වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




නෙලා නොගත් අස්වැන්න
‘නෙලා’ සිනමා විමසුම

නෙලා නොගත් අස්වැන්න

ඔහු තණ්හාව අධ්‍යයනය කළේ 'අස්වැසුම' (2001) පිළිගන්වමිණි. 'සුළඟ' (2005) ට හසුව ගැහැනියක මුහුණදෙන සමාජ වපසරියත්, යුද්ධයේ ව්‍යසන 'ඉර හඳ යට' (2010) තුළින් කියා පෑ බෙනට් රත්නායක නම් වූ සිනමා අධ්‍යක්ෂවරයා අද දවසේ ප්‍රේ්මයේ නොනිමි සොඳුුරු වින්දනීය තතු තවත් එක් මානයකින් ගෙනහැර පාමින් සිනමා කෘතියක් ඉදිරිපත් කරයි. ඇය නමින් 'නෙලා' (2018) නම් වෙයි.

කඳුකරයේ මිහිරියාව, මල් පෙත්තක හරය, අඳුරු ලෝකයේ සොඳුරු විලාසය දෑස් නොපෙනෙන ජෝර්ජ් සුරූපී හදවතක් ඇති විරූපී නෙලාගෙන් නෙලා ගන්නට තැත් කරන්නේ අපූරු චමත්කාරයක් ප්‍රේක්ෂකයාට තිළිණ කරවමිනි. එනමුදු ජෝර්ජ්ගේ දෑස් ආලෝකයේ පුසුඹ විඳ ගැනීමත් සමඟම සියල්ල බිහිසුණු ලෙස නිමාවට පත් වෙයි.

'නෙලා' හි අන්තර්ගත නෙත්කළු අයස්කාන්ත රූප භාවිතා සමස්තය චිත්‍රපටය පුරාවටම ගෙන දෙන්නේ නවමු හරයකි.

'මල් කියන්නෙ තරුවලට . . .'

'ෆැන්ටසි කතා රූපතල නාටකීය දෘෂ්ටියක් විද්‍යමාන කරමින් පසුබිම් සංගීතය, සියල්ල අපූරු ලෙස පෙළ ගස්වයි.

නෙලාගේ මුහුණත් රූපය ආයාසයෙන් බැලීමට සැලැස්වීම පර්යේෂණාත්මක මුහුණුවරකි. නමුත් මන්දගාමී රූපණ භාවිතය ප්‍රේක්ෂක මැලිකම දියුණු තියුණු කරවන්නේ නිතැතිනි. රූප ද්වය මත එක තැන කතාබහ විටෙක නිද්‍රජනකය. තවත් විටෙක ආල විලාස දියුණු කරවයි.

' මට ගොඩක් සතුටුයි

ඒ වගේම දුකයි

දුකයි සතුටයි දෙකම එකට'

වින්දනීය විඳීම ප්‍රකාශන මාධ්‍යයෙන් ඉස්මතුවීම, රූප ඉඟි බිඟි බොහෝ දේ පවසයි.

'මට මාවම පේනවා'

පෙනෙන ලෝකයේ නොදකින බොහෝ දේ එහි අන්තර්ගත යැයි හැඟේ.

'මට දැනටමත් ඔයාව පේනවා'

නමුත් ඉසබෙලාගේ ප්‍රවිෂ්ටය, ශල්‍යකර්මය තුළින් සියල්ල වෙනස් කරන්නට සමත්වන සිදුවීම් ආයාසයෙන් ප්‍රේක්ෂකයාට පිළිගන්වන්නට යත්න දරමින් අධ්‍යක්ෂවරයා සියුම් ලෙස සිනමා කෘතිය තුළ ජීවත් වෙයි.

'මං ඔයාව හොයාගෙන ආවා'

ඉසබෙලාගේ ප්‍රකාශය එහි හරය විය හැකි බව ඒත්තු ගැන්වෙයි. ප්‍රේමණීය භාව ප්‍රකාශන මත දිග හැරෙන ඊර්ෂ්‍යාව බද්ධ වීම සංකේතාත්මක ලෙස රූප භාෂාවකින් මතු කරවයි.

'අපට පේන්නෙත් නෑ

අල්ලන්නත් බෑ . . .'

සියල්ල සනිටුහන් කරවමින් 'නෙලා' දිය චලනය කරවීම එහි කූටප්‍රාප්තියයි. එහෙත් ඉසබෙලා අනාගතය සමඟ ජෝර්ජ් සතු කර ගැනීමේ නොතිත් ආශාවෙන්ම ඉවසා සිටියි. දැඩි ස්වයං හික්මීමක ලකුණු ඈ තුළින් පහළ කරවයි. නෙලාව පිරිසුදු කරවීම, පල්ලියට එක් කරගෙන යාම, අකුරු කියා දීම නිදසුන් සේම අධ්‍යක්ෂවරයා එම අවස්ථාවන් රූපයට පසුබිම් කරගන්නා දැකුම්කලු පසුබිම් රූපාවලීන් සංයුතිය තවත් අපූරුතා එක් කරවයි.

ඉන් විද්‍යාමාන වන්නේ නෙලා සහ ඉසබෙලාගේ රංගන හසුරුව නෙලා ගත් පොහොසත් අස්වැන්නක් බවයි. නමුත් සියල්ල සිනමා කෘතිය තුළින් නෙළා ගැනීමට අධ්‍යක්ෂවරයා අපොහොසත්ය. හදිසි සුළඟකට හසු වූ වැන්නකි.

'මට ඇස් ලැබුණාම ඉසබෙලා විවාහ වෙන්න කැමතියි. බලාපොරොත්තුවෙන් ඉන්නෙ මාව'

ජෝර්ජ් දැක ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින නෙලාගේ අපේක්ෂා ක්‍රමයෙන් සුන්වෙන ප්‍රකාශ මුසු දසුන් ජෝර්ජ්ගේ පියාගෙන් ප්‍රකාශිත වේ. මෙම අවස්ථා තූලනය එම සමාජ වටාවේ තරම ඉස්මතු කර දක්වයි.

'කිරි ටිකක් දුන්න නම් . . .'

'උඹ අදත් ආවද? සෙමාට වරෙන්. කිරි . . .'

විටෙක ඒකාංගික ටෙලි නාට්‍යයක ස්වරූප පසක් වෙයි. නමුත් අත්දැකීම් වැනි යමක් සීරුවට මනසේ මැවීම නම් අත්හල නොවේ. නෙලා තුළින් අත්විඳින නොනැසෙන රසයක් ජනිත කෙරෙයි.

තවත් විටෙක,ශල්‍ය ක්‍රියාකාරකම් අතරින් ජනේලය හා බද්ධ වන රූපය අන්ධභාවයට එළියක් වැනි ප්‍රතිරූපයක් ජනිත කරවන්නේ බලාපොරොත්තුවකි.

නෙලාගේ සිතිවිලි සැබැවින්ම අවංකය. ශල්‍යකර්මය සිදුවෙන අවස්ථාව හා මුසුවන පසුබිම් පරිසරය වටපිටාව අධ්‍යක්ෂවරයා නෙලාගත් අපූර්වත්වයකි.

අන්ධ නිසා හැඟීම්වලින්, වචනවලින් ආදරය කරන ජෝර්ජ් නෙත් ලබා තත්‍ය ලෝකය දකිද්දී, ඉන් ඉසබෙලා ලබන තෘප්තිය ප්‍රසන්න වූ හැඟීම් ඉරියව් සිනමා තිරය සරසයි. ඉසබෙලා, ජෝර්ජ් සිඹ ස්පර්ශ කිරීම හරහා නෙලාගේ පා ගැටී කිරි බඳුන ඉහිරී යාම අපූරු ඡේදනයකි. නෙලාගේ ජීවිතයට ගෙන දෙන ජීවිත සංකේතය ඉස්මතුවකි.

නෙලා අසුන් ගන්නා ධවල පැහැ දිග බංකුව ජෝර්ජ් පිටතට පැමිණෙන බංගලාවේ දොරටුව සංකේතාර්ථ වේ. එහි උච්චතම අවස්ථාව වරෙක කැමරාවට හසුවේ. රූප දසුන පසුපසට යාම අපූරුවකි. විසිතුරු කැමරා රූප මානයකි.

'දෙයියො ඒක දන්නවා

මගෙ අම්මත් ඒක දන්නවා'

රෝගී වූ නෙලා සොයා සිදුවන වෛද්‍යවරයාගේ ගමන ගැළපේදැයි සිතේ.

තප්පරයක දෙකක අහඹු දසුනක් අපූරුතා මවයි. දවස උදා වීම: කුරුලු ජෝඩුවක් අසල සිටින තවත් කිරිල්ලියක් ද අප දකින්නේ යන සිතිවිල්ල සහිත රූප ජෝර්ජ්ගේ පෙනීම ලැබීමත් සමඟ විද්‍යාමාන වේ. වර්ණාලෝක පරිසර චමත්කාරය අපූරු මනස්කාන්තයකි.

'හැම දෙයක්ම හරි පුතා

හැම දෙයක්ම හරි'

කුලමාන ගර්වයෙන් පෝෂිත පැලැන්තියේ වටපිටාව අභව්‍ය නමුත් පරසරයට උචිතය. නිසි තත්ත්වයම එයම බව ජෝර්ජ්ගේ පියාගේ සියුම් හැසිරීම තුළින් සාක්ෂි දරයි.

දුරස්ථ පසුබිම් දසුන් හැඩතල ස්වභාවික පරිසරයේ චමත්කාරය කැමරා ඇසට ගෙන ප්‍රේක්ෂක ඇසට මුදා හැරීම අංජනයක් වැන්න. රූපමය අවකාශ උසස් ප්‍රමිතියක ලක්ෂණ කුළුගන්වයි. වසර සියයකට එහා ගිය අතීත රූපණ භාවිතා සංයුතිය දෘෂ්්ටාන්තයකි. ප්‍රශස්ත ව්‍යායාමයකි.

වේශ නිරූපණය ගැටලු සහගතය. ව්‍යාකූලය. නෙලාගේ මුහුණ හා බැඳෙන අවස්ථාවන් ඊට කදිම නිදසුන් සපයයි.

චරිත ත්‍රිත්වයක් මත (ජෝර්ජ් - නෙලා - ඉසබෙලා) දෙපැයක් පුරා හැසිරෙන 'නෙලා' සිනමා කෘතිය තුළින් මතුවන රූපමාදිලිය අප හා ගනුදෙනු කරන්නේ අපූරු නෙත් සැරසිලි කරමිනි. චරිත නිරුපණයේදී ජෝර්ජ් (උදාර රත්නායක) තවමත් ආධුනිකය. ඉසබෙලාගේ (තාරුකා වන්නිආරච්චි) සහ නෙලාගේ (ශලනි තාරකා) රංගන භාවිතාවෙන් සියල්ල සංතුෂ්්ටියට පත්කරවයි. ආදරයේ ආකෘතික ලක්ෂණවලින් බැහැර වූ කෘතියකින් මැවෙන රූප ශලනි තාරකා තුළින් නිරූපණය වන්නේ තරු අබිබවා යාමක් ලෙසිනි.

සංවෘත ජනේලයට පිටතින් වැසි දිය වෑහෙන සමීප රූපය විවෘත සිතිවිලි ජනිත කරවයි. එතැන් සිට දිග හැරෙන සියල්ලේ සමාප්තිය යළි සංවෘත ජනේලය සමඟ මුසු වෙයි. ජනේලය පිටතින් ගලා ගිය වැසි දිය තුරල් වී තිබේ. සමාප්තිය එසේ සනිටුහන් වෙත්දී සිනමාරූපණ භාවිතාවක මුසුව ගළපමින් තාත්විත බවක පෙරනිමිති 'නෙලා' තුළින් දෘශ්‍යමාන වේ.

'ඇසට අසුවන රුවක් වුව මැන

හිතෙනව විතරයි හැඟෙන ආදරේ . . .'

නෙලා කතා කරන්නේ නැත. පෙර දවසේ වාගේම විසිල් හඬ ඇසේ. ෆැන්ටසියක සිතිවිලි පිටර ගලන රූපමය භාෂාවකින් 'නෙලා' නිමා වේ. සිතින් නැවතුමක් වැනි හැඟීමකින් ප්‍රේක්ෂක සිත් සංතාපයට පත් කරවයි. එබැවින් මෙය නෙලා නොගත් අස්වැන්නක් දැයි හැඟේ.