වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මාන අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මාන අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?

අවසාන දිනය මැයි 5

හෙළ සිනමාවේ මහා මංගල්‍ය සරසවිය සිනමා සම්මාන උළෙලේ අධ්‍යක්ෂවරුන්ගේ මුල්ම චිත්‍රපටය උදෙසා පිරිනැමෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සඳහා අයැදුම්පත් භාර ගැනීම එළඹෙන මැයි මස 05 වැනිදායින් අවසන් වේ. ඉකුත් සරසවිය සම්මාන උළෙලේදී හඳුන්වාදුන් එම සුවිශේෂී සම්මානය වෙන්වනුයේ තරුණ සිනමාකරුවකුගේ කුලුඳුල් සිනමාපටයන් වෙනුවෙනි. 2016 ජනවාරි 01 සිට 2017 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයේ සහතිකය ගෙන තිබියයුතු එම සිනමාපටයන් මහජන ප්‍රදර්ශනය සඳහා මෙතෙක් මුදා නොහැරි චිත්‍රපට විය යුතුය. අදාළ චිත්‍රපටයන් එහි සියලු විස්තරයන් (චිත්‍රපටයේ නම, නිෂ්පාදක, අධ්‍යක්ෂ, දුරකතන අංක, චිත්‍රපටයේ ධාවන කාලය, රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලැබූ දිනය) ඇතුළත් කොට අයැදුම්පතක් රැඟුම්පාලක මණ්ඩලයේ සහතිකයේ ඡායාපිටපතක් ද සමඟ කාර්යාල වේලාවන් තුළදී සරසවිය කර්තෘ මණ්ඩලය වෙත ගෙනවිත් බාරදිය හැකිය.

යශෝධරා වෙසක් දිනයට

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තිරරචනා කොට අධ්‍යක්ෂණය කළ බිම්බා දේවි හෙවත් යශෝධරා එළඹෙන වෙසක් දින සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හිි තිරගතවීමට නියමිතය. පල්ලවි සුභාෂ් සහ ඒ.චෞද්රි ප්‍රධාන චරිත මවන එහි කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රියගෙනි. මෙය එච්.ඩී.පේ‍්‍රමසිරි නිෂ්පාදනයකි. රුක්මල් නිරෝෂ් සංස්කරණ ශිල්පීයාය. විමල් දේශප්‍රියගේ සහාය අධ්‍යක්ෂණයකි. ගීත රචනා මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. ගීත ගායනා ආචාර්ය නන්දා මාලිනී, ඩිලාන් කරුණාරත්න, අසංක ධනංජය සහ ඉනෝකා අහංගම විසිනි. චන්දන වික්‍රමසිංහ නර්ථන අධ්‍යක්ෂණයෙන්, බිමල් දුෂ්මන්ත නිෂ්පාදන සැලසුම්කරණය සහ කලා අධ්‍යක්ෂණයෙන්, මමෝහාරි හේවාවසම් නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ප්‍රියන්ත දිසානායක අංග රචනයෙන් බිම්බ දේවි හෙවත් යශෝදරා සිනමා නිර්මාණයට දායක වී සිටියි. තිළිණ හෙට්ටිගමගේ ගේ වස්ත්‍රාභරණ නිර්මාණයකි. නිෂ්පාදන සම්බන්ධිකරණය ඒ. ඩී. රංජිත් කුමාර සහ නිමල් විජේසිරිගෙනි. කුමුදුනි ඩයස්, චන්ද්‍රා හපුතන්ත්‍රි සහ චාන්දි හපුතන්ත්‍රි සිනමාපටයේ සම නිෂ්පාදකවරු වෙති.

මෙවර මොස්කව් උළෙලේ ශ්‍රී ලාංකික චිත්‍රපට රැව්දේ

අද සිට මෙම මස 26 දක්වා මොස්කව් නුවර පැවැත්වෙන 40 වැනි මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලකදී මෙරට සිනමාව පිළිබඳ සුවිශේෂි අවධානයක් යොමුකොට තිබේ. ඒ අනුව 2016 - 2018 අතර කාලය තුළ නිෂ්පාදනය වුණු චිත්‍රපට 05 ක් උළෙල සඳහා තෝරාගෙන ඇත. ඔවුන් මෙම තීරණයට එළඹුණේ ඉකුත් වසරේ ව්ලැඩ්මොස්ටොක් ආසියා - පැසිෆික් සිනමා උළෙලට නෙට්පැක් ජූරියේ සභාපතිවරු වශයෙන් සහභාගි වූ ඈෂ්ලි රත්නවිභූෂණ සහ මොස්කව් සිනමා උළෙලේ අධ්‍යක්ෂවරයා වූ කිරිල් රස්ලොගොව් අතර පැවැත්වුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙනි. මෙවර මොස්කව් උළෙලට තෝරාගන්නා චිත්‍රපට වනුයේ සුමිත්‍රා පීරිස්ගේ වෛෂ්නාවි, අශෝක හඳගමගේ ඇගේ ඇස අග, අනුරුද්ධ ජයසිංහගේ එක දවසක අපි, උපාලි ගම්ලත්ගේ ගුරු ගීතය සහ මාලක දේවප්‍රියගේ බහුචිතවාදියායි.

නෙට්පැක් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සහ ජූරි සම්බන්ධීකාරකවරයා වන ඈෂ්ලි රත්නවිභූෂණ විසින් මොස්කව් සිනමා උළෙලේ නෙට්පැක් ජූරියේ සභාපතතිවරයා වශයෙන් අශෝක හඳගම පත්කරන ලදී.

ඩොක්ටර් නවරියන් තැටියට

වසරේ ජනප්‍රියම නළු රන්ජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන් සිනමාපටයේ ඩී. වී. ඩී. තැටිය මේ වන විට නිකුත් වී තිබේ. එය වාර්තාගත අන්දමින් අලෙවිවන බව රන්ජන් සරසවිය හා පැවසීය. ඩොක්ටර් නවරියන් ඩී. වී. ඩී. තැටිය නිම්සර බෙදාහැරීමකි.