වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අපේ සිනමාවේ ප්‍රථම තරුව ෆ්ලොරිඩා

දුඟද හමන බෙල්ලෙකු තුළ අගය කළ නොහැකි මුතු ඇත. ප්‍රතිභා ශක්තියෙන් යුතු දක්ෂ ශිල්පීන් උපදින්නේ රජ මාළිගාවල නොවේ. වනයේ පිපී පර වී යන මල් මෙන් අහෝසි වී යන්නට නොදී, කලාවේ මිණි ඔටුනු පවා ලැබීමට සුදුසු නිළියක් එදා 'සිළුමිණ' පත්‍රය ෆ්ලොරිඩා ජයලත් නම් නිළිය හඳුන්වා දී තිබුණි. ඇගේ ජීවිතය අතිශයින්ම දුක්බර එකක් බව 1955 ඔක්තෝබර් 16 වැනි ඉරිදා පත්‍රයට නිහතමානීව සඳහන් කර තිබුණි.

1953 වසරේ තිරගත වූ සිංහල සිනමාවේ 21 වැනි චිත්‍රපටය වූ 'සුජාතා' චිත්‍රපටයේ සුජාතා ලෙස රඟපෑ ෆ්ලොරිඩා එක රැයකින්ම සුපිරි තාරකවක් වූවාය. එකල ඇය රඟපෑ සුජාතා චිත්‍රපටයේ දොස්තර නිහාල්ට (ප්‍රේම් ජයන්ත්) පෙම් කළ මෙහෙකාරිය වුයේ ඇයයි. චිත්‍රපටයේ එන ජමුනා රාණි හා මොහිදීන් බෙග් ගායනා කළ මේ ගීතය එදා චිත්‍රපටයේ සුජාතා හා නිහාල් රඟපෑ අයුරු එදා වැඩිහිටි ප්‍රේක්ෂකයන්ට මතක ඇත.

'ප්‍රේම ගඟේ මැණික් වගේ

අපි දෙන්නා හිතේ තිබී ආදරේ

අපි දෙන්නා හිතේ තිබී ආදරේ'

'ප්‍රේමා ලෝකය නිවී ගියා

ඔබ රූපය මා හද තියා ගියා

වැටුණ මලක් එම අත්තෙහි හා වෙද

ආලය ඒ ලෙස කැඩී ගියා'

එදා 'සුජාතා' චිත්‍රපටයෙන් තරුණ හදවත් දිනා සිටි ෆ්ලොරිඩාට හැත්තෑ හැවිරිදි ඉලන්දාරියෙක් එවූ ප්‍රේම යෝජනාවට තමාට කිසිසේත් සිනාසීමට නොහැකි වුයේ රඟපෑමට එන්නට පෙර තමා ගත කළ දුක්ඛිත ජීවිතය ගැන සිතන විට බව ඇය 'සිළුමිණ' පත්‍රයට කියා තිබුණාය.

'මේ මෑතක් වනතුරු වැඩිපුර චීත්ත ගවුමක් පමණක්වත් මසා ගන්නට වත්කමක් නැතිව හුන් දුප්පත් කෙල්ලක වූ මා වෙත එන ලියුම් එක මොහොතකින් මා ධනවත් බිරියක් කිරීමට වර පතයි. පොල් අතු පැලක් දායාද කොට උපන් මගෙන් නිදහස්වීමට දෙමව්පියන් නොගත්ත උත්සාහයක් නැත. නමුත් ඔවුන් බරෙන් නිදහස් කිරීමට ඉදිරිපත් නොවූ අද බොහෝ දෙනෙක් මා තුළ දකින සහජ දස්කම් එදා කිසිවකු නොදුටුහ. අද වතුපිටි, මිල මුදල් ආදියෙන් පුදා මගේ අත ගැනීමට පොර කන්නෝ, එදා දෑවැද්ද ගැන කලකිරී ගියහ. පොල් අතු ගෙයක දිළිඳු වටපිටාවකට හිමිකම් කියමින් ජීවත් වූ මා අවුරුදු තුනක් යාමට පෙර ලක්ෂ ගණනකගේ වීරවරිය මෙන් සලකනු ලැබීමට පත් වූ හැටි රසවත් පුවතක් විය හැකිය.'

ෆ්ලොරිඩා සොයා මීට වසර 34 කට පමණ පෙර මාත්, මුදිත කාරියකරවනත්, කැමිලස් පෙරේරා ද කැටුව මාරවිලට ගියෙමු. අපට පාර කියා දුන්නේ කලා රසිකයකු, මහගම සේකර සාහිත්‍ය නිර්මාණ සංරක්ෂක, මලල ක්‍රීඩා විනිසුරුවකු වූ කේ. ජී. ජිනසේනය. එදා ඇය තම අතීත තොරතුරු හෙළි කිරීමට මැළි වූවාය. කෙසේ වෙතත් අපට එදා රිදී තිරය බැබළ වූ තාරකාව දැක බලා ගැනීමට හැකි විය.

1936 අප්‍රේල් 15 වෙනිදා කොස්වාඩියේ මාරවිල දී සහෝදර සහෝදරියන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක උපත ලැබූ ෆ්ලොරිඩා ජයලත් මාරවිල රෝමානු කතෝලික බාලිකා කන්‍යාරාමයේ ඉගෙන දෙටු පෙළ සමත් වූවාය. පාසල් වේදිකාවේ ප්‍රමුඛ ස්ථානයක් ලබා ගත් අගේ වැඩිමහල් සොහොයුරිය ජොසෆින් ජයලත් ඒ වන විට බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ චිත්‍රපටවල රඟපා තිබුණි. වෙනත් පියවරුන් මෙන් නොව ඇගේ පියාට අවශ්‍යව තිබුණේ තම දියණියන් චිත්‍රපට නිළියන් වනවා දැකීමටය. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සොයා ගිය පියා තම ආසාව ඔහුට කියා සිටියේය.

'ඇයි පරක්කු වුණේ. අපි 'සැඟවුණු පිළිතුර'ට කට්ටිය තෝරාගෙන ඉවරයි. තකහනියේම ආව නිසා නැටුම් ජවනිකාවකටවත් ඉම්මු' බී. ඒ. ඩබ්ලිව්. කීවාය.

ෆ්ලොරිඩා හාපුරා කියා පෙනී සිටියේ 1951 රූගත වූ 1952 තිරගත වූ 'උමතු විශ්වාසය' චිත්‍රපටයේ නැටුම් දර්ශනයකටය. චිත්‍රපටයේ සාපින් (එඩී ජයමාන්න) සහ ඔහුගේ දෙමාපියන් සංකර ජීවිතයකට ඇබ්බැහි වී 'හුලා හුලා' නටන විට එහි කොට ගවුමක් හැඳ නටන්නේ ෆ්ලොරිඩාය.

ෆ්ලොරිඩා 'සුජාතා' චිත්‍රපටයට තෝරා ගැනීම ද චිත්‍රපටයක් තරම්ම රසවත්ය. කොස්වාඩියේ මහවැව පිහිටි ෆ්ලොරිඩාගේ නිවසට දිනක් මහ රූ කාර් එකකින් පිරිසක් කොළඹ සිට පැමිණියහ. 'සුජාතා' චිත්‍රපටයේ අධ්‍යක්ෂණ සම්බන්ධීකරණය භාරව සිටි ටී. සෝමසේකරන් මෙහි පැමිණි පිරිසේ නායකයා විය. ඔහුට මාරවිලට යාමට මඟ පෙන් වූයේ එවකට විකට නළුවෙකුව සිටි බර්ට්‍රම් ප්‍රනාන්දුය.

'හොඳ කෙල්ලෙක් නම් ඉන්නවා මහවැව පැත්තේ. එයගේ අක්කා ජොසෆින් අපිත් එක්කලා මිනර්වා නාට්‍යවල රඟපෑවා. ගිහින් බලමු'

බර්ට්‍රම් හා සෝමසේකරන් මහවැවට ෆ්ලොරිඩාගේ නිවසට පැමිණ තමන් පැමිණියේ ෆ්ලොරිඩා බැලීමට බව ඇගේ මවට කීහ. අමුත්තන්ගේ පැමිණීමෙන් ෆ්ලොරිඩා මවිතයට පත් වූවාය. ෆ්ලොරිඩා එළියට ආවාය. එතන සිටි කෙනෙක් හරිකේන් ලාම්පුවේ එළියෙන් පොල් අතු ගෙදරට පැමිණ එහි එළිය ඇගේ මුහුණට ඇල්ලුවේය.

'ෆොටෝජෙනික් මුහුණක්. මෙයා තමයි සුජාතා' සෝමසේකරන් කීවේය.

ෆ්ලොරිඩා ප්‍රධාන චරිතය රඟපෑ 'සුජාතා' චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබීය. ප්‍රේම් ජයන්ත්, ඩොමී ජයවර්ධන, ශාන්ති ලේඛා, ඩේවිඩ් ධර්මකීර්ති ඇය සමඟ රඟපෑහ.

'මම රෑ දවල් දෙකේ රුක්මණී දේවි පිළිබඳ සිහින දැක්කා. එහෙත් හුදෙක් සිතුවිල්ලක් පමණයි. මගේ ප්‍රියතම නිළිය රුක්මණී සමඟ 'හෙට ප්‍රමාද වැඩියි' චිත්‍රපටයේ රඟපෑමට ලැබීම මා නොසිතූ දෙයක්' ෆ්ලොරිඩා කියා ඇත.

1956 වසරේ 'දිනමිණ' රඟමඬල චිත්‍රපට තරගයෙන් (හොඳම නිළිය) අංශයෙන් ෆ්ලොරිඩා දෙවැනි තැන ලබා සීමාසහිත බිලිං විදුලි බලයෙන් කෑම පිසින යන්ත්‍රයක් සහ සර්ධා රත්නවීර ස්වර්ණාභරණ යුවළක් දිනා ගත්තාය. මුල් තැන හිමි වූයේ රුක්මණීටය. ෆ්ලොරිඩාගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වූයේ සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ 'සැඩ සුළං' (1955) චිත්‍රපටයේ සීතාගේ චරිතයෙනි. මේ චිත්‍රපටයේ නැටුම් දර්ශනයකට පෙනී සිටි ඇය භාරතීය නැටුම් අධ්‍යක්ෂවරයකු වූ අනිල් කුමාර් චොප්රාගෙන් වැඩිදුර පුහුණුව ලැබුවාය. 'සැඩ සුළං' චිත්‍රපටයේ ගීත ගයමින් ඇය රඟපෑ ගීත අතිශයින්ම ජනප්‍රිය විය.

'ශ්‍රී ලංකා මාතා - මා ප්‍රියාදර ජය භූමි

ජය භූමි - ජය භූමි - ශ්‍රී ලංකා'

(ගායනය - ලතා මංගේෂ්කර්)

'ඉදිරියටා යමු සැවොමා

නිදහස ලබනට බැමි සිඳ දා'

ගායනය - ලතා මංගේෂ්කර් සහ මොහිදීන් බෙග්)

'ජීවන මේ ගමන සංසාරේ

යාවී නම් - අන්ධකාරේ

නොලැබ ආලෝකේ

යා හැකිදෝ සොයා මාර්ගේ'

ගායනය - ජමුණා රාණි හා ඒ. එම්. රාජා)

'පෙම් කැකුළ පිපී එන විට ම හදේ

එය පරව ගියා

මා හෙළා දුක් අන්ධකාරේ - අන්ධකාරේ

(ගායනය - ජමුනා රාණි සහ ඒ. එම්. රාජා)

'කවුද මා මැවු දෙවියා

මා හට පීඩා කරනා'

(ගායනය - ජමුණා රාණි)

ෆ්ලොරිඩා 'සැඩසුළං' චිත්‍රපටයන් පසු සරදම' (1957), සේපාලි (1958), අවිස්වාසය (1959), පිරිමියෙක් නිසා (1960), සුවිනීත ලාලිනි, දරුවා කාගේද (1961), දේව සුන්දරී (1962), වෙන ස්වර්ගයක් කුමටද?, මංගලිකා, සුදු සඳේ කළු වළා (1963), හෙට ප්‍රමාද වැඩියි (1964), ස්වීප් ටිකට් (1965), සුදු දුව (1966) රඟපෑවාය. තරුණ වියේදී ඇය වැඩිහිටි චරිතයක් රඟපෑ අවස්ථාවක් ද 'පිරිමියෙක් නිසා' හි (ගාමිණී ෆොන්සේකාගේ මව ලෙස) විරලව දක්නට ලැබේ.

ඇය වෘත්තාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ ප්‍රථම ලාංකික කාන්තාව ද ලෙස 'ස්වීප් ටිකට්' චිත්‍රපටය ඉතිහාස ගත වන්නේය. ඇය ඒ චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම සමඟ චරිතයක් ද රඟපෑවාය. මේ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා රාජා ජොසුවාය. ඔහු ප්‍රවිණ ටෙලි නාට්‍ය නිළි මල්කාන්ති ජයසිංහගේ පියාය. ෆ්ලොරිඩා ලතා මංගේෂ්කර්ගේ පසුබිම් ගී ගැයුමකට (සැඩ සුළං) රඟපෑ එකම දේශීය නිළිය ද වෙයි. මුල් වරට නිෂ්පාදක සමාගමක් චිත්‍රපට නිළියකට කාර් එකක් ප්‍රදානය කළේ ද ෆ්ලොරිඩාටය. පුවත්පත් දැන්වීමක ඇය එම රථයේ බොනට්ටුව හිඳ ගත් දැන්වීමක මෙසේ සඳහන්ව තිබුණි.

'දිනපතා දහස දහස්, ලක්ෂ සංඛ්‍යාත ජනකායක් විසින් 'සැඩ සුළං' චිත්‍රපටය නිෂ්පාදනය කළ ෆිල්ම් සිලෝන් සමාගම ඇගේ විශිෂ්ටතම රඟපෑම නිසා පිරිනැමෙන විශේෂ ත්‍යාගයක් වශයෙන් රුපියල් 15,000 කට නොවැඩි ඇය කැමැති රථයක් තෝරා ගැනීමට ඉල්ලා සිටි අවස්ථාවේදී ඇය තෝරාගෙන ඇත්තේ කැඩිලක් සහ ඕපල් නිෂ්පාදකයන් වන ජෙනරල් මෝටර්ස් විසින් සාදනු ලබන වොක්ෂොල් රථයකි.'

1966 වසරේ ඇය සිනමාවෙන් සමුගෙන බෝලවලාන ගුරු අභ්‍යාස විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන කථිකාචාර්යවරයකු වූ ඇන්ටන් ප්‍රනාන්දු සමඟ විවාහ වූවාය. ඇගේ සැමියා ප්‍රකට වොලිබෝල් ක්‍රීඩා උපදේශකයකු ලෙස ද ක්‍රීඩා ක්ෂේත්‍රය හඳුනාගෙන තිබිණි. විවාහයෙන් පසු ඇය දරුවන් වෙනුවෙන් කැප වුවාය.

කුඩා කල තම කේන්දරය බැලූ සාස්ත්‍රකාරයෙක් කියා ඇත්තේ තද නීච ග්‍රහයන්ගේ බලපෑම නිසා ඇගේ උත්පත්තිය මුළු පවුලටම අපලදායක බවලු. එහෙත් ඇය අහම්බෙන් නිළියක් වී ජනප්‍රිය නිළියක් ලෙස වසර දහ තුනක් රිදී තිරය වර්ණවත් කළාය.

එකල 'සරසවිය' පත්‍රයේ ඇය පිළිබඳව ඡායාරූප හා විශේෂාංග නිරතුරුව පළ විය. 1964 'සරසවිය සිනමා' විශේෂ සංග්‍රහයේ රියැන්සි විජේරත්න ගත් අපූරු ඔප කඩදාසියේ මුද්‍රණය වූ ඡායාරූපයකට එල්මෝ ගුණරත්න මේ විවරණිකාව කර තිබුණි.

'හැගීම් දනවන දීප්තිමත් දෙඇසක් මුහුණක්, කාන්තා ගුණය, නැටුමටත්, සංගීතයටත් හුරු වූ කාලානුරූප ඉරියව්, එදා 'සුජාතා' වේ සුජාතා සිංහල සිනමා ලෝලයින්ට නැතිවම බැරි විය. ඒකාකාර දෙයින් පීඩිත ඈ අද අලුත් දෙයක් සොයා යන්නියක සේය.'

අප්‍රේල් මාසයේ ඉපදී අප්‍රේල් මාසයේ දිනක ෆ්ලොරිඩා නම් මේ ජනප්‍රිය නිළිය අපෙන් සමු ගත්තාය. 2007 වසරේ අප්‍රේල් 06 ඇය ඕස්ට්‍රේලියාවේදී දියණියකගේ නිවසේදී අවසන් හුස්ම හෙළුවාය.