වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජපන් චිත්‍රපට උලෙළක් BMICH හිදී

ජපන් චිත්‍රපට උලෙළක් BMICH හිදී

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අප්‍රේල් 21 - 22 - 23 යන දිනයන් හිදී ජපන් එක්ස්පෝ ශ්‍රී ලංකා ජාත්‍යන්තර ප්‍රදර්ශනය පැවැත්වේ. සම්මානයට පාත්‍ර වූ ජපන් චිත්‍රපට උලෙළක් හා ජපානයට ආවේණික වූ විවිධ කලා ශිල්ප, සටන් කලාව ඇතුළුව සංස්කෘතික අංගයන් රැසක් එහිදී විඳ ගැනීමට අවස්ථාව උදා වී ඇත. අප්‍රේල් 21 ප. ව. 12.15 ට සම්ප්‍රදායික සමුරායි සටන් ශිිල්පය පිළිබඳ නිපද වූ ටොතොකි කන්සුහිදේ අධ්‍යක්ෂණය කළ 'සමුරායි හස්ල් රිටර්න්ස්' චිත්‍රපටය තිරගත වන අතර ප. ව. 6.00 ට මසහාරු අධ්‍යක්ෂණය කළ 'හන්ඩ්රඩ් යෙන් ලව්' සිනමාපටය ද තිරගත කරනු ඇත. අප්‍රේල් 22 ප. ව. 12.00 ට නකානෝ රියෝනා අධ්‍යක්ෂණය කළ 'හර් ලව් බොයිල්ස් බාත් වෝටර්' ද ප. ව. 6.00 ට කතබුෂි හැනැවෝගේ 'ඉන් දිස් කෝනර් ඔෆ් ද වර්ල්ඩ්' සජීවිකරණ සිනමාපටය ද තිරගත වන අතර එය සිංහල බසින් හඬ මුසු කර ඇත.

අප්‍රේල් 23 ප. ව. 12.15 සිට ප. ව. 2.15 දක්වා දින දෙක තුළ ප්‍රදර්ශනය කළ චිත්‍රපට අතර හොඳම චිත්‍රපටය වෙනුවෙන් සම්මාන පිරිනැමීමක් සිදු කරනු ලබයි. එහි විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරනු ලබන්නේ මහාචාර්ය පැට්‍රික් රත්නායක, ආචාර්ය රාඝවන්, ප්‍රවීණ කැමරා ශිල්පී එම්. ඩී. මහින්දපාල, සිනමාවේදී, විචාර අජිත් ගලප්පත්ති, සිනමාවේදී විමුක්ති ජයසුන්දර, මාධ්‍යවේදී ගුණසිරි සිල්වා, නිමල් ඒකනායක යන මහත්වරුන්ය.

මෙයට සමගාමීව ජපානයේ ඩිජිටල් තාක්ෂණය පිළිබඳ නවතම අත්දැකීම් ලබා දෙන ඩිජිටල් වීඩියෝ තාක්ෂණ තැටියක් ද 23 වැනි දින පෙ. ව. 10.00 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී බී පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ජපන් ශ්‍රී ලංකා නිපොන් සංවිධානය සහ නිපොන් ජාත්‍යන්තර සමාගමයි.


හොඳම නිළිය ජනපති හමුවෙයි

ලොස්ඇන්ජලීස් නුවර ඉකුත්දා පැවැති ඒෂියන් වර්ල්ඩ් ෆිල්ම් සිනමා උළෙලේ හොඳම නිළිය ලෙසට සම්මාන දිනූ අනෝමා ජනාදරී එම සම්මානය සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. මෙම විශේෂ අවස්ථාව සඳහා අනෝමාගේ පුතු ත්‍රිශුල් මහිම සහ මායා ශක්ති රංග ශිල්ප ශාලිකාවේ සභාපති ධර්මජිත් පුනර්ජීව සහභාගි වූහ.


එඩ්වඩ් ආලකමන්දාවට ගොඩබසී

විශාරද එඩ්වඩ් ජයකොඩි ජීවන සම්ප්‍රදානය පිළිබඳ රසබර තොරතුරු සෞන්දර්යාත්මකව ඉදිරිපත් කෙරෙන ආලකමන්දාව, අප්‍රේල් 24 වැනි අඟහරුවාදා රාත්‍රී 10.30 ට ජාතික නාලිකාව ඔස්සේ විකාශය වේ. විද්වතුන්, රසවතුන් එඩ්වඩ්ගේ සෞන්දර්ය චාරිකාව ගැන පලකළ අදහස් සමගින් ජනප්‍රිය ගීත රැසක්ද මෙහිදී ඉදිරිපත් වේ. ආලකමන්දාවේ රූපවාහිනි රචනය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගෙනි. එය විනීතා කරුණාරත්නගේ අධ්‍යක්ෂණයකි.


සිහිනයකි රෑ’යට මහාචාර්ය නන්ද ධර්මරත්න ගායනයෙන් හිරුෂි ජයසේන

22 වැනි ඉරිදා රාත්‍රි 10.00ට ජාතික රූපවාහිනිය තුළින් විකාශය වන සිහිනයකි රෑ වැඩසටහනින් හිරුෂි ජයසේන ගීත ගායනා කරන අතර ගීත තෝරන්නේ මහාචාර්ය නන්ද ධර්මරත්නයි. සංගීතය අජිත් ජයවීර මෙහෙයවන අතර මෙය ඉදිරිපත් කරන්නේ මහේෂ් නිශ්ශංක විසිනි.


2004 වසරේ වලාපටල සිනමාපටයට හොඳම අධ්‍යක්ෂණය උදෙසා සරසවිය සම්මානයෙන් පිදුම් ලත් විජිත ගුණරත්නගේ අමාවක සිනමා සිත්තමේ මාධ්‍ය දර්ශනය පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. පාලිත රත්නසිරි, හිරු ගුණරත්න, නෙළුම් ගුණරත්න සම නිෂ්පාදනයකි. ශ්‍යාම් ප්‍රනාන්දු, සුරංගා රණවක, දුලීකා මාරපන, සරත් සමරදිවාකර, උපතිස්ස බාලසූරිය, මංගල ප්‍රනාන්දු, ජගත් චන්ද්‍රසිරි, ශ්‍රියානි කෞෂල්‍යා, රෝයි නිශාන්ත ප්‍රනාන්දු, චමරූ පතිරණ, ජූඩ් විශ්වජිත්, නිහාල් සුරංග, දිලිප් වික්‍රමනායක, අසංක නීලවතුර, ජයන්ත අබේරත්න, තිලිණ ජයතුංග, මොහොමඩ් ඇඩම් ඇඩම්ස් චරිත නිරූපණය කරයි.

දිළුම් නදීශා, තිසුරි කාවින්ධ්‍යා වෑත්තෑව, නමිදු හංසන, ජනුජ ගුණරත්න, සෙනුරි උමේෂා ළමා චරිත මවන්මෝය. ධනුෂ්ක ගුණතිලක කැමරා අධ්‍යක්ෂණයෙන් ද, සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේගෙන් ද, සංගීත අධ්‍යක්ෂණය තරුපති මුණසිංහගෙන් ද, ලාල් හරින්ද්‍රනාත් කලා අධ්‍යක්ෂණයෙන් ද, ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි ද මෙයට සම්මාදම් වී ඇත.