වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




Black and White හැබැයි Colour

Black and White හැබැයි Colour

දේශපාලන තොරතුරු ගෙන ඒම දැලි පිහියෙන් කිරි කෑමක්

දෙරණ ප්‍රධාන පුවත් විකාශය අතරතුර ගෙන එන බ්ලැක් ඇන්ඩ් වයිට් නමැති නිවුස් අයිටම් එකට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. සතිය තුළ දේශපාලන ලෝකයේ සිදුවීම් රසබර අන්දමින් ඉදිරිපත් වන හින්දම බහුතරයක් එය නරඹන්නේ ඉතාම ආසාවෙන්. ඇතැම් මාධ්‍යයන්ට පවා හසු නොවන දේශපාලනඥයින්ගේ අතිශය රහසිගත තොරතරු ද බ්ලැක් ඇන්ඩ් වයිට් සඳහා අන්තර්ගතයි.

එය ලබා ඇති ජනප්‍රියත්වය පිටුපස දෙදෙනකු ඉන්නවා. ඒ බ්ලැක් ඇන්ඩ් වයිට් ඉදිරිපත් කරන නිවේදකයා සහ නිවේදිකාව. මේ දෙදෙනාගෙන් එක් අයකු එහෙමත් නැතිනම් නිවේදිකාව අද අප සරසවියට කැඳෙව්වා. ඇගේ නම කසුනි සමරසිංහ.

කසුනි කොහොමද බ්ලැක් ඇන්ඩ් වයිට් ජීවිතේ?

මේ නිවුස් අයිටම් එන නිසා මං වඩාත් ජනතාවගේ අවධානයට පාත්‍ර වුණා කියලා කියන්න පුළුවන්. දේශපාලන ලෝකයේ රහසිගත තොරතුරු ඉතා නිවැරිදි අන්දමින් අප ගෙන එනවා. මිනිස්සු දැනගන්න කැමැති ඒවනෙ.

බ්ලැක් ඇන්ඩ් වයිට් ලයිව් වැඩ සටහනක්ද?

නැහැ. ඒක කලින් පටිගත කරපු එකක්.

දේශපාලන ලෝකයේ තොරතුරු ගෙන එනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්?

ඔව්. අපි ඉතාම නිවැරිදි තොරතුරු ගෙන එන නිසා මේවනකම් කාගෙන්වත් බලපෑමක් ආවේ නැහැ. කාටවත් ඇඟිල්ල දිගු කරන්න බැරි අන්දමට අපි මේ නිවුස් අයිටම් එක කරනවා.

ඔබේ මාධ්‍ය ජීවිතය ඇරැඹෙන්නේ සිරස නාළිකාවෙන්. මඳකට ඒ අතීතයට ගියොත්?

සිරසට එන්නේ 2007 වසරේ. ඒ මාධ්‍යවේදිනියක් හැටියට. එහෙම කාලයක් ඉඳලා ක්ෂේත්‍රය ගැන හදාරමින් මං ප්‍රවෘත්ති නිවේදනයට අත් පොත් තබනවා. ඒ වසරේ දෙසැම්බර් පස් වැනිදා දහවල් 1.55 ලයිව් @ 55 ඉදිරිපත් කරමින් මා නිවේදිකාවක් වුණා එතැන් පටන්.

ප්‍රවෘත්ති නිවේදන ජීවිතයේ අමතකම නොවන සිදුවීම ගැන මං ඇහැව්වොත්?

ඒක වෙන්නේ දෙදහස් එකොළහ වසරේ. මතකද ජපන් රටට සුනාමියක් ආවා. එතකොට මගේ ඥාති සහෝදරයෙක් ජපානයේ හිටියේ. ඔහු කලින් දවසේ ටෝකියෝවලට යනවා කියලත් කිව්වා. සුනාමිය ආවේ අන්න එදා. මම හරියට බය වුණා. බිල්ඩිං කඩන් වැටෙන හැටි, ගිනි පෙට්ටි වගේ වාහන පෙරළෙන හැටි මං වීඩියෝ දර්ශනවලින් දැක්කා. මං ඒ චංචලභාවයෙන් තමයි එදා ප්‍රවෘත්ති කිව්වේ. එතකොට මං සිරසෙ හිටියේ. බයෙන් ත්‍රස්ත වෙලා සහෝදරයාගේ ජීවිතේ ගැන හිතමින්, ඒත් මුකුත් නොවුණ ගානට නිවුස් කිව්වා.

නිවුස් කියද්දී වැරැදිලා නැද්ද?

පෘථග්ජන මිනිස්සු හැටියට අපිට වැරැදීම් වෙනවා. ඒක සාමාන්‍යයි. නමුත් මට ලොකු වැරැදීම් වෙලා නැහැ. වැරැදුණත් සමාවෙන්න කියලා ආයෙත් නිවුස් පටන් ගන්නවා.

ඔබ කොළඹ කෙනෙක් නෙවෙයි නේද?

ඔව්. මගේ ගම ගාල්ල. නමුත් අම්මලා දැන් පදිංචි වෙලා ඉන්නේ රත්නපුර. රත්නපුර ජේසු බිළින්දගේ කන්‍යාරාමයෙන් තමයි මං ඉගෙන ගත්තේ.

කසුනි සමරසිංහ කියන්නේ මොන වගේ චරිතයක්ද?

හරිම සතුටින් ඉන්න කෙනෙක්. දුකක් වුණත් තැවි තැවී ඉන්නේ නැහැ. බොහොම හොඳට හිනාවෙලා ඉන්න තියෙනවා නම් මට ඒ ඇති.

හොඳ ඔෆර් එකකට වෙනත් නාළිකාවකින් කතා කළොත් මොකද කරන්නේ?

ඇත්තම කිව්වොත් මට දැනටත් එහෙම නාළිකා කිහිපයකින්ම කතා කරලා තියෙනවා. ඒත් මං යන්නේ නැහැ. මොකද දෙරණෙ අපි එක පවුලක් විදිහට වැඩ කරන්නේ. මං ඒ පවුලට හරිම ආදරෙයි. ඒ නිසා මං වෙන නාළිකාවකට නොයන තීරණයක දැනට ඉන්නවා.

ඔබේ විවාහ ජීවිතය ගැන කතා කළොත්?

මගේ මහත්තයා වෛද්‍යවරයෙක්. ඔහු පරිපාලන සේවයට සම්බන්ධ වෛද්‍යවරයෙක්. අපි දැනට කොළඹ පදිංචි වෙලා ඉන්නේ.

මොනවද අනාගත බලාපොරොත්තු?

නිවේදිකාවක් විදිහට ජාත්‍යන්තරය ජය ගැනීම තමයි මගේ එකම අරමුණ. ඒ වෙනුවෙන් මං වැඩ කරනවා.