වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඉස්සර වගේ නෙවේ දැන් ෆිල්ම්ස්වලට ලෝන් දෙන්නේ නෑ

ඉස්සර වගේ නෙවේ දැන් ෆිල්ම්ස්වලට ලෝන් දෙන්නේ නෑ

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොලොඹවා ගැනීමට උත්සහා කරයි. එහි දුෂ්ටයා වනුයේ ඩික්සන්ය. නිෂ්පාදිකාව බිනරි.

අද එතැන් සිට...

‘මේ ගොං හරකාට ඇට් කරන්ඩ බෑ.අපරාදේ යකෝ.කාගේ හරි සල්ලිනේ’

විදුලි පහනක් අල්ලමින් සිටි පෙනුමැති තරුණයකු කියනු බිනරි අසා සිටියාය.ඔහු අසලම සිටි අනෙක් තරුණයා ඉනෙන් ඇන ඔහු කියන්නට ගිය කතාව නතර කළේය.බිනරි ඔවුන් දෙස නොබලා ගොස් දර්ශන සිටි තැනට ගියේය.සැටියක වාඩි වී සිටින ඩික්සන් රැවුල් වවාගෙන සිටි තරුණයන් දෙදෙනෙකුට අණ දෙයි.කැමරාවක් ඔහු ඉදිරියේ ක්‍රියාත්මක වෙයි. ඩික්සන් සමග රඟපාන්නට පෙනි සිටින දෙදෙනා මෙයට පෙර චිත්‍රපට කිහිපයකම සටන් ජවනිකාවල පෙනී සිටින අයුරු බිනරි දැක තිබිණ.

‘උඹල මට කොහෙන් හරි කෙල්ලව ගෙනත් දෙන්ඩ ඕනෑ’

ඩික්සන් පැවසුවේය.

‘තව පාරක් නෑවා’

දර්ශන ගේ කනට කොඳුරා පැවසූ සහාය අධ්‍යක්ෂ එයින් මෑත් වුණේය.දර්ශන හැරී බලද්දී බිනරි එනු පෙනුනෙන් ඔහු උත්තර දෙන්නට ගියේ නැත.ඒ වෙනුවට ඔහු මෝඩ පහේ සිනහවක් පෑවේය.

‘ඩික්සන් මරු නේ.’

ඔහු වචන ගළපමින් කතා කරන්නට පටන් ගත්තේය.බිනරි තමන්ට ඇසුන දේ කියන්නට ගියේ නැත.ඩික්සන් බිනරි දැක එතැනට ආවේය.

‘දැන් අපට අල්ලා ගන්ඩත් බැරි වෙනවා’

සහාය අධ්‍යක්ෂ බිනරි හා ඩික්සන් ළඟට යළි පැමිණියේය.තමා පැවසූ දෙය නිෂ්පාදිකාවට හෝ නළුවාට නොඇසුණු වග ඔහු ට සහතිකය.

‘අද ඩික්සන්ගේ පින්තූර ටිකක් පත්තරේට දෙන්ඩ මං කල්පනා කළේ’

දර්ශන පැවසුවේ ඩික්සන් ගේ පිටට තටුට්වක් දමමිනි.තේ කෝප්පයක් ප්ලාස්ටික් කෝප්පයක ලා බිනරිට ගෙනත් දුන්නේ තවත් කොලු ගැටයෙකි.උස මහත ඩික්සන් කෙසඟ දර්ශන ළඟ කීකරු පූස් පැටියෙකු මෙනි.

‘කොහොම හරි පිච්චර් එක ගැන කතාව යනවා හැමතැනම’

විවේකයක් ලබන්නට මෙන් සිතු කැමරා ශිල්පියා පැවසුවේය.ඔහු පසුපස හැරී ඩික්සන් දෙස බලා දෑගිලි තොළගට තිබ්බේ සිගරට්ටුවක් ගැන විමසන්නටය.

‘අපි බලන් ඉන්නේ මුල් වතාවට කුමාර අයියාට අවෝඩ් එකක් යයි කියලා’

දර්ශන කුමාර එනම් කැමරා ශිල්පියා ගැන පැසසුවේය.ඔහු මෙතැන සිටින වයස්ගතම පුද්ගලයාය.

“දැන් අවුරුදු කීයක් ද ෆිල්ඩ් එකේ ?’

වෙනදාත් අසන ප්‍රශ්නයක් දර්ශන අදත් විමසුවේය.එය ඔහු විමසන්නේ අලුතින් දර්ශන තලයේ සිටින්නෙකුටය.අද පවසන්නේ බිනරි සිටිය දීය.බිනරි හමුවේ මෙයට පෙරද දර්ශන කුමාර ගෙන් මේ පැනයම විචාල අයුරු ඔහුට අමතකය.

‘අවුරුදු හතලිහක්.ඉස්සෙල්ලාම විජය ස්ටුඩියෝ එකට ආවේ.වාසගම් ළගට’

කුමාර සිගරට්ටුවක් දල්වා ගෙන කැමරාව සමීපයට ගියේය.දැන් ඊළඟට අතීතය කියන්නට ගියොත් වෙලාව යන්නේය.එවිට කෝල්ෂීට් වැයවෙයි.

‘ඇයි මොන කෙළියක් ද මේ ලයිට් කීයෙන් ද අපි වැඩ කරන්නේ.තියෙන හැටියට වුනත් අපි කරන්ඩ ඕනැනේ.’

කුමාර පැවසුවේ උදම්වෙමිනි.සියල්ලෝම එකිනෙකා පසසති.

බිනරි දහවල් ගියේ බැංකුවටය.පසුගිය දෙසතිය ඇතුළත චිත්‍රපටයේ වැඩ කටයුතු වලට ඇයට කිහිප වරක්ම බැංකුවට යන්නට සිදුවිය.

බැංකුවට ගිය බිනරි මුදල් ආපසු රැගෙන ආපසු ආවාය.බැංකු පොතෙහි ඉතිරිව ඇති මුදලින් චිත්‍රපටය නිම කළ හැකිදැයි ඇය ඇගෙන්ම විමසා බැලුවාය.එහි තව මහ ගොඩක් නැත.පසුගිය දවස් කිහිපයේ චිත්‍රපටයේ වැඩ කටයුතු දවසින් දවස ඇදී ගියේය. වැස්ස එයට නිදහසට කරුණු ලෙස දර්ශන මැසිවිලි නැගුවේය.චිත්‍රපටයට යෙද වූ මුදල් ආපසු ගන්නට නම් එය අවසන් කළ යුතු විය යුතුය.අවසන් කරන්නට නම් තවත් මුදල් අවශ්‍යය.

‘ෆිල්ම් එකට සල්ලි මදි වෙයි ද කියලා මං හිතුවේ’

බිනරි ඩික්සන් හා දර්ශන කතා කරන අතරතුර කතාව පටන් ගත්තේය.දර්ශන ඩික්සන්ගේ මුහුණ බැලුවේය.

‘මේ වැස්ස නැත්නම් වැඩේ ඉවර කරන්න තිබුණා’

ඩික්සන් දර්ශනගේ සහායට හිටියේය.බිනරි හිස වැනුවේ සිත සදා ගන්නටය.චිත්‍රපටයේ රූප ගත කිරීම් නතර කරන්නට සිදුවූයේ තවත් දින කිහිපයකට පසුවය.රූප ගත කරන අතරතුර ගෙවීම් කිහිපයක් තවමත් ඉතිරිව ඇත.කුමාර කිහිප වරක්ම ගෙදරට ආවේය.

‘අපි ෆිල්ම් එකට ලෝන් එකක් ඉල්ලමු.’

‘තියෙන සල්ලි වලින් කරන්න පුළුුවන් කියලානේ දර්ශන කිව්වේ.කිව්වේ ලක්ෂ පහයි.දැන් හතත් පැනලා’

බිනරි පැවසුවේ දෝෂාරෝපණයක් ස්වරූපයෙනි.

තවත් දවස් දෙකකට පසු බිනරි ගේ හිස ගිනි ගන්නට පටන් ගත්තාය.

ඒ බැංකුව ණය දිම ප්‍රතික්ෂප කිරීම සමගය.

‘ඉස්සර වගේ නෙවේ දැන් අපි ෆිල්ම්ස් වලට ලෝන් දෙන්නේ නෑ’

බැංකු කළමනාකරු කෙළින්ම පැවසුවේය.

‘ලෝන් එකක් ගන්නවා නම් තියෙන දේපළක් උගස් කරල ගන්න පුළුවන්.ෆිල්ම් වලට කියලා ලෝන් දෙන්නේ නෑ’

ඔහු පැවසුවේය.නිවස ඇත්තේ අම්මා නමටය.ඇත්තේ පිටකොටුවේ කඩය පමණකි.

‘අපි ඒක දැනට තියමු’

ඩික්සන් යෝජනා කළේය.

‘පිස්සුද ඔයාට’

බිනරි ගේ මුහුණේ කෝපයක ඇදිනැයි ඩික්සන්ට දැනිණ.ඔහු එයින් පසුබා ගියේය.

‘එච්චරයි ජීවත් වෙන්න තියෙන්නේ’

ඇය නැගිට ගියේ ඔහුට කිසිවක් කියන්නට ඉඩ නොතබාය.හෙට පත්තරයකින් එන්නට නියමිතය.මේ දිනවල ඩික්සන් නොසිතු තැනක් ඔහුට ලැබී තිබේ.මෙම චිත්‍රපටයේ රඟපාන අතරතුර තවත් චිත්‍රපටයකට කැඳවන බව දර්ශන පැවසුවේය.තව දුරටත් ගල් සහ සිමෙන්ති සමග ජීවත් වන්නට සිදුවීම ආපසු යෑමක්යැයි ඩික්සන්ට සිතිණ.

ඒ රාත්‍රිය මුලුල්ලේ මුදල් සොයන්නට කල්පනා කළ ඇය තම ගෙළ බැදි රන්මාලය උකස් කරන්නට කල්පනා කළාය.ඒ මුදලින් පෙර දින ගෙවිය යුතු සුලු මුදල් ගෙවා දැමිය හැක.චිත්‍රපටයේ දිනක බටා ගෙවිය යුතුය.

ඇය බැංකුවට ගියේ ඒ කටයුත්තටය.ඈ ඉදිරියේ මෝටර් රථයක් නතර විය.එහි වීදුරුව පහළට ගියේය.එයින් හිස එලියට දැමූ තැනැත්තා දුටු බිනරි ගල් ගැසී බලා සිටියාය.

‘බිනරි කොහේද මේ කලබලේ’