වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




හේමාල් සමඟ දෙන්නාම රඟපෑවා

හේමාල් සමඟ දෙන්නාම රඟපෑවා

ඒ උදාරි... මේ උදාරි... ගැන හිතන්නේ මොනවද?

මේ දවස්වල උදාරිලා දෙන්නෙක් උදාරම්ව රිදී තිරයේ දිදුලනවා. අප මේ කියන්නට යන්නේ ඒ උදාරිලා දෙන්නා ගැනයි. ඉන් එක්කෙනෙක් වෙන්නේ උදාරි පෙරේරා. මේ දවස්වල තිරගත වන ‘සේයා’ චිත්‍රපටය හරහා ඔබ හමුවට පැමිණෙන ඇගේ සිනමා රංගන ආගමනය සිදුවු‍ණේ නම් මේ මෑතකදි.

* ‘ප්‍රවේගය’ චිත්‍රපටය හරහායි ඔබ සිනමා ප්‍රේක්ෂකයාගේ හදවත සොරා ගන්නේ

2015 වසරේදියි ‘ප්‍රවේගය’ චිත්‍රපටය තිරගත වන්නේ. ඒ හරහා 2016 වසරේ හිරු ගෝල්ඩන් ෆිල්ම් අ වෝඩ්ස්වලදි මොස් පොපියුලර් ඇක්ට්‍රස් වීමට තරම් මා වාසනාවන්ත වෙනවා. මේ වනවිට මා ක්ෂේත්‍රයට පිවිසිලා ගත වී තිබෙන්නේ වසර තුනක් පමණයි.

* ඊට පසුව ඔබ මිසිස් ශ්‍රී ලංකා වනවා

ඔව්. ඒ 2016 වසරේදි මිසිස් යුනිවර්ස් විදියටයි.

* ඉන් පස්සේ දිගින් දිගට ම ඔබට රංගන ආරාධනා ලැබෙනවා. ‘සේයා’ චිත්‍රපටයත් ඉන් එක් අවස්ථාවක්

අධ්‍යක්ෂවරයා වන කල්‍යාණ මේ චරිතයට නිළියන් කිහිපදෙනෙකු ම බලලා තිබුණා. ඒ සඳහා යෝජනා වුණු නිළියන් කිහිපදෙනා අතරින් ඔහු මාව මේ චරිතයට තෝරා ගත්තා.

* මේ චරිතය ඔබට ලැබුණු අනෙක් චරිත වගේ නොවෙයි නේද?

මෙතෙක් මට රඟපාන්නට ලැබුණු වෙනස් ම චරිතයක්. මේ චිත්‍රපටයේ එන්නේ ගැහැනු ම චරිත තිස්හතරක්. ඒ අතර චරිතයක් වුණු නිරාශාගේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීම ගොඩක් මට අපහසු වුණා. ගොඩක් හොරර් ෆිල්ම් නරඹන්න වුණා. එවැනි ෆිල්ම් එකකදි බය හිතෙන ස්ථානවලදි ගැහැනු කෙනෙක්ගේ මුහුණේ ඉරියව්, කටහඬ, හැඟීම් පාලනය කර ගන්නේ කොහොමද? කියන ස්වයං අධ්‍යයනයක් මඟිනුයි මා චරිතය ප්‍රතිනිර්මාණය කළේ. එහිදි අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු සහයෝගයත් සිහිපත් කළ යුතුයි.

* ඔබත් සමඟ රිදී තිරයේ තවත් උදාරි කෙනෙක් රඟපානවා. ඔබ ඈව හඳුනනවාද?

මට වඩා ගොඩාක් කලිනුයි ඈ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒ වනවිටත් ඈ බොහොම ජනප්‍රිය චරිතයක්. මට මතක විදියට ඈ ‘බොඳ මීදුම්’ කියන ටෙලි නාට්‍යය නිසා බොහෝ දෙනා අතර ජනප්‍රියත්වය හිමිකර ගෙන සිටියා.

* ඔබ ‘බොඳ මීදුම්’ ටෙලි නාට්‍යය නැරැඹුවාද?

ඒ වනවිට මා ගුවන්සේවිකාවක් විදියටයි කටයුතු කරන්නේ. අපේ ගෙදර අය නම් ඒ ටෙලි නාට්‍ය නැරැඹුවා. එහි කොටස් කිහිපයක් හැරෙන්න, සම්පූර්ණ ම ටෙලි නාට්‍යය ම නැරැඹීමට මට නම් අවස්ථාව ලැබුණේ නැහැ. ඒත් මං දන්නවා ඒ කාලයේ ඈ අපේ රටේ බොහොම ජනප්‍රිය චරිතයක් බව.

* ඈ ගැන ඔබට තිබෙන්නේ මොන වගේ අදහසක්ද?

ඇත්තටම උදාරි ගැන මට ගොඩක් ආඩම්බරයි. එයා මවක්. එයාටත් දරුවෙක් ඉන්නවා. අද ක්ෂේත්‍රය දෙස විමසලා බලද්දි අම්මලා වුණු නිළියෝ ක්ෂේත්‍රයේ කර ට කර රැඳී සිටිනවා. ඒ ගැන හිතන විට මට දැනෙන්නේ ආඩම්බරයක්. සිනමා ජීවිතයත්, ටෙලි නාට්‍ය ජීවිතයත්, සිය ගෘහ ජීවිතයත් සමබර කරගෙන ඉන්න නිළියක් විදියට යම් ප්‍රසාදයක් ඈ ගැන මගේ සිතේ තිබෙනවා.

* මේ වනවිට ඔබ උදාරි වර්ණකුලසූරිය රඟපෑව චිත්‍රපටය නැරඹුවාද?

මට ඈ රඟපෑ ‘පෝරිසාදයා’ චිත්‍රපටය නම් නැරැඹීමේ අවස්ථාවක් උදාවුණේ නැහැ. ඒත් මා ඈ රඟපෑ ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටය නම් නැරැඹුවා. හේමාල් සමඟ ඈ බොහොම ලස්සනට රඟපාලා තිබුණා. ඇත්තටම උදාරි බොහොම දක්ෂ නිළියක්.

* හේමාල් සමඟ ප්‍රධාන චරිත රඟපෑමට ඔබ දෙදෙනාට ම අවස්ථාව උදාවනවා

මා හිතන්නේ දැනට ඉන්න නළුවන් අතරින් ප්‍රධානම චරිතයක් වන්නේ හේමාල්. ඕනෑ ම නිළියකගේ හීනයක් වන්නේ ඒ වගේ කඩවසම් නළුවකු සමඟ චිත්‍රපටයකට මුහුණ දෙන්න. ඒ අනුව උදාරිත්, මමත් වාසනාවන්තයි ඉදිරියෙන් ම ඉන්න ඒ වගේ නළුවකු සමඟ රඟපාන්නට ලැබීම ගැන.

* ඒ රඟපෑම් ඔබ දෙදෙනා මුණ ගැසී කතාබහ කරලා තියෙනවාද?

එහෙම ඒ චිත්‍රපට ගැන කතාබහ කිරීමට අවස්ථාවක් අප දෙදෙනාට ම ලැබිලා නැහැ.

* ඔබට ඇය හා කතාබහ කිරීමට කිසිම අවස්ථාවක ඉඩ ලැබිලා ම නැද්ද?

සමහර අවස්ථාවලදි සුහද කතාබහක නියැළෙන්න අපට ඉඩහසර ලැබිලා තිබෙනවා. මොකක් හෝ වැඩසටහනකදි, ඒ වගේ ම මගේ බියුටි පැජෙන්ට් එක දවසේදිත් ඈ මට මුණ ගැසිලා තිබෙනවා. එහිදි නම් ඈ පැමිණියේ ආරාධිත අමුත්තියක් විදියට හා විනිශ්චය මණ්ඩලය සඳහායි. ඉන්පසුව හමුවුණු වෙලාවලදි සුහද කතාබහක නියැළෙනවා ඇරෙන්න අප කළේ අපේ දරුවන් ගැන, මගේ පැජෙන්ට් එකේ විස්තරයක් ගැන කතා කිරීමයි. එහෙමත් නැත්නම් අපට පැමිණි දුරකථන ඇමතුමක් ගැන පවසමින් සිනහවීමයි. අප දෙදෙනා ම කාර්යබහුල නිසා මුණ ගැසෙන්නේ බොහොම අඩුවෙන්. මංගල උත්සවයකදි මුණ ගැහුණත් ඒ වගේ විස්තර කතාබහ කරන්න අවස්ථාවක් අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මට උදාරිත් එක්ක ගොඩක් වෙලා කතාබහ කරන්න අවස්ථාව උදාවෙලා නැහැ. ඒත් උදාරි බොහොම හිතවත් රංගන ශිල්පිනියක්.

* ඈ ඔබව විනිශ්චය කළා

ඈ මට කලිනුයි මිසිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගෙන තිබුණේ. කොහොමවුණත් මා ඉදිරිපත් වුණු තරගයේ තරග සංවිධායකයන් ඈට ආරාධනා කරලා තිබුණේ වැඩසටහන නරඹන්නත්, ආරාධිත විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් හැටියටයි. ඒ අනුව මා ඇගේ විනිශ්චයට ලක්වුණා.

* ඔබ දෙපළගේ නම් පැටලිලා යම් අකරතැබ්බවලට මුහුණ දුන් අවස්ථා මතකද?

එවැනි අවස්ථා නම් උදාවෙලා නැහැ. සමහර අවස්ථාවලදි සමහර අයට ඒ උදාරිගේ දුරකථන අංකය ඉල්ලුවාට පස්සේ ලැබිලා තිබුණේ මගේ දුරකථන අංකය. සමහර අය එයාට කියලා කතා කරන්නේ මට. සමහර සහය අධ්‍යක්ෂවරුන් නිර්මාණවලට දින දෙන්න කතා කරන්නේ මට. ඒ වගේ දේවල්වලටයි මට මුහුණ දෙන්නට සිදු වී තිබෙන්නේ.

* කවදා හරි දවසක දෙන්නත් එක්ක එකට රඟපාන්න කැමැතිද?

මේ ළඟදි ඇත්තටම අවස්ථාවක් ලැබුණා. උදාරි නම් ඒ නිර්මාණයට කැමැත්ත දීලා තිබෙනවා. මම නම් ඒ නිර්මාණයට කැමැත්ත පළ කළේ නැහැ. ඒ තිරපිටපතේ යම් ප්‍රශ්නයක් තිබුණ නිසා. ඒ නිසා මා ඒ තිරපිටපතට කැමැත්ත ප්‍රකාශ කළොත්, එකම නිර්මාණයක් හරහා ළඟදීම අප දෙදෙනාව ප්‍රේක්ෂකයන්ට දැකගැනීමට ලැබේවි.

* ඔබ දෙපළ ම මව්වරුන්

බබාගේ නම ජේඩන් රණසිංහ එයාගේ වයස අවුරදු තුනයි මාස අටයි. මේ වනවිට පුතා පෙරපාසල් අධ්‍යාපනයයි ලබන්නේ. ඔහු හැම දේකටම දක්ෂයි. සින්දු කියනවා. දුවන පනින දේවල් කරනවා. චිත්‍ර අඳීන්නත් දක්ෂයි.

* කවදාහරි දිනෙක ඔබ රංගන ශිල්පිනියක් වීමටද සිතාගෙන සිටියේ?

මා උසස් පෙළ කළේ ජීව විද්‍යා අංශයෙන්. පාසල් කාලයේදි නම් මා නිවේදනය ඇතුළු සෑම දෙයකටම දක්ෂ ශිෂ්‍යයාවක්. ඒ නිසා මාව මුළු පාසල ම දන්නවා. ඒ කාලයේ බොහෝ අය මට පැවසුවේ මා හරියට ම කාංචනා මෙන්ඩිස් වගේ කියලා. මා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ගුවන් සේවිකාවක් විදියට කටයුතු කළා. ඒ කාලයේ මගේ සිනහව ලස්සන බව කියමිනුයි ඔවුන්ගේ දැන්වීම්වලට හා ඡායාරූපවලට මාව යොදා ගත්තේ. ඒ දේවල් දැකලයි සදේශ් කුමාර් මහත්තයා මාව ‘ප්‍රවේගය’ චිත්‍රපටයට තෝරා ගන්නේ.

* ඔබගේ ජීවිතයෙන් වැඩිපුර කාලයක් යොදන්නේ පවුල වෙනුවෙන්ද?

මගේ කාලයෙන් ප්‍රධාන තැන වෙන්වෙලා තිබෙන්නේ පවුලටයි. ඉන් ඉතිරි කාලයයි සිනමාව වෙනුවෙන් වෙන්කරලා තිබෙන්නේ.

* ඔබ රිදී තිරයේ ම පමණක්ද රඟපාන්නේ?

හොඳ ටෙලි නාට්‍ය කිහිපයකට ම රංගනයෙන් දායක වීමට මට ආරාධනා ලැබුණා. ඒත් මගේ පුතාත් එක්ක ගත කරන කාලයත් සමඟයි ඒ කටයුතු වෙනස් වන්නේ. මා පැමිණියේ සිනමාවෙන්. ඒ නිසා මගේ ඉතුරු වන කාලයෙන් මුලිකත්වය ලැබෙන්නේ සිනමාවටයි.

* ඒ නිසා ඔබ කිසිම දිනක ටෙලි නාට්‍ය රංගනයට පිවිසෙන්නේ නැහැ

එහෙම කවදාවත් ටෙලි නාට්‍ය රංගනයට පිවිසෙන්නේ නැහැයි කියලා කියන්න බැහැ. ජීවිතේ සෑම දෙයක් ම වෙනස් වන සුළුයි. ඒ නිසා මේ වනවිට මා චිත්‍රපට රංගන ශිල්පිනියක් පමණයි.

* ඔබගේ විනෝදාංශ පෙළගැසී තිබෙන්නේ කුමන ආකාරයෙන්ද?

මගේ ලොකුම විනෝදාංශය පොත් කියැවීමයි. මනෝවිද්‍යා පොත්, මනස සංවර්ධනය පිළිබඳ පොත් කියවන්න, ඒ හරහා තමනගේ මනස දියුණු කරගෙන ජීවිතය යහපත් කරගන්නේ කොහොමද කියන පොත් කියවන්න මම බොහොම ආසයි. ඒ වගේ පොත් ගොඩක් ගෙදර තිබෙනවා.

* ඔබගේ පවුලේ විස්තර කියමුද?

මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනක් පූර්ණිමා පෙරේරා. ඈ ගුවන් සේවිකාවක්. චූටි නංගි ෂෙහානි පෙරේරා. ඈ මේ වනවිට ‘පේස් ටු පේස්’ හා ‘ඊතලය’ කියන චිත්‍රපට දෙකේ ප්‍රධාන චරිත රඟපාලා තියෙනවා.


සිනමා ශාලාවේ දිදුලන අනෙක් තරුව උදාරි වර්ණකුලසූරිය. ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වන උදයකාන්ත වර්ණසූරියගේ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටය හරහා රිදී තිරයට සමීප වන උදාරිගේ නවතම චිත්‍රපටය ‘පෝරිසාදයා’.

* පුංචි තිරයේ බෙහෙවින් ජනප්‍රිය ඔබ මේ දවස්වල රිදී තිරයෙත් ජනප්‍රියයි

ඇත්තට ම මේ දවස්වල මට ලැබෙන ප්‍රතිචාර බලාපොරොත්තු වුණාට වඩා හොඳයි. එලෙස මා පවසන්නේ මෙය තිරගත කළේ ඊ.ඒ.පී. මණ්ඩලයේ නොවුණත්, එහි තිරගත කරන චිත්‍රපටයකට හා සමානව ම ලැබෙන ප්‍රතිචාරවලින් කිසිම අඩුවක් නොමැති නිසයි.

* එවැනි ප්‍රතිචාරයක් ඔබට ලැබෙන්නේ ඔබ ඒ චරිතයට සාධාරණයක් ඉටුකළ නිසාද?

මා සිතන්නේ ඒ චරිතයට සාධාරණයක් ඉටුකළ බවයි. ඒ චරිතයේ සාර්ථකත්වය නිසයි ‘පෝරිසාදයා’ චිත්‍රපටය සිනමා ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වන්නේ. ඒ ගැන මට තිබෙන්නේ සතුටක්.

‘පෝරිසාදයා’ චිත්‍රපටයේ පොලිස් නිලධාරිනියගේ චරිතය ඔබට හිමිවන්නේ කෙසේද?

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සිරිතුංග පෙරේරා මහත්තයා මට මුලින් ම කතා කළේ “ඇක්ෂන් මූවි එකක් කරනවා උදාරි, මේ චරිතය ඔයාටයි රඟපාන්න පුළුවන්” කියලා. ඒ විදියට මා පිළිබඳ මූලිකව ම විශ්වාසය තියලයි ඔහු ‘පෝරිසාදයා’ චිත්‍රපටයට මට ආරාධනා කරන්නේ.

* ඒ පොලිස් නිලධාරිනියගේ චරිතයට ඔබව ම තෝරා ගැනීමට විශේෂ වූ හේතුව කුමක්ද?

එහෙම කිරීමට මූලික ම හේතුව වන්නේ මා ‘බිනර මලී’ ටෙලි නාට්‍යයේදී අංගම් පොර සම්බන්ධයෙන් කළ පුහුණුව සඳහා දැක්වූ දක්ෂතාවයි. එහි පුහුණු වීම් සිදු කරන ලද්දේ අජන්ත මාස්ටර් විසින්. ඊට පෙර කරන ලද රාවණා චිත්‍රපටයක් සම්බන්ධවයි මා අංගම් පොර සටන් පුහුණු වීම සිදුවන්නේ.

* ‘බොඳමීඳුම්’ චිත්‍රපටයේ සංසලා ලෙස සිටි ඔබ එක්වර ම සටන් කරන යුවතියක් වනවා

කොහොම වුණත් මගේ ඇක්ෂන් පැත්ත එළිදැක්වීමට මම සිටියේ බොහොම කැමැත්තෙන්. ඒ නිසා එවැනි චරිතයක් රඟපෑමට ලැබීම මගේ වාසනාවක්. මොකද මාව ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රියතාවට පත් වී තිබෙන්නේ අහිංසක, ළද බොළඳ චරිතයක් විදියටයි. ඒ නිසා එවැනි පරිසරයක් ඇතුළේ රංගන ශිල්පිනියක් විදියට මගේ වෙනස් ම දක්ෂතා රැසක් මේ චරිතය හරහා එළියට රැගෙන එන්නට හැකිවීම මා ලැබූ භාග්‍යයක්. එවැනි අවස්ථාවක් ලබාදීම ගැන අධ්‍යක්ෂවරයාට මා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

* මේ දවස්වල රිදී තිරයේ උදාරිලාගේ නම් බොහොම කියැවෙනවා. ඒ ගැන මොනවගේ අදහසක්ද ඔබට තිබෙන්නේ?

ඒ ගැන ඇත්තට ම මට සතුටුයි. මා වගේ ම උදාරි පෙරේරාත් ඒ ගැන සතුටුයි. උදාරි කියන නම සිනමා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වනවාට කැමැතියි.

* මීට පෙර ඔබට උදාරි පෙරේරාව මුණ ගැසිලා තිබෙනවාද?

නිර්මාණ කටයුතුවලදි අප දෙදෙනා මීට පෙර නම් මුණ ගැසිලා නැහැ. සම්මාන උලෙළවලදි ඇතුළු පුංචි පුංචි දේවල්වලදි නම් අප මුණ ගැසිලා තිබෙනවා. එහෙත් අප එකට මුණ ගැසිලා ආශ්‍රය කරලා නැහැ. ඒත් උදාරි කියන්නේ මම බොහෝ ආදරය කරන චරිතයක්. උදාරිගේ සිනාවට මා බොහොම ආසයි.

* හොඳට මතකයට නඟන්න එක් අවස්ථාවකදි ඔබට උදාරිව මුහුණට මුහුණ හමුවෙනවා නේද?

ම්.......

* ඒ අවස්ථාව ගැන මතකයට නැඟුවොත් එක්තරා තරගයක් ගැන ඔබට මතකද?

ඔව්. ඈ රූපසුන්දරියක් වන දවසේ විනිශ්චය ලබාදීමට මට අවස්ථාව ලැබුණා. ඒ ගැන මට බොහොම සතුටුයි. ඒ ස්ථානයට ඈ වඩාත් සුදුසුයි. බොහොම ආඩම්බරයෙන් මා ඈට ලකුණු දුන්නා. ඈ රංගන ශිල්පිනියක් වගේ ම රූප සුන්දරියක් වීමත් ගැන එදා මා සතුටට පත්වුණා. ඇත්තට ම ඒ සම්බන්ධයෙන් ඈ ගැන මගේ සිතේ තිබෙන්නේ ආඩම්බරයක්.

* ඔබගේ විනිශ්චය ලබාදීමට උදාරි එකම ක්ෂේත්‍රයේ සිටි කාරණයත් බලපෑවා කියලද ඔබ ඔය පවසන්නේ?

එහි විනිශ්චය ලබාදීමට ගිය අවස්ථාවෙදිවත් මට ඈ සමඟ කතා කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. මොකද මා විනිශ්චය මණ්ඩලයේ සිටි නිසා. එහෙම කිරීම සුදුසුත් නැහැ. අනෙක් කාරණය නම් ඒ වනවිටත් මා ඈව පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. ඒ කොහොම වෙතත් ඒ තරගයේ ජයග්‍රාහිකාව වන්නට ඈ සුදුසු නිසා, ඈට ඒ ජයග්‍රහණය හිමි වුණා. අද වනවිට අප දෙදෙනාගේ දුරකථන අංකයවත් අප දෙදෙනා ළඟ නැහැ.

* උදාරි කියන නම් පටලැවිලා විවිධ අකරතැබ්බවලට මුහුණ දීමට සිදුවුණු අවස්ථා උදාවුණා ද?

එහෙම අවස්ථා නම් ඕනෑතරම් උදාවෙලා තිබෙනවා. උදාරි මිස් ශ්‍රී ලංකා වුණාට පස්සේ ඊට පසුවදා ම බොහෝ අය මට කතා කරලා සුබ පතලා තිබෙනවා. ඒ වගේ අවස්ථාවල මා පැවසුවේ මා උදාරි වර්ණකුලසූරිය බවත්, ඒ සඳහා උදාරි පෙරේරාට කතා කරන්නය යනුවෙන්. එහෙම නැතිව දරුණු දේවල් නම් වෙලා නැහැ.

* අධ්‍යක්ෂවරුන්ට ඔබ දෙපළගේ නම් මාරුවුණු අවස්ථා තිබුණාද?

එවැනි අවස්ථාවක් නම් මෙතෙක් උදාවෙලා නැහැ. ඒත් උදාරි පෙරේරාට එවැනි අවස්ථාවලට මුහුණ දීමට සිදුවුණාද නම් මා දන්නේ නැහැ.

* ඔබ දෙපළට එකම චිත්‍රපටයක රඟපෑමට ආරාධනාවක් ලැබිලා නැද්ද?

එහෙම අවස්ථාවක් පැමිණියොත් ඒක මා භාර ගන්නේ බොහොම සතුටින්. එහෙම වුණොත් ඒ නිර්මාණය උදාරිලාගේ නිර්මාණයක් වේවි.

* හොඳට මතකයට නඟන්න. මේ ළඟදි ඒ විදියේ ආරාධනාවක් ඔබට ලැබුණාද කියලා?

මගේ මතකයේ විදියට නම් නැහැ. ඇත්තටම එවැනි ආරාධනාවක් ගැන නම් මගේ මතකයේ නැහැ. මොකද මා ඉන්නේ බොහොම කාර්යබහුල කාලසටහනක නිසා.

* ඔයතරම් ම ඔබට තිබෙන වැඩකටයුතු මොනවාද?

මේ වනවිටත් මට ලැබෙන නිර්මාණවල රඟපාන එක මා තරමක් අඩු කරලයි තිබෙන්නේ. ඒ මගේ දුවගේ අධ්‍යාපන කටයුතු නිසා. මගේ සැමියා ඉන්නේත් විදේශ ගතවෙලා නිසා, අම්මාගේත්, තාත්තාගේත් භූමිකා දෙකම රඟපාන්නට වී තිබෙන්නේ මටමයි. ඒ නිසා එවැනි බොහෝ දේවල් මගේ මතකයේ රැඳෙන්නේ නැහැ. සමහර විට අප දෙදෙනාට ම එකම නිර්මාණයකට කතා කරන්නට ඇතැයි සිතෙනවා. ඒත් ඒ ගැන මට මතක නැහැ.

* උදාරි රඟපෑ නිර්මාණ නැරැඹීමට ඔබට අවස්ථාව ලැබුණාද?

උදාරි රඟපෑ ‘ප්‍රවේගය’ චිත්‍රපටය මා නැරැඹුවා. ඒක බොහොම ලස්සන චිත්‍රපටයක්. ඈ ඒ චිත්‍රපටයේ චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරලා තිබෙනවා. ඒ නිසා උදාරි ගැන ගොඩක් ආඩම්බරයි.

* ඒ කියන්නේ ඈ රඟපාන අලුත් ම චිත්‍රපටය නැරැඹීමට තරම් කාලයක් ඔබට ලැබුණේ නැහැ කියන එකද?

ඈ රඟපෑ අලුත් ම චිත්‍රපටය නම් නැරැඹීමට මට තවම අවස්ථාව ලැබුණේ නැහැ. මොකද මගේ රූගත කිරීම් නිසා. ඒ චිත්‍රපටය නැරැඹිය යුතුයි. කොහොමත් සිනමා ශාලාවට ගොස් චිත්‍රපටය නැරැඹීමට නොහැකි වුණත් සී.ඩී. පටයක් හරහා හෝ ඒ ඒ චිත්‍රපට නැරැඹීම මගේ පුරුද්දක්.

* දියණියගේ අලුත්ම තොරතුරු ගැනත් යමක් කියමුද?

මේ වනවිට දුව ෂෙනාර්යා උමේලි විජේරත්න 1 වසරේයි ඉගෙනුම ලබන්නේ. බොරැල්ල බ්‍රිටිෂ් ස්කූල් එකෙයි ඈ ඉගෙන ගන්නේ. ඈට තවත් මාස දෙකකින් හරියට ම අවුරුදු හය ලබනවා. ඈ බොහොම හුරතල්. කුමාරියක් විදියට ඇඳගෙන නටන්නයි ඈ වඩාත් කැමැත්තක් දක්වන්නේ.

* ඔබ ඔබගේ ජීවිතයේ පවුලට ද වඩාත් මූලිකත්වය ලබාදී ඇත්තේ?

ඇත්තට ම ඔව්. මගේ සැමියා සෑම සතියක ම සිකුරාදා ඇවිත් ඉරිදා යළිත් විදේශ ගත වෙනවා. ඒ නිසා ඔහු වෙනුවෙනුයි සති අග වෙන්වෙලා තිබෙන්නේ. අනෙක් කාරණය නම් දුවට මේ දවස්වල පාසලේ නිවාඩු නිසා, ඈ වෙනුවෙන් නිවෙසේ රැඳීි සිටින්නයි මගේ කාලය වෙන් වී තිබෙන්නේ.

* විවාහ වීම රංගන ශිල්පිනියකගේ ජීවිතයට යම් පසුබෑමක් ඇති කරනවාද?

රංගන ශිල්පිනියක් වීමට කලිනුයි මා විවාහ වන්නේ. ඒක ප්‍රේක්ෂකයන් පවා දැනගෙන සිටියා. මා සිතන්නේ විවාහය මට ආශිර්වාදයක් වුණු බවයි. එය පාඩුවක් වුණා නම් අදටත් මා මිනිසුන් ආදරය කරන චරිතයක් බවට පත්වන්නේ නැහැ. ඒ වගේ ම මම පිට පිට ම දෙතුන් වතාවක් ජනප්‍රියම නිළිය සම්මානයෙන් පිදුම් ලබනවා. එවැනි සම්මාන ලබන්න තරම් විවාහ වි සිටියත් මා වාසානාවන්ත වුණා. මට විවාහය ආශිර්වාදයක්.