වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




2018 උසස් පෙළ සඳහා සැරසෙමු

2018 උසස් පෙළ සඳහා සැරසෙමු

බෞද්ධ පූජා කර්මවල නාට්‍යමය ලක්ෂණ

නාට්‍යමය ලක්ෂණ දක්නට ලැබෙන බෞද්ධ පූජාකර්ම කිහිපයක් හඳුනාගත හැකිය.

1. දොරකඩ අස්න

2. ආලවක දමනය

3. මිලින්ද ප්‍රශ්නය

4. යුගාසන බණ (ආසන දෙකේ බණ)

දෙරකඩ අස්න

සති පිරිත පවත්වන විට සෑම දිනකම උදේ 6.00 ට පිරිත් සජ්ඣායනා කරන නමුත් සත් වැනි දවස එසේ නොකරයි. එදින භික්ෂූන් වහන්සේලා වඩින්නේ උදේ 8.00 ට පමණය. එදින වෙනදා මෙන් නොව පැය භාගයකින් පමණ සියලු වැඩ හමාර කරයි.

දේව දූතයකු ලෙස වෙස් වලාගත් පිරිමි ළමයෙන් කලින් පෙරහැරේ හිස මත තබාගෙන ආ තල් ගොබයක් සංඝයා වහන්සේලාට පිරිනමයි. මෙහිදී එක් භික්ෂූන් වහන්සේ නමක් ලිත බලා දේව දුතයා ගමන ආරම්භ කළ යුතු වේලාව හා නැකත තල්පතක ලියා සංඝයා ඉදිරියේ කියවා දැනුම් දෙයි. තවත් භික්ෂූන් වහන්සේ නමක් විහාර අස්නය කියවයි. එම විහාර අස්නයෙන් කියැවෙන්නේ සියලු විහාරවල නම් කියා එම විහාරවල සහ අසල දේවාලවල දෙවිවරුන්ට එදින රාත්‍රියේ මංගල සූත්‍රය සහ ආටානාටි සූත්‍ර දේශනාව ඇසීමට පැමිණෙන ලෙස දැනුම් දීමයි.

මින් අනතුරුව ලිත කිය වූ භික්ෂුවම දේවාල තල්පත ලියයි. මෙය තල්පත් 4 ක ලියනු ලබයි. එය අසල පිහිටි දේවාලවල දෙවියන්ට පැමිණ පින් ලබාගන්නා ලෙස කෙරෙන 'සංඝාන්තිය' (සංඝයාගේ අණ) කි. මෙය උල්ලංඝනය නොකළ යුතුය. මෙම දේවාල තල්පත භික්ෂුන් වහන්සේ නමක් දේව දූතයාට භාර දෙයි. ඉන් පසුව භික්ෂූන් වහන්සේලා පිටව යයි.

තලපත් සතර අලංකාර ලෙස සරසන ලද ලීයක දෙකොනෙහි එල්ලා දේව දූතයා කඩුගත් දොරටු පාලකයන් අට දෙනෙකු පිරිවරින් දේවාලයට ගෙන යයි. භික්ෂූන් වහන්ස්ලා ද පෙරහැරින් දේවාලයට වැඩම කරති. දේවාලයට වැඩම කළ පසු විෂ්ණු සහ කතරගම දේව රූප ඉදිරියේ භික්ෂූන් වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරයි. ඉන් අනතුරුව වාදනය කෙරෙන මඟුල් බෙර වාදනයෙන් පසුව දේව දූතයා දේවාල තල්පත කියවයි. ඉන් අනතුරුව පහන් දල්වා පිරිත් පැන් ඉසිනු ලබයි. අවසානයේ තල්පත් සතර දේවාලයේ සතර දිසාවේ එල්ලා භික්ෂූන් වහන්සේලා විහාරයට වැඩම කරති.

භික්ෂුන් වහන්සේලා නැවත වඩින තුරා දේව දූතයා කඩුගත් ආරක්ෂකයන් විසින් මුර කරන කාමරයක තබයි. අනුශාසනාව දේශනා කිරීමට පත් කළ භික්ෂූන් වහන්සේ සමඟ දේව දූතයා රාත්‍රියේ පිරිත් දේශනා කිරීමට භික්ෂුන් වහන්සේලා වඩින පෙරහැරේ පැමිණේ.

දොරකඩ අස්නේ අවසාන ජවනිකාව අතිශයින්ම නාට්‍යමය ජවනිකාවකි. භික්ෂුන් වහන්සේලා පිරිත් මණ්ඩපයේ වැඩ සිටිති. දේව දූතයා දොරටුව ළඟ සිටියි. දොරටු පාලකයෝ දේවදූතයා දෙපස සිටිති. දේවදූතයා කැටුව ආ භික්ෂුව සහ දේවදුතයා අතර සංවාදයක් ඇතිවේ. ඉන් අනතුරුව දේවදූතයා දොරකඩ අස්නේ පෙළ කියවයි. උපද්‍රව නිවාරණයට සහ අභිවෘධි වර්ධනයට විරූඪ, විරූපාක්ෂ, දෘතරාෂ්ඨ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවිවරු පිරිවරින් වැඩි බව එයින් කියැවේ. අවසානයේ භික්ෂුව අනුශාසනාව කරනු ලබයි.

දොරකඩ අස්නේ නාට්‍යමය ලක්ෂණ:

* සමාරෝපය

(දේවදූතයා, දොරටු පාලකයෝ)

* සංවාද භාවිතය

(දේවදූතයා හා භික්ෂුව අතර)

* රංග වස්ත්‍ර, අංග රචනය,

රංග භාණ්ඩ භාවිතය

* සංගීතය (මඟුල් බෙර වාදනය)

ආලවක දමනය

ධර්ම දේශනාවට වඩින භික්ෂූන් වහන්සේ ප්‍රථමයෙන් පිරිස පංච ශීලයෙහි පිහිටුවයි. ඉන් අනතුරුව ආලවක දමනයේ කතා පුවතේ මුල් කොටස දේශනා කරයි. එහිදී අලව් රටේ අලව් රජතුමා මුව දඩයමේ ගිය ආකාරයත්, ආලවක යක්ෂයාට බිලිවුණු ආකාරයත්, ඔහුට දිනපතා නරබිල්ල බැඟින් දීමට පොරොන්දු වූ ආකාරයත්, මෙලෙස නරබිලි දී අලව් රජුගේ පුත් කුමාරයා බිල්ලට දීමට සිදු වූ ආකාරයත්, එදින අලුයම් වේලේ ලොව බලන බුදුන් වහන්සේ මෙම සිද්ධිය දිවැසින් දැක ආලවක යක්ෂයාගේ විමානයට වැඩම කළ බවත් දේශනා කරයි. ඉතිරි කොටස නාට්‍යානුසාරයෙන් රඟ දැක්වේ.

ගද්‍රභයා ලෙස වෙස් වළාගත් අයකු ආලාවක යක්ෂයාගේ විමානය මුර කරයි. භික්ෂූන් වහන්සේ බුදුන් වහන්සේගේ දෙබස් ප්‍රකාශ කරයි. මහායාන බුදු දහමේ මෙන් බුදුන් වහන්සේගේ චරිතයේ රඟපෑමක් මෙහිදී සිදු නොවේ. එයට හේතුව වස් වදීවි යැයි බියක් ඔවුන් තුළ තිබූ නිසාය. ගද්‍රභයා සහ බුදුන් වහන්සේගේ චරිතය අතර නාට්‍යමය සංවාදයක් සිදුවේ. එහිදී බුදුන් වහන්සේට පිටතට යන ලෙස ගද්‍රභයා අණ කරයි. තමා පිටතට නොයන බව බුදුන් වහන්සේ ප්‍රකාශ කරයි. මේ බව ආලවක යක්ෂයාට දැනුම් දීමට ගද්‍රභයා පිරිස මැදින් පිට වී යයි.

නැවත භික්ෂූන් වහන්සේ කතාව දේශනා කරයි. එහිදී ආලවකයාගේ බිරිඳට බුදුන් වහන්සේ ධර්මය දේශනා කළ බවත්, යක්ෂයන්ගේ රැස්වීමට ගොස් සිටින යක්ෂ සෙනවියන් එය හමාරව නැවත යන විට බුදුන් වහන්සේ සිටින බැවින් ආලවකයාගේ විමානය පසු කළ නොහැකි වූ බවත්, එම නිසා බුදුන් වහන්සේ වෙත පැමිණ මුණගැසුණු බවත් ආලවකයා යක්ෂ සමාගම හමාර වී නැවත තම විමානයට පැමිණෙන බවත් භික්ෂූන් වහන්සේ දේශනා කරයි.

මෙතැන් සිට කොටස නාට්‍යාකාරයෙන් රඟ දැක්වේ. ධර්ම ශාලාවේ පසුබිමින් 'හූ' හඬක් ඇසේ. බලි තොවිල්වල දක්නට ලැබෙන යක්ෂයකු මෙන් වෙස් වළාගෙන සිටින ආලවක යක්ෂයා ප්‍රේක්ෂකයන් අතරින් බුදුන් වහන්සේ අසලට එයි. ඔහු ගෙජ්ජි සොලවමින් බුදුන් වහන්සේ ඉදිරියේ භයානක විලාසයක් මවාපායි. ගද්‍රභයා බියෙන් තැති ගනිමින් ඔහු අසලින් සිටී. ආලවක යක්ෂයා බියකරු විලාස මවා පාමින් ඔබමොබ ඇවිදියි. විද්‍යාචක්‍රවර්ති 'බුත්සරණේ' කියා ඇති අයුරින් ආලවක යක්ෂයා විවිධ වැසි වැස්ස වූ ආකාරය භික්ෂුන් වහන්සේ දේශනා කරයි. ආලවක යක්ෂයා සහ බුදුන් වහන්සේ අතර ඇතිවන සංවාදය නාට්‍යමය සංවාදයකි. අවසානයේ යක්ෂයා බුදුන් වහන්සේට (භික්ෂුවට) වැඳ තෙරුවන් සරණ යයි.

නැවත භික්ෂූන් වහන්සේ කතාව දේශනා කරයි. එහිදී අලව් රජුගේ පුතා ආලවක යක්ෂයාට බිලිදීම සඳහා ගෙන ආ බව භික්ෂුව දේශනා කරයි. ඉතිරි කොටස රඟ දක්වා පෙන්වයි. එහිදී ඇමතියන් දෙදෙනා ලෙස පුද්ගලයන් දෙදෙනකු වෙස් වළාගෙන සිටී. කුමාරයා ලෙස බෝනික්කෙකු රැගෙන පැමිණෙයි. ඇමතියන් යක්ෂයාගේ අතට කුමාරයා භාර දෙයි. යක්ෂයා ලජ්ජාවෙන් ඇඹරී භික්ෂුව අතට දරුවා භාර දෙයි. භික්ෂුව දරුවා නැවත ඇමතියන් අතට භාර දෙයි. අතින් අතට ගිය නිසා කුමාරයා 'හත්ථාලවක' නම් වූූ බවත් අවසානයේ යක්ෂයා සෝවාන් වූ බවත් භික්ෂුන් වහන්සේ දේශනා කරයි.

ආලවක දමනයේ නාට්‍යමය ලක්ෂණ:

* කතා පුවතක් දක්නට ලැබිම

* කථිකයෙක් හෙවත් පොතේ ගුරෙක් සිටීම (භික්ෂුව)

* සමාරෝපයක් දක්නට ලැබීම (ගද්‍රභයා, ඇමතියන්, යක්ෂයා)

* භික්ෂුන් වහන්සේ බුදුන් වහන්සේගේ දෙබස් ප්‍රකාශ කිරීම

* රංග භාණ්ඩ භාවිතය (බෝනික්කා)

* ප්‍රේක්ෂකයන් සිටීම

* ප්‍රේක්ෂකයන් අතරින් ගොස් රඟපෑම

* ගද්‍රභයා සහ භික්ෂූන් වහන්සේ අතර සංවාදය

* ආලවකයා සහ භික්ෂුන් වහන්සේ අතර සංවාදය

* සංගීතය භාවිතය

* අංග රචනය සහ රංග වස්ත්‍ර භාවිත කිරීම