වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




රොබෝට ආදරේ කරන්නේ නම් Pacific Rim Uprising කදිමයි

රොබෝට ආදරේ කරන්නේ නම් Pacific Rim Uprising කදිමයි

මනුෂ්‍ය වර්ගයාගේ සිතුවිල්ල වූයේ කෙදිනක හෝ තම වර්ගයා නැති කර දමනු ලබන්නේ අහසින් පැමිණෙන පිටසක්වළ ජීවින් පිරිසක් විසින් වනු ඇති බවයි. නමුත් සිතාගත නොහැකි අයුරින් මනුෂ්‍ය වර්ගයා විනාශකර දැමීමට දරුණු සත්ත්ව වර්ගයක් මුහුදෙන් මතු වූ අතර ඔවුන් 'කයිජු' නමින් හැඳීන්විණි. පෘථිවියේ සිටින සියලුම දෙනා දරුණු යුද්ධයකට පටලවා ගැනීම මෙම කයිජු ජීවින්ගේ අරමුණ විය.

කයිජු විනාශකර දැමීම වෙනුවෙන් මිනිසා ද තවත් එවැනිම වූ දරුණු රෝබෝ යන්ත්‍ර නිර්මාණ කළේය. 'ජේගර්ස්' නමින් හැඳීන් වූ මෙම රොබෝවකු මිනිසුන් දෙදෙනෙකු විසින් පාලනය කෙරිණි. කෙසේ නමුත් ජෙගර්ස්හටද කයිජු සත්ත්වයක් විනාශ කර දැමීමට නොහැකි වූ අතර ගුවන් නියමුවකු සමඟින් තවත් නුපුහුණු, පුහුණුවෙමින් සිටින නියමුවෙක් සහ වයස්ගත ජේගර්ස් කෙනෙකු වෙත පරාජය අභිමුව සිටි මිනිස් වර්ගයා බේරා ගැනීමේ අවස්ථාව භාර වේ.

ඔස්කාර් සම්මාන ලාභී අධ්‍යක්ෂ ගියෙමෝ ඩෙල් ටෝරෝ විසින් අධ්‍යෂණය කෙරුණු වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් විසින් බෙදා හරින ලද අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ Pacific Rim  2013 වසරේ දී රිදී තිරයේ දිග හැරුණේ මෙලෙසිනි.

එවර ඔවුන් යම් තරමක ජයග්‍රහණයක් ලබා ගත්තද කයිජු සමඟින් වූ එම යුද්ධයේ අවසානය වසර 2035 වන විට තවත් දරුණු යුද්ධයක ආරම්භයක් වී ඇත. මුල් යුද්ධයේ පුමුඛත්වයක් ඉසිලූ මාර්ෂල් ස්ටෙකර් පෙන්තකොස්ට්ගේ පුත්‍රයා වන ජේන් පෙන්තකොස්ට් වෙත මෙවර කයිජුට එරෙහි සටනේ මෙහෙයුම භාර වී ඇත. යොවුන් ජේක්හට නායකත්වය භාර ගැනීමට සුදුසු තත්ත්වයක් තිබුණද මේ වන විට ඔහු තම පුහුණුවීම් අතහැර දමා පාතාල ලෝකයට සම්බන්ධවී කටයුතු කරමින් සිටී. කෙසේ නමුත් ලෝකය නැවත් අතිශය දරුණු යුද්ධයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේදී සිය පියා නතර කළ තැන සිට ජේක් එම සටන මෙහෙයවන්නට පටන් ගනී. යොවුන් ජේක්හට මෙම දරුණු කයිජු සත්ත්වයන් විනාශ කර මනුෂ්‍ය වර්ගයා බේරා ගැනීමට හැකි වේවි ද යන්න පවසන්නේ Pacific Rim Uprising චිත්‍රපටය යි.

අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් ලෙසින් Pacific Rim Uprising පසුගිය මාර්තු 23 වැනිදා සිට රිදී තිරයේ දිග හැරී ඇත. එය අමෙරිකානු ජාතික තිරරචකයකු, රූපවාහිනි නිෂ්පාදකවරයකු සහ අධ්‍යක්ෂවරයකු ලෙසින් කටයුතු කළ ස්ටීවන් එස් ඩිනයිට්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වේ. මෙම චිත්‍රපටයේ මූලික රූ ගැන්වීම් සිදු වී තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේදීය. මුල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ගියෙමෝ ඩෙල් ටෝරෝ මෙවර නිෂ්පාදනයෙන් එයට සම්බන්ධ වී සිටියි.

Star Wars: The Force Awakens චිත්‍රපටයේ ෆ්‍රින් ලෙසින් ඔබ හමුවට පැමිණි 26 හැවිරිදි ජෝන් බොයේගා Pacific Rim Uprising හි ජේක් පෙන්තකොස්ට්ගේ චරිතයට පණ පොවයි. ඔහු සමඟින් ස්කොට් ඊස්ට් වුඩ්, කයිලි ස්පෙනී, ජින් ටියන්, බෘන් ගෝර්මන්, චාර්ලි ඩේ, ඇඩ්‍රියා ආර්ජෝනා ඇතුලු පිරිසක් සෙසු චරිතවලට රංගන දායකත්වය ලබා දී ඇත. මෙවර Pacific Rim Uprising චිත්‍රපටය බෙදාහරිනු ලබන්නේ යුනිවර්සල් පික්චර්ස් විසිනි.

Pacific Rim Uprising  IMDb  දර්ශකයේ 6/10ක් ලබා ගෙන ඇති අතර රොටෙන් ටොමැටෝස් හි විචාරක මනාපයට හිමි වී ඇත්තේ 45%කි. එහි ප්‍රමුඛ විචාරය වන්නේ, මෙම චිත්‍රපටය අලුත් යමක් ගෙන එන්නක් ලෙසින් පෙන්වා දිය නොහැකි බවයි.

නමුත් රොබෝ කතන්දර ප්‍රිය කරන Pacific Rim චිත්‍රපටයේ රසික රසිකාවන්හට නම් අලුත් බලාපොරොත්තුවක් ලබා දෙන අයුරු පෙනී යන බව එහි සඳහන්. 'රීල් වීව්ස්' හි විචාරන ජේම්ස් බෙරොර්ඩිනේලි පවසන්නේ, බලාපොරොත්තු නොවුණු දෙවැනි කොටසක් වන මෙය පළමු චිත්‍රපටයේ කොටස් ගෙන වඩාත් විශාලව සහ වැඩි ශබ්දයෙන් යුතුව රීමික්ස් කර නිර්මාණය කරන ලද්දක් සේ පෙනෙන බවයි.

මෙම චිත්‍රපටයේ තිබෙන කලබලකාරී ස්වභාවය එය අවසන් වන තෙක්ම දැකගත හැකි නමුත් පළමු චිත්‍රපටයේ මෙන් මතකයේ තබා ගෙන සිටීමට දෙයක් නොමැති බව නම් සැකයක් නැතුව පැවසිය හැකි බව 'ෆිල්ම්ෆෙයාර්' සඟරාවේ විචාරක දේවේෂ් ශර්මා පවසා සිටියි.