වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




අපෙන් සමුගත් ස්ටැන්ලි

අපෙන් සමුගත් ස්ටැන්ලි

ටවර්හෝල් රංගන ශිල්පී ස්ටැන්ලි ද සිල්වා අභාවප්‍රාප්ත විය. මිය යනවිට වයස අවුරුදු 84 ක් වූ ඔහු දෙදරු පියෙකි. 1934 මැයි 23 උපත ලද ස්ටැන්ලි ටවර්හෝල් යුගයේ කිරුළු නොපළන් 'නළු රජා' ලෙස කීර්තියටපත් නල්ලහන්දි රොමියුලස් ද සිල්වා ගේ දෙවැනි පුතාය.

මීගමුව හරිස්චන්ද විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ස්ටැන්ලි පාසල් වියේදීම කලා කුසලතාවයන් ප්‍රකට කළේය.

1960 එස්. ඩී. ස්ටීවන් සිල්වා නැවත නිෂ්පාදනය කළ චාල්ස් ඩයස් ශූරීන්ගේ 'සිවම්මා ධනපාල' නාට්‍යයේ 'සාලිය කුමරු' ගේ චරිත රංගනයෙන් හේ වේදිකාවට ප්‍රවිෂ්ට විය. 1952 දී මාතර බ්‍රෝඩ්වේහිදී රඟදැක්වූ 'සිවම්මා ධනපාල' දර්ශනයේ දී 'තිස්ස කුමරු' ගේ භූමිකාවට ජීවය දුනි. 1960 න් පසු එළඹෙන දශකය තුළ ස්ටැන්ලි චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක විය. 1966 එල්. එම්. පෙරේරාගේ 'හතර කේන්දරය', 1968 ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'අක්කර පහ' (මානෙල් හාමිගේ චරිතය) කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ 'ඉහත ආත්මය', 'වාසනා', 'ලක්සෙට කොඩිය', 'දැවෙන පිපාසය', 'සීයේ නෝට්ටුව', 'ලොකුම හිනාව' , 'වතුර කරත්තය', 'දුර්ගා' මෙන්ම 'සහරාවේ සිහිනය', 'වනරාජා', 'ද්‍රෝහියා හෙවත් රණදෙරණ' ඉන් කිහිපයකි. ස්ටැන්ලි ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියානු නිෂ්පාදනයක් වූ ඩෙනිස් වෑන්ස්ගේ අධ්‍යක්ෂණයක් මෙන්ම සී/ස පෝර්ට්මන් ප්‍රොඩක්ෂන් අධිපති ජේම්ස් ගැට්වඩ් නිෂ්පාදනය කළ ඡ්තඥනඩචදබ ඡධර (එලිෆන්ට් බෝයි නම් චිත්‍රපටියේ 'චන්ද්‍රා' නමැති ඇත්ගොව්වාගේ චරිතයටද පණ පෙවීය.

1969 දී 'සිරි සඟබෝ' සහ 'සිවම්මා ධනපාල' යන නාට්‍ය සංවිධානය කළ අතර, 1970 'ශ්‍රී වික්‍රම් නාට්‍යයද නිෂ්පාදනය කළේය.

ඉන්පසු ස්ටැන්ලි සිල්වා නැවත නිෂ්පාදනය කළේ නීතිඥ චාල්ස් ඩයස් ශූරීන්ගේ 'විධුර' නාට්‍යයයි. එහි අධ්‍යක්ෂණ කටයුතු සිදුකරන ලද්දේ රොම්ලස් මාස්ටර් විසිනි.

1973 දෙසැ. 03 දින 'විධුර' ප්‍රථම දර්ශනය පවත්වන ලද්දේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සහ රජයේ සෙසු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි. දෙසැ. 04 වෙනි දින දර්ශනය එවක විපක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර අනතුරුව රටපුරා 'විධුර' දර්ශන පවත්වමින් දීර්ඝ සංචාරයක යෙදෙන්නට ස්ටැන්ලි සමත් විය.

2000 වසරේදී වික්ටර් වික්‍රමගේ සහ ජී. එච්. ස්ටැන්ලි පෙරේරා මාස්ටර් එක්ව තැනූ 'නූර්ති ජවනිකා' ප්‍රසංගයේ 'රොඩී කෙල්ල' ජවනිකාවේ අන්ධ රොඩී රියා ලෙස රඟමින් 'කවාලා විලද ජාතී' ගීතය ගායනා කරන ලදී. එහි රොඩී කෙල්ල හෙවත් දියණිය ලෙස රඟපෑවේ රත්නශීලා පෙරේරායි. 'විධුර' නාට්‍යයේ රක්තාක්ෂයාගේ චරිතය වසර ගණනාවක්ම අපූරුවට රඟපෑවේද ස්ටැන්ලි ද සිල්වාය. එය ඔහුගේ නිෂ්පාදනයකි. ෆ්ලොරි දේවි නිර්මාණය කළ නූර්ති ජවනිකා රැගත් ප්‍රසංගයදට රංගන දායකත්වය දුන් ස්ටැන්ලි 2001, 2002 වසරවලදීත් ටවර්හෝල් නාට්‍ය ජවනිකා සහිත ප්‍රසංගයක් නවක සහ පැරණි ශිල්පීන් යොදාගෙන ඉදිරිපත් කළේය.

2000 වසරේදී මැයි 22 දින ස්ටැන්ලි කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවේ එවක සංස්කෘතික කටයුතු හා බුද්ධ ශාසන අමාත්‍ය සිටි ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමන් අතිනි.

ටවර්හෝල් නාට්‍ය සම්ප්‍රදායේ එක් යුගයක් එකළුකළ ස්ටැන්ලි සැබැවින්ම අගය කළ යුතු කලාකරුවෙකි. ඔහුට අපි නිවන්සුව පතමු.