වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




නොසන්සුන් පරිසරයක මිනිසුන්ගේ සිත් ගීතයෙන් සුවපත් කිරීම පින්කමක්

නොසන්සුන් පරිසරයක මිනිසුන්ගේ සිත් ගීතයෙන් සුවපත් කිරීම පින්කමක්

පින්බර වෙසක් මහේ සිත නිවන බොදු බැති ගී එකතුවක ආස්වාදය ලබන්නට නුදුරු දිනකදී ඔබටත් මටත් හැකි වෙනවා. මේ මොහොත උදාවන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනී දමයන්ති ජයසූරියගේ 'සිත නිවන' ගී ප්‍රසංගය හා සංගත තැටිය දොරට වැඩීමේ උලෙළේදීය.

දිනය හරියටම අප්‍රේල් 23 වැනි සඳුදා සවස පහේ හෝරාවටය. කොළඹ හැව්ලොක් පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති ශ්‍රවණාගාරයේදී මෙම බෞද්ධ ගී එකතුව දොරට වඩිනවා.

දමයන්ති ගායිකාවක වශයෙන් මෙරට ගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීම උදෙසා නිර්මාණ රාශියක් දායාද කළ ඇගේ විහිදී පැතිරී ගිය ගායන හැකියාව මෙරට චිත්‍රපට ගීත ක්ෂේත්‍රය තුළ මෙන්ම ටෙලි නාට්‍ය ගීත කලාව තුළ ද කැසට් ගීත කලාව හා සරල ගීත තුළ ද පැතිර ගියා. ඇගේ සුගායනීය ගායනය මෙරට ප්‍රේක්ෂක ජන හදවත් තුළ නොමැකෙන ලෙසින් සටහන් වූවා. මෙවර ඇගේ හඬින් අප රස විඳිනුයේ බුද්ධාලම්භන ප්‍රීතිය හැම සිත් තුළම ඇති කරවන බොදු බැති ගී එකතුවකි.

'ඇත්තටම මේ ගීත එකතුව එකපාර කරපු දෙයක් නොවෙයි. වරින්වර විවිධ අවස්ථාවල කරපුු නිර්මාණ ටිකක් එකතු කිරීමක්. අන්තිමට 'සිත නිවන ගී' එකතුවට ගීත 12 ක් ඇතුළත් වුණා. පසුගිය කාල වකවානුව දිහා ආපහු හැරිලා බලනකොට මගේ සංගීත දිවියේදී මම විවිධ ආකාරයේ ගීත ගායනා කළා. මුලින් ළමා පිටියේ ළමා ගායිකාවකගේ ඉඳලා සරල ගීත, කැසට් ගීත, චිත්‍රපට ගීත ඇතුළු විවිධ ගීත ගායනා කළා. ඒ අතර මට සිතුණා බෞද්ධ ගීත එකතුවකුත් කළොත් හොඳයි කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ මොහොතේ මුදුන්පත් වෙන්නේ.'

මේ බෞද්ධ ගීත එකතුව මින් පෙර අප අසා ඇති බෞද්ධ ගීත අතරට වෙනසක් එකතු කරන්නක්. ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ලෙසින් සලකන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවන ලද්දේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේයි. එසේම මෙරට භික්ෂූණී පරපුරේ ආරම්භය සනිටුහන් වන්නේ ද ඇය නිසයි. ඈ වෙනුවෙන් ලියවුණු ගීතයක් මේ ගී එකතුව තුළ දමයන්ති ගායනා කරනවා.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් පසු මහා මායා දේවිය මිය යන බැවින් සිදුහත් කුමරු රැකබලා ගනිමින් හදා වඩා ගනුයේ උන්වහන්සේගේ සුළු මවු මහා ප්‍රජාපතී දේවිය විසින්. ඈ වෙනුවෙන් ලියවුණු ගීතයක් ද මෙහි අන්තර්ගතයි.

වර්තමාන සමාජය දිහා බැලුවම මට පේන්නේ සෑම කෙනෙක්ම ජීවත් වෙන්නේ හරිම නොසන්සුන් බවකින්. හැමෝම කාර්යබහුලයි. කොටින්ම කියනවා නම් සමහරුන්ට කන්ඩ වෙලාවකුත් නැති තරම්. මට හිතෙනවා අපි ඇයි මෙච්චර කාර්යබහුල වෙන්නේ කියලා. මට නම් දැනෙන්නේ මේ කවුරුත් නොසන්සුන් වෙලා තියෙන්නේ කාලය කළමනාකරණය කර නොගැනීම නිසා කියලයි. අපි හරියට කාලය කළමනාකරණය කර ගත්තොත් අපේ එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගන්න පහසුවෙන් පුළුවන් වේවි. අද ජීවත්වෙන බොහෝ දෙනාට නිදහසේ ඉඳගෙන ගීතයක රස විඳින්නවත් කාල වෙලාවක් හොයා ගන්න අමාරුයි. මේ ගීත ටිකෙන් කරන්නේ මිනිස් සිත් සන්සුන් කරන එක. මිනිස් සිත් සුවපත් කරන එක. මම හිතනවා නොසන්සුන් පරිසරයක ජීවත්වන මිනිස්සුන්ගේ සිත සන්සුන් කරන එක පින්කමක් කියලා. 'සිත නිවන ගී' ගැයෙන්නේ ඒ වෙනුවෙන්.

දමයන්ති මේ ගීත එකතුව ගෙන එනුයේ වසර දහයකට ආසන්න කාල වකවානුවකට පසුය. මේ ගීත එකතුවට ගීත රචනයෙන් පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ, හිමි, පුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද හිමි, පූජ්‍ය මඩපාත ධම්මසාර හිමි, පූජ්‍ය වෙන්නප්පුවේ චන්දානන්ද හිමි, මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර, කුලරත්න ආරියවංශ, ජයම්පති අල්ගම ඇතුළු පිරිසක් දායක වන අතර සංගීත නිර්මාණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ, ආචාර්ය ලයනල් අල්ගම,ආචාර්ය නන්දා මාලිනී, එච්. එම්. ජයවර්ධන, එච්. ආර්. චුලසිංහ, අජිත් ජයවීර, දර්ශන වික්‍රමතුංග, ඉන්ද්‍රජිත් මිරිහාන ඇතුළු පිරිසක් එකතු වනවා.

'සිත නිවන ගී' දොරට වැඩුම දා මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි හා කථිකාචාරිණී නාවලපිටියේ අනුරාධ සුධම්මිකා මෙහෙනින් වහන්සේ කෙටි දෙසුම් පවත්වනවා. ඒ සමඟම ගීත කිහිපයක සුගයනීය ගැයුමකට එක්වන දමයන්තිට සංගීත අධ්‍යක්ෂණයෙන් ජනක ෆොන්සේකා ප්‍රමුඛ රාජ්‍ය සංගීත කණ්ඩායම එක් වෙනවා.

'සිත නිවන ගීත' එළිදැක්වීමට මට හැකි වුණේ මා වටා සිටි කල්‍යාණ මිතුරු මිතුරියන් රාශියක් නිසාවෙන්. මුලින්ම මේ සඳහා මාව යොමු කරගත්තේ 'සිතුම් පියස' බෞද්ධ මධ්‍යස්ථානයේ පූජ්‍ය හන්තානේ ධම්ම ගවේෂී ස්වාමින් වහන්සේ ඇතුළු මගේ හිත මිත්‍ර පිරිස. ඒ හා සමානවම ප්‍රේම් දිසානායක, සරසවි අධිපති එච්. ඩී. ප්‍රේමසිරි, සුනිල් ෆොන්සේකා, ප්‍රේමදාස ජුවලර්ස් අධිපති උපාලි සෙනරත් ඇතුළු මිතුරු පිරිස පිළිබඳ මේ මෙහොතේ කෘතවේදීව සඳහන් කරන්න ඕනෑ. ඒ වගේම මේ කර්තව්‍ය පිළිබඳ දැනගත් මොහොතේ පටන් මට සුවිශාල අනුග්‍රහයක් ලබා දෙමින් සුහදශීලීව කටයුතු කළ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මිය ද මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරනවා.

කලබලකාරී පරිසරයක නොසන්සුන් මනසින් ජීවත්වන සියලු දෙනාට ඇගේ හඬ සිත සුවපත් කරන ඖෂධයක්ම වී සියලු සිත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් නිවීපහන් කිරීමට ශක්තියක්ම වේවා යැයි' අපි ද ප්‍රාර්ථනා කරමු.