වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




පුදුම මතක

පුදුම මතක

මේ කියන්නට සූදානම් වන සිදුවීම වුණේ වෛෂ්ණාවි සිනමාපටයේ මංගල දර්ශනය දවසේ. අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එයට සහභාගිවන්නට කලා ලොවේ සහෘදයින් බොහෝ පිරිසක් පැමිණ හිටියා. ලකී ඩයස් ද ඒ අතරින් කෙනෙක්. ලෙස්ටර් සුමිත්‍රා යුවලට ළෙංගතු ඔහු ඔවුන්ගේ බොහෝ වැදගත් අවස්ථාවල දැකිය හැකි අයකු වනවා. ලකී තම මිත්‍රයින් සමඟ ආගිය තොරතුරු කතා කරමින් සිටියදී කෙනෙකු ඔහුව දැක ළඟට ආවා.

හලෝ ලකී කොහොමද?

ලකි එකවරම හැරුණා. තමන්ට වඩා වයසින් මුහුකුරා ගිය කෙනෙක්. ලකී මඳ වෙලාවක් අමුත්තා දෙස බලාගෙන හිටියා.

ගැස්ටන්ද රොසයිරෝ . . . මං හරි නේද?

ලකී තමන්ගේ සම්පූර්ණ නම එහෙම කියද්දී ආගන්තුකයට හරිම සතුටුයි. මොකද මේ ඔහුට ලකීව හමු වන්නේ අවුරුදු තිහකින් පමණ නිසා.

ලකීට කොච්චර නම් අතීතය මතකද?

ගැස්ටන්ට එහෙම හිතුණා. දශක හතරකට පමණ එපිට සන්ඩේ ඔබ්සවර් පුවත්පත කියවපු කෙනෙකුට ගැස්ටන්ගේ නම හොඳට මතකයි. ඔහු එම පත්‍රයේ විශේෂාංග කර්තෘවරයකු ලෙසට සිට පසුව කර්තෘවරයකු වුණා. ඔහු තමයි ලකී ගැන මුලින්ම පත්තරයකට ලියන්නේ. ඒ ලකී ඩයස් නමැති නළුවා ගැන නෙවෙයි එනමින් සිටි සංගීත ශිල්පියා ගැනයි ගැස්ටර් ඔබ්සර්වර් පත්‍රයේ ලිව්වෙ. එතකොට ලකී නළුවෙක් වෙන්න හිතලාවත් නැහැ. තමන් ගැන මුල්ම යුගයේ ලියපු ගැස්ටන්ව ලකී හොඳින් මතක තිබුණා. ඒ ඔහුට මුල මතක නිසා. මේ අතර තවත් සිදුවීමක් වුණා. ඒකත් මෙතනටම සටහන් කළොත් හොඳයි කියලා හිතුණා. වෛෂ්ණාවි හරියට රිලීස් වුණේ ලෙස්ටර් මහත්තයාගේ උපන් දිනය දවසේ.

මේ දිනයේ එනම් අපේ‍්‍රල් 05 වැනිදා සෑම වසරකම ලකී ලෙස්ටර් මහත්තගේ ගෙදර යනවා. ඒ එතුමාණන්ට සුබ පතන්න. මෙවර ඒ දේ නොකළොත් හිතට හරි නැති නිසාත් චිත්‍රපටය ආයේ දවසක බලන්න පුළුවන් නිසාත් ලකී ගියා ලෙස්ටර් මහත්තයගේ ගෙදර. එතුමාණන් ඇඳේ වැතිරිලා විවේක ගන්නවලු. ලකී ලෙස්ටර් මහත්තයගෙ ළඟට ගිහිල්ල 'සර් මං ලකී' කිව්වලු. පළමු සැරේ නෙවෙයි දෙවැනි සැරයේදී ලෙස්ටර් මහත්තයා ලකීගේ හඬට අවදි වෙලා ඔහුව හඳුන ගත්තු ගමන් ඇහැව්වලු 'ලකී මොකද මෙහෙ කරන්නේ, රීගල් එකට ගියේ නැත් ද' කියලා. එතුමාන්ගේ මතකය ගැන පුදුම හිතුණු ලකී කිව්වලු මං එතැන ඉඳලා ආවේ කියලා. පසුව එතුමාණන්ට සුභ පතලා ගෝඩ් බ්ලෙස් සර් කියද්දී ලෙස්ටර් මහත්මයා කිව්වලු 'ගෝඩ් බ්ලෙස් ලකී' කියලා. එතුමාණන්ගේ මතක ශක්තියට පුදුම හිතුණු ලකී එදා ලෙස්ටර් මහත්තයාට දීර්ඝායු පතලා එතැනින් ආවාලු.