වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




1966 සරසවිය හොඳම චිත්‍රපටය සැනසුම කොතැනද?

1966 සරසවිය හොඳම චිත්‍රපටය සැනසුම කොතැනද?

ලාංකේය පැරණි සිනමාව තුළ තිබු විශාකේශත්වය, අද වුවද ප්‍රභාත්මකව දිලිසේ. එදා කඩවුණු පොරොන්දුවේ සිට අද ගමන් කරන සිනමා ව තුළ විශිෂ්ට මෙන්ම, විචිත්‍රවත් වූ සිනමා පට අනන්තවත් අපට හමුවුණි. ඒවා ජිවිතකාලය පුරාම අප මතකය තුල රැදී අප අවදි කරනු ඇත. එම සිනමාපට තුල අපව රදවා ගන්නට, සමත් වූ ප්‍රබල හේතුන් හුවා දැක්වීමෙදි ඒවා යළි යළිත් ස්පර්ශ කළ යුතුය. එසේ ස්පර්ශ කරනවිට ලබන ආශ්වාදය නම් සුවිශාලය. ලාංකේය සිනමා විශාකේශත්වය තුලින් එසේ ස්පර්ශ කරන විට අසුවන විචිත්‍රවත් සිනමා පට තුලට "සැනසුම කොතැනද" ඇතුල්වන්නේ නිරාශයෙනි. එය

කේ.ඒ.ඩබ්ලියු පෙරේරා ස්වාධිනව නිර්මාණය කළ මුල්ම චිත්‍රපටය වූ අතර, කේ.ඒ.ඩබ්ලියුගේ අනන්‍යතාවය පෙන්වූ එකම චිත්‍රපටයද එය විය.

1966 පෙබරවාරි 18වන දින සිමාසහිත සිනමාස් සමාගම විසින් ඉදිරිපත් කෙරූ මෙම චිත්‍රපටයට නිශ්පාදනයෙන් උර දුන්නේ එකල ප්‍රසිද්ධ ව්‍යාපාරකයෙකු වූ සෝමසිරි පෙරේරාය.

රාජ් කුමාර්, මීනා කුමාරි නදීරා රගපෑ ශංකර් ජායිකිශන් විසින් සංගීත අධ්‍යක්ෂනය කල "දිල් අප්නා ඕර් ප්‍රීති පරාය" හින්දි චිත්‍රපටයේ කථා තේමාව ලාංකේය සිනමා භාෂාවට හරවා, කේ.ඒ.ඩබ්ලියු ගේ අනන්‍යතාවය එයට මුසු කොට විචිත්‍රත්වයත්, නිර්මාණත්වයත් සංකලනය කර, අපූර්වතර චිත්‍රපටයක් කේ.ඒ.ඩබ්ලියුට අධ්‍යක්ෂනය කිරීමට හැකිවූයේ ⁣එම සිනමාපටය, ලාංකේය සිනමාව තුල සංදිස්ථානයක්ද ඇති කරවමිනි.

"සැනසුම කොතැනද?" විශේෂත්වයන් කීපයක්ම තිබුණි. එකල අතීශයින්ම ජනප්‍රිය නළුනිළියන් 4දෙනෙක් ප්‍රධානතම චරිත වලට පණ පෙවීම, ප්‍රේමසිරි කේමදාසගේ සිනමා පුනරාගමනය, හරුන් ලන්ත්‍රා, ඇන්ජලීන් ගුණතිලකගේ දුර්ලභ වූ සුසංයෝගය, ගාමිණී ෆොන්සේකා වීරත්වයෙන් මිදී අහිංසක පෙම්වතෙක් වීම වැනී දෑ එම විශේෂත්වයන්ට තුඩු දුන් කරුණු විය.

"දිල් අප්නා ඕර් ප්‍රීති පරාය" වැනි හින්දි චිත්‍රපටයක කථා තේමාවකින්, ⁣කල එළි බසින්නට කේ.ඒ.ඩබ්ලියු සිතන්නට ඇත්තේ එකල ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වී තිබුනේ හින්දි චිත්‍රපට නිසා වන්නට ඇත. නමුත් ඔහු එය ලාංකේය සමාජයට ගැළපෙන ලෙස "රී මේක්" කලේ "දිල් අප්නා ඕර් ප්‍රීති පරාය" නැරඹූ අයටත් 'දිල් අප්නා".... අමතක වෙන අන්දමටය.

දොස්තර රාජා, ප්‍රියානි,සහ මධුරි යන චරිත තුන හරහා දෝලනය වෙන මෙම ත්‍රිකෝණාකාර ප්‍රේම වෘත්තාන්තය තුළ හැල හැප්පීම් රාශියක් ඇති විය. ඒ හැල හැප්පීම් තුළින් සිහින් කුතුහලයකුත්,දැඩි සංවේගයකුත්, ඇති කරමින් ප්‍රේක්ෂකයාගේ සිත් තුලට රිංගවා, එය එම ප්‍රේක්ෂකයාගේම හදවත් තුල දශක ගනනාවක් තැන්පත් කරන්නට කේ.ඒ.ඩබ්ලියු සමත්විය.

දොස්තර රාජා ලෙස රගපෑ ගාමිණී ෆොන්සේකා ට තම ඇගේ හිරි ඇර ගන්නා චරිත වලින් මිදී සංයමයකින් ⁣රගපාන්නට සිදුවීමම විශේෂත්වයක් විය. තරමක භාවනාත්මක රංගනයකටද පිවිසෙන්නට ගාමිණීට හැකිවිය. කෙළිලොල් තරුණයෙක් ලෙස මුල් ජවනිකා කීපයේදී හැසුරුණු ඔහුට මධ්‍යම රූප රාමුතුල රොමාන්තීක ආදරවන්තයෙක් වන්නට සිදුවිය. ඉන් පසු නොගැළපන විවාහයක් කරගනිමින් පසුව අබ්බගාතකයෙකු වී බිරිදගේ අනේක නපුරු කම් වලට මුහුණ පාමින් අවසානයේ සසරින් මිදී පැවදි ජීවිතයට ඇතුළත් වන සංකීර්ණ ජවනීකාවලට මුහුණ දෙන්නට සිදුවිය. මතුපිටින් සරල චරිතයක් ලෙස පෙනුනද අභ්‍යන්තරය තුළින් දොස්තර රාජාගේ චරිතය, ඉසව් ගනනාවක් කරා යන්නට විය. එහෙයින් කාන්ඩ තුනකට තම රංගන ශෛලය වෙනස් කර ගැන්මට ගාමිණී ෆොන්සේකාට සිදුවිය. ඔහුට ඔහු විසින් විටෙක රගන අධිරංගනය පාලනය කර ගැන්මටද සිදු විය.

ප්‍රියානි ගේ චරිතය ඔප නැංවූනේ අහිංසක , පරාජීත පෙම්වතියක් ලෙසය. ලාංකේය හා ඉන්දියානු සිනමාවේ "මාකට්"කර හැකි චරිතයකි අහිංසක පරාජීත පෙම්වතිය. විශේෂයෙන් ගැහැනූන් හරහාය. ජීවරාණී කුරුකුලසූරීය, ජන හදවත්වලට කා වැදුණේ මෙම චරිතයෙනි. ජීවරාණිගේ රගපැම් පිළිබදව නම් යම් යම් විශාල ගැටලු තිබුනද, ප්‍රියානි වෙනුවෙන් රගපෑම කෙසේ වෙතද, අවම වශයෙන් පෙනී සිටීමට හෝ ඇයට හැකි විය.

මධුරි ගේ චරිතය සහය චරිතයක් වුවද, ඇයට කථාව තුල විශාල පරාසයක් තිබුනි. කේ.ඒ.ඩබ්ලියු මධුරිගෙ චරිතයට තෝරා ගත් නිළියගෙන් චිත්‍රපටයට ලැබුනේ විශාල ආලෝකයකි. එලෙසම චිත්‍රපටය පණ ගැන්වුවේද ඇයයි. එවකට සිනමාව තුල නැගී ආ එතෙක් මෙතෙක් ලාංකේය සිනමාවට එක්වූ සුරූපිම නිළිය සන්ධ්‍යා කුමාරි, මධුරි ගේ චරිතය රගපෑවාය. "සැනසුම කොතැනද" චිත්‍රපටයේ ගාමිණි,ජීවරාණි රගපෑවද ඔවුන් දෙදෙනාව අබිබවන්නට සන්ධ්‍යාට හැකි විය.

චිත්‍රපටයේ නාමවලිය දිස්වන්නෙ සන්ධ්‍යා කුමාරිගේ දැස් චලනය තුළය. එය නැවුම් ඉදිරිපත්කිරීමකි. ආරම්භයේදීම විශාල ගැම්මක් දී පටන් ගන්නා චිත්‍රපටය, පියවරෙන් පියවරට හරි අපූරුවට ගොඩ නැගුණි. දොස්තර රාජා සහ එම රෝහලේම හෙදියක් ලෙස රැකියාව කළ ප්‍රියානිගේ හමුවීමත්, ප්‍රියානි දොස්තර තේ සාදා දීමත්, එතැනින් සෙමෙන් සෙමෙන් දළුලන ආදරයත් කේ.ඒ.ඩබ්ලියු රොමැන්තිකව ඉදිරිපත් කලේ ඔහුත් එකල බද්‍ර යෞවනයේ සිටි නිසා වන්නට ඇත.

ගාමිණී හා ජීවරාණීද එම ආදර ජවනිකාවලට එක් වූයේ හරියට ඔවුන් දෙදෙනා ඇත්තටම ආදරය කරනවාක් මෙනි. ජීවරාණි ගාමිණී දෙස බලන ආකාරයත්, ගාමිණීත් ජීවරාණී දෙස බලන ආකාරයත්, කේ.ඒ.ඩබ්ලියුට අමුතුවෙන් කියා දීමට අවශ්‍යතාවයක් නොවන්නට ඇත. ඒ, සියල්ලෝම එකල සිටියේ පැණි බේරෙන,නාඹර තාරුණ්‍යයේ නිසා බැවිනි.

තවත් අතීශය කඩවසම් තරුණයෙක් මෙ⁣ම චිත්‍රපටය ඒකාලෝක කලේය. ඒ විසේකාර යොවුන් විය තුළ, නලියමින් සිටි, ටෝනී රණසිංහය. ඒ වන විට චිත්‍රපට දෙක තුනක රගපෑ ටෝනි තරුණියන්ගේ උන්මාදයට අසුවුනේ "සැනසුම කොතැනද" චිත්‍රපටයෙනි. හුඩ් එක ඇර ගත් රතුපාට ස්පෝට්ස් වර්ගයේ කාර් එක එලවාගෙන එන මේ අනංගයා, සැනසුම කොතැනද තුළින් සිනමා සිහින කුමරා විය. එය "හන්තාන කථාව"වන තෙක් ඇද ගෙන විත් එම සිහින කුමරු ඔටුන්න විජය කුමාරණතුංගට බාර දී පසුබැසීම වෙනම කථාවකි. නමුත් ටෝනිගෙ කඩවසම් තාරුණ්‍යයට, වශී වූ තරුණියන් "සැනසුම කොතැනද" තුන් හතර වතාවක් නැරඹූ බව නම් නොරහසකි. ගාමිණි, ජීවරාණී, ටෝනි, සන්ධ්‍යා එක්වී "සැනසුම කොතැනද?" දුන් විචිත්‍රත්වය අද වුවද සිහියට නැගෙනුයේ, එහී තිබූ ආකර්ෂණය නිසාමය.

ප්‍රේමසිරි කේමදාසගේ සිනමා ආගමනය "සැනසුම කොතැනද" බව ඉහත සදහන් විය. ආ ගමනය වූවද, කේමදාසයන්ගේ සංගීතය තුළ තිබු පරිණත බව නම් අද්විතීයය. ඔහු "සැනසුම කොතැනද" වෙනුවෙන්, ධර්මසිරි ගමගේ පද රචනයට සැකසුණු තනු අදත් නැවුම්ය.

ජේ ඒ මිල්ටන් පෙරේරා ගැයු "හංකිති සුරතල් නටන සරුංගල්", ලතා වල්පොල ගැයූ "ආදරයේ රන් විමනේ මැණික් හදක් පායලා" ඩබ්ලියු ඩී අමරදේව ගැයූ "සංසාර ගමනේ තන්හා ආශා", සී.ඩී. ෆොන්සේකා ගැයූ "තරුණ සිතක මිහිර රැගෙන ආපු කුරුල්ලා", සහ හරුන් ලන්ත්‍රා, ඇන්ජලින් ගුණතිලක ගැයූ "සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී" යන ගීත, ලාංකේය සිනමා ගීත සාහිත්‍ය තුළ රන් අකු⁣රෙන් ලියවූවා සේම, අදත් එය සැමදාම නැවුම් ලෙස, ප්‍රේක්ෂක, ශ්‍රාවක අතර රැදී සිටිනු ඇත. එය පරපුරෙන් පරපුරට යුග යුග ගීත ලෙස තවමත් ඉදිරියට යනුයේ එහි ඇති විශිෂ්ටත්වය නිසාමය. කේමදාසයන් අතින් මේ තරම් සුමධුර වූ තනු පසු චිත්‍රපටවල නිර්මාණය වූවාදැයි නම් සැක සහිතය.

කේ ඒ ඩබ්ලියු, ගේ "සැනසුම කොතැනද" තුළින් ඔහු ප්‍රේක්ෂකයා සිනමා පටයකින් බලාපොරොත්තු වන හැම දෙයම නොඅඩුව එකතු කලේය. සංවේගය, සන්තාපය, සන්තෝශය, විනෝදය, විචිත්‍රත්වය,‍ කුතුහලය, විරාගය, පරාජය, කලකිරීම, සංගීතය, නැටුම, ගැටුම මේ හැම දෙයකම සංකලනයක් වූවද, ඔහු එය වට්ටෝරුවක් නොකිරීමට වග බලා ගති. ටෝනිගේ, සන්ධ්‍යාගේ ආකර්ෂණීය රූප තුළින් ඔහු චිත්‍රපටය "ග්ලැමර්"කලේය. ගාමිණීගේ ජීවරාණී ගේ ආදරය තුලින් ඔහු චිත්‍රපටය "රොමැන්ටික්" කලේය. සන්ධ්‍යාගේ උමතුභාවය තුළින් ඔහු චිත්‍රපටයට "ත්‍රිල්" කළේය. බොල්ගොඩ ලේක් හී රූ ගත කළ ගාමිණී, ජීවරාණී ඇතුළු පිරිස යොදවා, හරූන් සහ ඇන්ජලීන් ලවා ගැයූ "සුළං කුරුල්ලෝ" ගීතයෙන් චිත්‍රපටය "එන්ටර්⁣ටේන්" කළේය. දක්ෂ එමෙන්ම එකල ජනප්‍රියතලයට පියමං කරමින් සිටි නළු,නිළි කැලක් සමගින් චිත්‍රපටය හිස් බවක් නොමැතිව පුරවා දැමීය.

දොස්තර රාජා හා ප්‍රියානි අතර තිබූ ආදරය මල්පල නොගැන්වෙන්නෙ රාජාගේ සහෝදර සහෝදරියන්ගෙ බල කිරීමට සංකර ගතිපැවතුම් ඇති, මධුරිව විවාහා කර ගැන්මට සිදුවූ නිසාය. රාජා නිහඩ,ආටෝපයක් නොමැති ජීවිතයකට ප්‍රිය කෙරුවද, මධුරි වේගවත් සංකර ජීවිතයකට හුරුවී තිබුණි. මේ හෙයින්, එම විවාහය තුළ දැඩි හැල හැප්පිලි ඇති විය. එම තත්වය තව තවත් දැඩි වූයේ, රාජා අනතුරකින් අබ්බගාත වී රෝද පුටුවට සීමා වූ පසුවය. ඒ හේතුවෙන් මධුරි ඔහුව නිවස තුලම දමා තම පෙම්වතුන් සමග ඇති තරම් විනෝද විය.

මේ අතර රාජාගේ උපකාරයට පැමිණියේ තවමත් විවාහ ජීවිතයට ඇතුළත් නොවූ රාජාගේ පරන පෙම්වතිය ප්‍රියානිය. මධුරි ප්‍රියානි එනවාටත් විරුද්ධ වී දිනක් ඇය ඔහු සමග සිටිනවා දැක, ප්‍රියානීට කම්මුල් පාරක් ගසා එලවා දමා රාජා ගේ රෝද පුටුව රාජා සමගම තල්ලු කර දැමීය. රෝද පුටුව නවත්වා ගන්නට නොහැකි වූ රාජා ටික දුරක් ගොස් පුටුවත් සමගම පෙරළී ගියේය. පසුව සසර කල කිරු රාජා, මහණ දම් පිරූ අතර ,සියලු පෙම්වතුන් විසින් මධුරිව අත් හැර දමා ගිය පසු ඇය උමතු විය.

"සැනසුම කොතැනද" කථා සාරංශය එලෙස වූ අතර එය විචිත්‍රවත් කිරීමට ගාමිණී ෆොන්සේකා,ජීවරාණී කූරුකුලසූරිය, සන්ධ්‍යා කුමාරි, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, පියදාස ගුණසේකර,එච්.ඩී කුලතුංග,හර්බට් අමරවික්‍රම, ජෝශප් සෙනවිරත්න,පද්මා සිරිවර්ධන, ශිරාණි කුරුකලසූරිය,එඩ්නා සුගතපාල, ලිලියන් එදිරිසිංහ, හෙක්ටර් ජයසිංහ ,ගැමුණු විජේසූරිය, මේබල් බ්ලයිත්,⁣බී.එස්.පෙරේරා, රගපෑමෙන් එකතු වූහ.

කේ විලියම්ස් කැමරා හා කාර්මීක අධ්‍යක්ෂනයෙන්ද, ටයිටස් හා සුජාතා තොටවත්ත සංස්කරණයෙන්ද, ධර්මසිරි ගමගේ ගීත රචනයෙන්ද, ප්‍රේමසිරි කේමදාස සංගීත අධ්‍යක්ෂනයෙන්ද, සම්බන්ධවූ "සැනසුම කොතැනද" දිල් අප්නා ඕර් ප්‍රීති පරාය හින්දි චිත්‍රපට කථා තේමාව අනුව කථාව සකසා තිරනාටකය හා දෙබස් ලියා අධ්‍යක්ෂණය කළේ කේ.ඒ.ඩබ්ලියු.පෙරේරාය.

"සැනසුම කොතැනද" විචිත්‍ර වූවා සේම විශිෂ්ට චිත්‍රපටයක්ද විය. එය සනාථ වූයේ 4වෙනි සරසවිය සම්මාන උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සමිමානය "සැනසුම කොතැනද"? ලබා ගත් අතර, එම වසරේ හොදම ගායකයා ලෙස "සංසාර ගමනේ තන්හා ආශා"ගීතය ගැයූ ඩබ්ලියු.ඩී.අමරදේවට හිමි වීමෙන්ය. එලෙසම එම උළෙලේදීම ,මධුරි ලෙස රගපෑ සන්ධ්‍යා කුමාරිට තම රගපෑමේ විශිෂ්ටත්වය වෙනුවෙන් කුසලතා සම්මානයක්ද පිරි නැමිනි.

විචිත්‍රත්වයත්, විශිෂ්ටත්වයත්,එකට සංකල්නය වූ, සෝමමිරි පෙරේරා නිශ්පාදනය කෙරූ සිමාසහිත සිනමාස් සමාගම ඉදිරිපත් කල කේ.ඒ.ඩබ්ලියු පෙරේරාගේ "සැනසුම කොතැනද?" චිත්‍රපටය ලාංකේය සිනමාව තුල සලකුණු වූ සුවිශේෂිත චිත්‍රපටයක් ලෙස සැලකිය හැකිය. එලෙසම ඉන්පසු කේ.ඒ.ඩබ්ලියු චිත්‍රපට 20 ගනනකට වඩා අධ්‍යක්ෂනය කෙරුවද, ඒ කිසිවකට "සැනසුම කොතැනද"ට ළංවීමටත් නොහැකි විය. අද එක රූප රාමුවක් හෝ සොයාගත නොහැකි වූ මෙය, අද පරපුරට නැරඹීමට නොලැබීම නමි ඛේදවාචකයක්මය. ඉන්දියාවේ ඊට පෙර නිපදවූ "දිල් අප්නා ඕර් ප්‍රීති පරාය" නම් චිත්‍රපටය අද යූ ටියුබ් හරහා වූවද නැරඹිය හැක. චිත්‍රපට සංරක්ෂනයක වටිනා කම අපට යලි යලිත් පසක් වන්නේ මේ නිසාය. ඉන්දිියාව එකල සිට ඒ ගැන සිතුවද, ලංකාව ඒ ගැන නොසිතීම නිසා විශිෂ්ට මෙන් විචිත්‍ර චිත්‍රපට ගනණාවක්ම අපට අහිමි විය. "සැනසුම කොතැනද"? චිත්‍රපටයද ඉන් එකක් විය.