්දේ ඇන්ටන් වික්‍රමසිංහ වුව එයට සුමිත්‍රා පීරිස් (එවකට ගුණවර්ධන ) ද ලොකු මුදලක් යෙදවූවාය. ඒ සදහා ඇය මුදල් සොයා ගත්තේ සිය පිය උරුමයෙක් ලැබුණු අවිස්සාවේල්ල නගරයට ආසන්න ඉඩමක් ඉක්මනින් විකුණා දමමිනි. අද රුපියල් කෝට් ගණනක් වටිනා මේ ඉඩම ඇය විකුණා දැම්මේ ඉක්මනින් බැවින් එයට ලැබුණු මුදල එදා මිම්මෙන් වුව ඉහල ගණනක් නොවේ. එමෙන්ම ගම් පෙරළිය තිර ගත වූ මුල් වටයේ එය සැළකිය යුතු ආදායමක් ඉපැයීමට සමත් වුයේ ද නැත. එය වඩා අවධානයට පාත්‍රවන්නට ගත්තේ මුල්ම සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත් පසුවය. එය අනතුරුව ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස රණ මයුර සම්මානය දිනාගනී.

කලා කෘතියක් ලෙස එහි අගය තවත් ඉහළ දැමිණ. මේ හේතුව නිසාම ගම් පෙරළිය නිපද වූ සිනේ ලංකා සමාගම තවත් චිත්‍රපටයක් තනන්නට තීරණය කළේය. මේ අවදියේ අලුත් චිත්‍රපටයක් තනන්නට තිර නාටකයක් අතැතිව තවත් තරුණ නිෂ්පාදකයෙකු ගම්පහ සිට ලෙස්ටර් සොයා ආව ද සිනේ ලංකා ගිවිසුම් අනුව වෙනත් සමාගම් සදහා චිත්‍රපට තනන්නට ඔවුන්ට නොහැකි විය. එබැවින් එම චිත්‍රපටය තැනීම ආචාර්ය ලෙස්ටර් විසින් ඒ වන විට චිත්‍රපටයක් තැනීමේ අවශ්‍යතාවෙන් පසුවූ තරුණ සිනමා නළුවකු වන ගාමිණී ෆොන්සේකාට පැවරුවේය.

ගම්පහ සිට ආචාර්ය ලෙස්ටර් සොයා ආ චිත්‍ර බාලසූරියට ඒ සඳහා කදිම තරුණ සිනමාකරුවෙකු සොයා දුන් ලෙස්ටර් සිය සිව් වන වෘත්තාන්ත චිත්‍රපටය ද සිනෙ ලංකා සමග නිර්මාණය කළේය. එය එතෙක් ඔහුගේ සමස්ත සිනමා නිර්මාණයන්ට වඩා වෙනස්ය.සැබැවින්ම ආචාර්ය ලෙස්ටර් තමා උපන් හැදුණු වැඩුණු සමාජ පරිසරය සහ මිනිසුන් පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සැරසෙන්නේ දෙලොවක් අතරිනි.චිත්‍ර බාලසූරිය ලෙස්ටර් සොයා දුන් ගාමිණි ෆොන්සේකා ගේ අධ්‍යක්ෂණයෙන් පරසතු මල් නිර්මාණය කළේය.

1967 වසරේ හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දිනා ගත්තේය.එයට අමතරව හොදම කැමරා අධ්‍යක්ෂට හිමි සම්මානය විලි බ්ලේක් ද සංස්කරණයට හිමි සම්මානය සුමිත්‍රා පීරිස් ද දිනා ගත් අතර එහි නිශ්ශංක ගේ චරිතය වෙනුවෙන් ටෝනිරණසිංහ කුසලතා සම්මානයක් දිනා ගත්තේය. සරසවිය සම්මාන ඉතිහාසයේ එම වකවානුවේ හොඳම නළුවාට හිමි සම්මානය සඳහා අතිශය තියුණු තරගයක් පවතින්නට ඇත්තේ 1967 වසර සඳහා විය යුතුය.

එයට හේතුව නම් පරසතු මල් චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා බොනී මහත්තයා ලෙස කළ චරිත නිරූපණයත් දෙලොවක් අතර චිත්‍රපටයේ ටෝනි රණසිංහ නිශ්ශංක විජේසිංහ ලෙස කළ චරිත නිරූපණයත් එදා මෙදා සිංහල සිනමාවේ විශිෂ්ටතම චරිත නිරූපනයක් බැව් ඉඳුරා කිව හැකි නිසාය.පරසතු මල් එවර හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත් අතර එයට අමතරව කලා අධ්‍යක්ෂණය (හේමපාල ධර්මසේන) ගායිකාව(සුජාතා අත්තනායක-පරසතු මල්) තිර රචක(පී.කේ.ඩී.සෙනෙවිරත්න) ද යක අංග උදෙසා එම චිත්‍රපටය මගින් සම්මාන දිනා ගත්තේය

ගම් පෙරළිය චිත්‍රපටයෙන් පසු ආචාර්ය ලෙස්ටර් ගේ අදහස වූයේ එයට පාදක වූ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඇදුතු නවකතාවේ සෙසු කෘතින් චිත්‍රපටයට නැගීම වුව සිනෙ ලංකා සභාපති ඇන්ටන් වික්‍රමසිංහ එයට විරුද්ධ වූයේය. අලුත් දෙයක් කළ යුතුයැයි වික්‍රමසිංහ පැවසුවේය. ආචාර්ය ලෙස්ටර් ගේ සිතේ කතාවක් තිබිණ.

ඇත්තටම එය කතාවක් නොවිය. සිදුවීමක් පමණකි.සියල්ල ගොඩ නැඟෙනුයේ සිද්ධි දාමයක් වටාය. එක් වැහි බර අඳුරු දවසක තරුණයෙකු නොසිතූ විරූ ගැටලුවකට මුහුණ දෙයි.ඒ වනතෙක් ඔහුගේ මුළු ජීවිතයම කිසිදු ගැටළුවකින් තොරව ගමන් කරයි. ඉහළ පවුලක උපත ලැබ හොඳීන් අධ්‍යාපනය ලැබ සරසවියෙන් පිටත් වූ පසු සිය පියාගේ ව්‍යාපාර ගොන්නෙහි පරිපාලකයෙකු වන නිශ්ශංක විජේසිංහට ජිවිත ගැටලුවක් ඇති වන්නේ සාදයකදීය. ඔහුට එයට තනියම යන්නට සිදුවනුයේ තම විවාහ ගිවිස ගත් යුවතියගේ සම්ප්‍රදායික වැඩිහිටියන් විවාහයට පෙර එබඳු ගමන් ප්‍රතික්ෂප කරන නිසාවෙනි.

මෙම සාදය අවසානයේ තම පැරණි විශ්වවිද්‍යාල හිතවතියක් ඇරලවීමට යන ගමන නිශ්ශංකගේ ජීවිතය සහමුලින් වෙනස් කිරිමට සමත්වෙයි. මිනිස් ජීවිතවල ඉරණම කිසි විටෙකත් මේ ආකාරයෙන් ලියා ඇතැයි කියන්නට බොහෝ දෙනෙකුට නොහැකිය.නිශ්ශංකට වුව එහි වෙනසක් නැත.ඔහු සිය හෘද සාක්ෂිය හා ජීවිතය පිළිබද අරගලයක යෙදෙන්නේ එයින් පසුවය.

දෙලොවක් අතර චිත්‍රපටය පිළිබඳ මූලික සංකල්පනාව තමන්ට පහළවූයේ ස්පාඤ්ඤ් සිනමාකරු ජුවාන් අන්තොනියෝ බාර්ඩම් 1955 වසරේ නිර්මාණය කළ ඩෙත් ඔෆ් ද සයික්ලිස්ට් චිත්‍රපටයේ අත්දැකීම් හරහා බව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පවසා සිටි කරුණකි. එයට පාදක වනුයේ මහාචාර්යවරයෙකු හා සමාජවාදි අදහස් දැරූ ගෘහණියක් මෝටර්රථයකින් එන අතරතුර හදිසියේ පාපැදිකරුවෙකු මරණයට ලක්වීමය. මේ අනතුර සිදුවීමෙන් පසු ඔවුන් එතැනින් පළා යන්නේ තුවාලකරු මරණයට පත් වන්නට ඉඩ දෙමිනි. එය සමාජ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වන්නේ මාධ්‍ය එහි පසුපස හඹා යාමත් සමගය.

ආචාර්ය ලෙස්ටර් සිය දෙලොවක් අතර චිත්‍රපටයේ ඉන් එහා මානයට යන්නේ එය මිනිස් සිත පිළිබද කදිම විවරණයක යෙදෙමිනි. එයටත් වඩා වංචාකාරි ලෙස සමාජය වෙළාගත් කුල සිරිත් හා සම්ප්‍රදායන් සියුම් ව විග්‍රහ කිරීමට ද ආචාර්ය ලෙස්ටර් සිය දෙලොවක් අතර හරහා ඉඩ කඩ සලසා ගනියි. ඒ වන විට ආචාර්ය ලෙස්ටර් නිර්මාණය කරන ලද චිත්‍රපට ත්‍රිත්වයට වඩා වෙනස් තමා දන්නා සමාජ යට එබිකම් කරවන ඔහු එකවර සමාජ ගවේෂකයෙකු ලෙසත් ඇතුළු හද ගැබ නිරාවරණය කරන්නෙකුගේ ඉතා සියුම් සැත්කමත් එකවර සිදු කරන්නට සමත් වෙයි.

ඒ වන විට ලාංකික සිනමාවට සින්න වූ මුල මැද අග සහිත කතාවක් නොවිණ. එහෙත් මේ සිදුවීම වටා ඉතා සියුම්ව වියන ලද තිර නාටකයක් තිබිණ.එහි තිර රචනයට ති දෙනෙක් දායක විය.ඒ රෙජී සිරිවර්ධන. ගාමිණී ගුණවර්ධන.හා ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. රෙජී සිරිවර්ධන එයට පෙර ගම් පෙරළිය චිත්‍රපටයේ තිර රචකයා විය. ගාමිණි ගුණවර්ධන සුමිත්‍රා පීරිස් මහත්මියගේ සොහොයුරාය. එමෙන්ම ඔහු ප්‍රකට මාක්ස්වාදියකු විය. තිස්ස අබේසේකරයන් දෙලොවක් අතර චිත්‍රපටයට දායක වනුයේ එහි දෙබස් රචකයා හැටියටය.ඔහු එහි සහාය අධ්‍යක්ෂවරයා ද වෙයි.

එමෙන්ම දෙලොවක් අතර චිත්‍රපටය රේඛාව සමඟ ගොඩ නැඟුණ ලෙස්ටර්, ටයිටස් තොටවත්ත, විලී බ්ලේක් තුන් සගයන් ගෙන් අතරින් ටයිටස් තොවත්තයන් ගෙන් වෙන්ව මුල් වරට සංස්කරණය කරනු ලබන චිත්‍රපටය ද දෙලොවක් අතර ය. මෙහි සම්පූර්ණ සංස්කරණය සුමිත්‍රා පිරිස් සතුවිය.

එහි නිශ්ශංකගේ චරිතය සදහා ආචාර්ය ලෙස්ටර් ගේ මුල්ම තේරිම වූයේ ටෝනි රණසිංහය.ඒ වන විට ටෝනි කිසිදු චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑ නළුවකු නොවීය. රජයේ ලඝු ලේඛකයකු ලෙස සේවය කරමින් සිටි ටෝනි රණසිංහ ආචාර්ය ලෙස්ටර් ගේ වචනයෙන්ම කිව හොත් නව මාදිලියක නූතන කතානායකයෙකු විය. ඒ වන විට ඔහු තරම් තඩවසම් නළුවකු සිනමාවට නොවුණ තරම්ය. එයට පෙර ටෝනි ගම්පෙරළියේ බලදාසගේ චරිතය රඟපෑවේය.

එහෙත් මේහා බාරධුර චරිතයක් ටෝනි රණසිංහ වෙත ලබා දීම තුළ සිනමාකරුවකු ගේ විශිෂ්ට මෙහෙයවීම පැහැදිලි කරන්නකි.එහි නිශ්ශංකගේ සැබෑ චරිතය ඉස්මතු කරවන යුවතියගේ චරිතය එනම් චිත්‍රා හරහා සුවිනිතා වීරසිංහ නම් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය එමගින් ලාංකික සිනමාවේ විශිෂ්ටතම නිළිගොන්නට එක්වූවාය. ඒ වන විට ඇය ජනප්‍රිය නිළියක වුව ද එතෙක් ඇය රගපෑ සියලු චිත්‍රපට ඉන්දියානු සිනමාව හරහා අපට ලැබුණු චිත්‍රපට විය. එහි සුවිනිතා රඟපෑ චරිතය සදහා මුලින් තෝරා ගත්තේ අනුලා කරුණාතිලකය.

ඒ වන විට අනුලා ද ටෝනි මෙන්ම ගම් පෙරළිය චිත්‍රපටයේ ලයිසා ගේ චරිතය රගපා තිබිණ. අනතුරුව එම චරිතය සදහා තෝරා ගත් නිළිය පසු කලක විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ජයන්ත ධනපාල මහතාගේ භාර්යාව යි. ඇය ඒ වන විට වේදිකා රංගන ශිල්පිනියක වූවාය.

එහෙත් ආචාර්ය ලෙස්ටර්ගේ තෙවෙනි තේරිම වන සුවිනිතා විරසිංහ එම චරිතයට නියමිත සත්කාරය අන් කිසිවෙකුට හෝ අඩුවක් කියන්නට නොහැකි අන්දමින් ඉටු කළාය.එපමනක් නොව චිත්‍රපටයේ සෙසු චරිත සදහා දායක වූ අයිරාංගනී සේරසිංහ, ජේ.බී.එල්.ගුණසේකර, වින්සන්ට් සේරසිංහ, ජීවරානි කුරුකුලසූරිය, විජේරත්න වරකාගොඩ, සෝමපාල ධර්මප්‍රිය, නවනන්දන විජේසිංහ ඇතුළු සියලු දෙනා එහි සිය සිනමා දිවියේ විශිෂ්ට රංගනය ඉදිරිපත් කළහ.

දෙලොවක් අතර සඳහා සංගීතය පණ්ඩිත් අමරදේවගෙනි. එහි එක් අවස්ථාවක අමරදේව සංගීතයට වාදනය කරන ලද්දේ කලම්බු සිම්පනි ඔකෙස්ට්‍රාව මගිනි. එය බටහිර සංගිත වාදක මණ්ඩලයක් මගින් පෙරදිග තනුවක් සමස්ත චිත්‍රපටය පුරා වාදනය කළ අවස්ථාවක් විය. එමෙන්ම ඒ ව න විට කණ්ඩායම් සංගීතයේ අතිශය ජනප්‍රිය නෙවිල් ප්‍රනාන්දු, ලොස් කැබිලරෝස් කණ්ඩායම සමග ගයන ගැයුම් ගීතය ගායනා කරන ලදී.මේ ගීතය රචනා කරන ලද්දේ මහගම සේකර විසිනි. එමෙන්ම කණ්ඩායම් ගීතයක් සිංහල චිත්‍රපටයකට ඇතුළත් වූ මුල්ම අවස්ථාව ද එය වෙයි.

දෙලොවක් අතර චිත්‍රපටය සිනමා විචාරකයන්ගේ තියුණු මතවාද වලට ලක්වූවක්වීම විශේෂයකි. එහි අන්තර්ගතය පිළිබද ඇතැම් විචාරකයන් දැඩි මත අරගලයක යෙදුණද ඒ සියලුදෙනාගේ එකඟතාවක් පළ වූ වැදගත්ම කාරණය නම් එතෙක් ආචාර්ය ලෙස්ටර් භාවිතා කළ වඩාත්ම සිනමාලංකරණය එහිලා උපයෝගි කර ගත් බවය.

එහි දී ඔහු තමා දන්නා හදුනන චරිත හා සිදුවීම් ගවේශනයේ යෙදෙන්නේ එතෙක් තමා අසා පුරුදු පරිසරයට යොමු නොවිමෙන් නොව තමා ජීවත් වූ පරිසරයේ මිනිසුන්ගේ සමාජ අනුභුතින් හා අක්මුල් සොයා යෑමේ හැකියාව ඔහු සතු වීම විශේෂයකි. එමෙන්ම ඔහු ගේ සිනමාවේ වඩාත් කැපී පෙනෙන ලකුණක් වු මිනිසුන්ගේ අභ්‍යන්තරය නිරාවරණය මුල් වරට කරනුයේ දෙලොවක් අතර හරහාය. එමෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපට අතරින් පසුකලක බිහි වූ බොහෝ සිනමාකරුවන්ට පූර්වාදර්ශය සැපයුවේ දෙලොවක් අතර චිත්‍රපටයෙනි.

කෙසේ වෙතත් මා විශ්වාස කරන අන්දමට දෙලොවක් අතර චිත්‍රපටය පිළිබද හොඳම විචාරය ලියැවුණේ එහි සමකාලින විචාරකයන් අතින් නොව පසුකාලිනව ගාමිණි වේරගම අතිනි. එහි දී ඔහු නිශ්ශංකගේ චරිතයේ ස්වභාවය මනාව විග්‍රහ කරයි.එහි එන අනතුර නිශ්ශංකගේ පැලැන්තිය අනුව මුදල් වියදම් කර වසා දැමිය හැකිය.

එහෙත් තරුණයකුගේ හෘද සාක්ෂිය එලෙස රැවැටිය නොහැක. ධන බලයටත් වඩා පරම්පරා බලයට ගෞරව කරන නිශ්ශංකට එය වඩා අසීරුය. පිටතින් දැඩි මිනිසකු වුව ද තම සේවකයා පිළිබඳ හැසිරීම්වලදී එය මනාව ඉස්මතු වෙයි. ඇතුළාන්තයෙන් අවංක නිසා ඔහුට හෘද සාක්ෂියට අවනත වන්නට සිදු වෙයි. සැබැවින්ම චිත්‍රා යනු නිශ්ශංකගේ හෘද සාක්ෂියයි.

මිනිස් ස්වභාවය සොයා යෑම යහපත් සිනමාකරුවන් ගේ ගති ලක්ෂණයකි. මිනිස් සිත කිඳා යෑම විශිෂ්ට සිනමාකරුවන්ගේ වැදගත්ම ගති ලක්ෂණයකි. 1966 වසරේ තිර ගතත වීම ඇරඹු දැනට අවුරුදු පනස් දෙකක් පැරණි නමුදු තවමත් නරඹද්දී අලුත් අර්ථකථන සැපයීමේ හැකියාවක් දෙලොවක් අතරට ඇත්තේ ඒ අති විශිෂ්ට ගුණාංගය නිසාය.