වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




රත්නාවලී කැකුණවල මැතිනියට නිවන් සුව පතමු

රත්නාවලී කැකුණවල මැතිනියට නිවන් සුව පතමු

කෝරළේ මැණිකේ සුර ලොව යන්න ගියා

ගුවන් විදුලියේ පහනක් නිවී ගියා

ගැඹුරු මිහිරි හඬ ගුවනේ පැතිර ගියා

මුවන් පැලැස්සත් සුළඟට ගසා ගියා

උපතින් ලැබූ දස්කම් ඇත ඔබ සතුව

රංගනයෙදිත් පෙන්වූයේ නිරතුරුව

'රත්නාවලී'ගේ රැඟුමට ජනතාව

ඇල්මක් දයාවක් තිබුණා නිරතුරුව

'කදිරා' 'පිනා' කොරාළේ මැතිතුමාණන්

මැණිකෙගෙ හඬට අවනතයක් දැක්වීමෙන්

ජනතාවගේ හද තුළ රුව ඇඳීමෙන්

නිවනට යන්න පතනෙමු අපි අමා සුවෙන්

ආර්. ඒ. සෝමා රණසිංහ

දිවියෙන් සමුගත් රත්නාවලීට

ප්‍රතාපවත් ගැඹුරු ස්වරයෙන් පුරා දශක ගණනාවක් රටක් ආමන්ත්‍රණයෙහිලා ඇයට භාග්‍ය ලැබුණි. ගුවන් විදුලි ශ්‍රාවකයින් නොදුටු දුෂ්කර පෙදෙසක සුන්දර ග්‍රාමයක පිහිටි ගාම්භීර වලව්වක විසූ 'කෝරලේ මහත්තයා' හට ඔබ සෙනෙහෙබර බිරින්දෑ කෙනකු විය. ශ්‍රාවකයා අභිමුව හිඳමින් ඇය චරිතයට ජීවය දුන්නේය. ඇයගේ එක් වදනකින් 'මුවන් පැලැස්සේ' වැසියන් හිස නැමූහ, දණ ගැසූහ, පසුබා පලා ගියහ.

මෙම කලාකාරිණියගේ රංගන ප්‍රතිභාව සහ කටහඬ එපමණකින් ජනප්‍රිය විය. එම සොඳුරු මතක අතීතය නිමා කරමින් ගුවනින් දෙසවන් සනහාලූ රත්නාලී කැකුණවල හෙවත් ළමා, තරුණ සහ වැඩිහිටි සැමගේ අසීමිත ප්‍රසාදයට පාත්‍ර වූ 'මැණිකේ' ජනතාවගෙන් සදහටම සමුගෙන නික්ම යෑම සංවේගජනක පුවතකි. එතුමියට නිවන් සුව පතමු.

රන්මුතුගල
සරත් ලියනගේ

මැණිකේට නිවන් සුව

'මුවන් පැලැස්ස' ගුවන් විදුලි නාට්‍යයේ 'මැණිකේ' ලෙස දශක 4 ක් පුරා බාල, තරුණ, මහලු සියලුම ගුවන් විදුලි රසික රසිකාවියන්ගේ ඉමහත් ජනාදරයට පත් වූ 'රත්නාවලී කැකුණවල' නම් විශිෂ්ට රංගන ශිල්පිනියට නිවන් සුව ලැබේවා.

අත්තනගල්ලේ
විමලසේන හපුතන්ත්‍රි

නිවන් සුව

1951 සිට ගුවන් විදුලි ශිල්පිනියක් වූවා

හඬ කැවීම් මැදිරියේදී මාතාව වූවා

මුවන් පැලැස්ස 123 හිම රඟ දැක් වූවා

86 වන වියේදී අප හැර යන්නට වූවා

සිනමා ලොවේ වැඩිහිටි චරිත රඟ පෑවා

'සත් සමුදුර' එහි ආරම්භය සනිටුහන් වූවා

දඩයම, නිලම්බරේ, පායා එන්න හිරු සේ වූවා

එතුමියට නිසැකවම නිවන් සුව අත් වේවා

මොරටුව, කටුබැද්දේ
ඩඩ්ලි ගෝමස්

අප හැරගිය මැණිකේට

එදා තම සොහොයුරු වික්ටර් මිගෙල්ගේ අතේ එල්ලී ප්‍රථම වරට ගුවන් විදුලියට පා තබා දශක පහක් මුවන් පැලැස්සේ ළමාතැනී නොහොත් මැණිකේ ලෙස රසික ප්‍රතිචාර මැද වාර්තාවක් ද තැබූ වේදිකාවේ සිනමාවේ පමණක් නොව පුංචි තිරයේ ද තම රංගන කුසලතා ඔප් නංවා කලා ලොව මෙන්ම රසික ලොව ද නොමඳ ආදර ගෞරවයට පාත්‍ර වී නිතහමානී ආර්ශමත් දිවියක් ගත කළ, කලක් රෝගාතුරව සිට පසුගියදා අපගෙන් සමුගත් රත්නාවලී කැකුණවල දයාබර මෑණියෙනි, අපේ දයාබර මැණිකේ ඔබට නිවන් සුව අපේ පැතුමයි.

හේකිත්තේ
ලක්ෂ්මන් රණසිංහ

දුෂ්ට ප්‍රතිරූපය සදා මතකයේ

60, 70, 80 දශක තුළ කතාබහට ලක් වූ ගොරෝසු කටහඬත්, තට්ට හිසත් සිනමාවේ දුෂ්ඨ ප්‍රතිරූපයකි. 'කතුරු මුවහත්' 'අපරාධය දඬුවම' 'අභිරහස' 'දුලීකා' චිත්‍රපට තුළින් රසික රසිකාවන් මුසපත් කිරීමට සමත් විය. සම්පත් ශ්‍රී නන්දලෝචන ඔබව රසිකයින්ට අමතක නොවනු ඇත.

ඊ. දයානන්ද ද සිල්වා
සීනිගම

අම්මාගේ අගය වටහා ගත් ක්‍රිස්ටි

රංගනයට සේම ගායනයට ද දක්ෂ ක්‍රිස්ටි ලෙනාඩ් ඔබ රඟපෑ චරිතයන් මෙන්ම ගැයූ ගීතයන් ද අප හදවත් තුළ තවමත් රැඳී ඇත. ඔබ වැනි සැබෑ විකටයින් අද නැත. ජීවිතය තේරුම් ගෙන නිවැරැදි දිවි පෙවතක් ගෙවූ ක්‍රිස්ටි මවකගේ සෙනෙහසේ අගය මැනවින් වටහා ගත් නළුවෙකි. ඔබගේ රුව ගුණ සදා අමරණීයයි.

කල්‍යාණ ජයනෙත්ති
උණවටුන

රංගනය විශිෂ්ටයි

මේ දිනවල හිරු රූපවාහිනියෙන් විකාශය වන උරුමයක අරගලය ටෙලි නාට්‍යයේ සහ ස්වර්ණවාහිනියේ විකාශය වන සුදු අඟුරු ටෙලි නාට්‍යයේ ඉතාම විශිෂ්ට රංගනයන්වල යෙදෙන ශ්‍රියන්ත මෙන්ඩිස්ට මගේ උණුසුම් සුබපැතුම්.

යූ. ජී. පාලිත කුමාරසිංහ
ගඩලාදෙණිය

බැද්දට සඳ ගැමි සුවඳ විහිදුවයි

බැද්දට සඳ කාලෙකට පසුව අප නරඹන ගැමි සුවඳ වහනය වන හොඳ ප්‍රාණවත් ටෙලි නාට්‍යයකි. වින්නඹු අම්මා ගමේ හැමටම ඒ ඒ අවස්ථාවලදී පිහිටවන අතරම ඇයගේ වියෝවෙන් පසු ඇයගේම තරුණ දියණිය එම කටයුත්ත දිගටම කරගෙන යෑමෙන් සැමගේ ආදරය හා ගෞරවය ඇයට ලැබේ. එහෙත් ඇය මහත් ඛේදවාචකයකට හිටි හැටියේම මුහුණපායි. ඒ රාළහාමිගේ පුතු විසින් ඇයව දූෂණය කිරීමය. මේ නිසාම ගම හැරදා ඇය පලා යයි.

මල්කාන්ති ජයසිංහ, දයා වයමන් හා ග්‍රේස් තෙන්නකෝන් හොඳින් වැඩිහිටි චරිත රඟපායි. පුබුදු ගමග්, වොල්ගා කල්පනී නව පරපුරේ නිළි අශංසා පීරිස්ගේ රඟපෑම් ද ප්‍රතිභාන්විතයි. ගැමි සිතුම් පැතුම් හා සුහදතාවය විදහා දැක්වෙන හොඳ ගැමි නාට්‍යයකි බැද්දට සුවඳ.

මොරටුව, කටුබැද්දේ
සුනිමාලි ගෝමස්

දිගු කලකට පසු දුටු සංජයට

පිණි ටෙලි නාට්‍යයේ ඇන්ටන් ලෙස රංගනයේ නියැලෙන සංජය ලීලාරත්න රසික ආකර්ශනය දිනාගත් රංගන ශිල්පියෙකි. කලක් සිංහල සිනමාව පෝෂණය කළ සංජය දිගු කලකට පසු ටෙලි නාට්‍යය ඔස්සේ රංගනයට අවතීර්ණ වීම සතුට දනවන කරුණකි. ඔබගේ ඉදිරි කලා කටයුතු සාර්ථක වේවා.

එච්. ඉන්ද්‍රපාල
මුංහේන

ගැමිකම නිරූපණය කළ එස්. ඒ. ජේමිස්

අපේකම ගැමිකම නියමාකාරයෙන් නිරූපණය කළ ඉතා තැන්පත් දක්ෂ ලෙස වියපත් චරිත සිංහල චිත්‍රපට තුළින් අප වෙත ගෙන ආ නළුවෙකු එකල අප සතු විය. ඔහු නමින් එස්. ඒ. ජේමිස්ය. නාමිකව ඔහුගේ නම තරමක් ජනප්‍රිය නොවුණාට ඔහු රඟපෑ චරිත ඔහුගේ නමට වඩා ප්‍රභල විය. 'කල්්‍යාණි ගංගා' හි ශ්‍රියාණිගේ පියා ලෙසත්, 'මුවන්පැලැස්සේ' මාලිනීගේ පියා ලෙසත් 'සිරිපාල සහ රං මැණිකා' හි රවීන්ද්‍රගේ පියා ලෙස ද රඟපෑ ඔහු තවත් චිත්‍රපට ගණනාවක විවිධ චරිත රඟපෑහ. අවසාන ලෙස 'මිහිඳුම් සළු' චිත්‍රපටයේ රඟපා 1984 වසරේදී අපව හැර ගියහ.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
පස්යාල

ස්වර්ණවාහිනියට දේශීය ටෙලි නාට්‍ය අකැපද?

2018 රයිගම් සම්මාන ටෙලි නාට්‍ය උලෙළේදී හොඳම නිළිය බවට පත් වූ නිළිය රඟපෑ බැද්දේ කුලවමිය ටෙලි නාට්‍ය විකාශය වූයේ ස්වර්ණවාහිනි නාළිකාවේය. නාළිකාව පටන් ගත් කාලයේ සිටම දේශීය ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවක් මෑතක් වන තුරු විකාශනය කරන ලදී. අර්ථවත් හරවත් ටෙලි නාට්‍යවලට එමඟින් මඟ පෑදුණි. නමුත් මෑතක සිට විදේශීය ටෙලි නාට්‍ය ස්වර්ණවාහිනි නාළිකාව හරහා විකාශය කිරීම තුළින් දේශීය ටෙලි නාට්‍ය රසාස්වාදයට එල්ල කර ඇත්තේ පහරකි.

දිනේෂ් ගුණසේකර
මාතර

පැරැණි ගී සහ ශිල්පීන් රැක ගනිමු

අපට තිබෙන හොඳම ගීත සම්පත පැරැණි ගීත සම්පතයි. අද එම ගීත විනාශ වන තත්ත්වයකට පත්ව තිබේ. රූපවාහිනී නාළිකාවලට රියලිටි වැඩසටහන්වලිනුත් එළිමහන් ප්‍රසංගවලත් මේ දිනවල ඉතාමත් පහත් තත්ත්වයකට එම ගීත ලක් කොට තිබේ. එම නිසා එම පැරැණි ගීතත් එම ගීත ගැයූ පැරැණි ශිල්පීනුත් රැක ගැනීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන මෙන් වගකිව යුතු අංශවලින් ඉල්ලීමක් කරමු.

ජයන්ත අමරතුංග
පොළොන්නරුව