වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




අපි තෝරන්නේ හොඳම ඒවා විතරයි

අපි තෝරන්නේ හොඳම ඒවා විතරයි

සිග්නිස් සම්මාන උලෙළ වෙනුවෙන්

ගරු ලාල් පුෂ්පදේව පියතුමා

සිග්නීස් ශ්‍රී ලංකා ආයතනය මඟින් සංවිධානය කරන සිග්නීස් උත්තමාචාර සම්මාන උලෙළ 2017 මෙම මස 13 වැනිදා එනම් හෙට දින කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මේ එම උලෙළෙහි හතළිස් වැනි අදියරයි. දශක සතක ශ්‍රී ලාංකේය සෙලෝලයිඩ් පුරාවත යනුවෙන් මෙවර තේමාව නම්කොට ඇති අතර එහිදී ඉකුත් වසරේ මුදා හල සිනමා සහ ටෙලි නාට්‍යය විශිෂ්ටයින් ඇගැයෙනු ඇත. එම සම්මාන උලෙළෙහි සියලු බර කරටගෙන කටයුතු කරනුයේ කතෝලික ජනසන්නිවේදන ජාතික අධ්‍යක්ෂ ලාල් පුෂ්පදේව පියතුමාය. එතුමන් සමඟ මේ සංවාදය මෙවර සිග්නීස් උත්තමාචාර දිග හැරෙන අන්දම ගැනය.

* පියතුමනි, පසුගිය වසරේ මෙම සම්මාන උලෙළ මෙහෙයවද්දී ඔබ වහන්සේ ඊට අලුත්. එදා සහ අද වෙනස කොහොමද දැනෙන්නේ?

පසුගිය අවුරුද්දේ උලෙළේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වුණේ ජනාධිපතිතුමන්. ප්‍රථම වතාවටයි සිග්නිස් සම්මාන උලෙළකට රටේ පළමු පුරවැසියා පැමිණියේ. එහෙයින් මට ලොකු වගකීමක් පැවරුණා. අප හැකිතාක් ඉහළ මට්ටමින් උලෙළ පැවැත්වුවා. මෙවර මා සම්මාන උලෙළට දායකත්වය සපයන්නේ වසරක අත්දැකීමකුත් සමඟිනුයි. මෙවර නිදහසේ වැඩ කටයුතු කරගෙන යනවා. මං ගිය වසරේ උලෙළ නිමවනවාත් සමඟම මේ වසරේ උලෙළ ප්ලෑන් කළා.

* කොතරම් හොඳට උලෙළක් පැවැත්තුවා වුණත් විවේචන පැමිණීම වැළැක්වීමට බැහැ?

ඔව්. ඒක ඇත්ත. විවේචන කොහොමත් එල්ල වෙනවා. ඒක තමයි ස්වභාවය. විවේචනයන් සඳහා මං අලුත් සිස්ටම් එකක් නිර්මාණය කළා. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ උලෙළ විවේචනය සඳහා වෙනම ෆෝම් එකක් හදනවා. ඒක රැගෙන ඕනෑම කෙනෙකුට විවේචනයක් ලිඛිතව ගෙන එන්නට පුළුවන්. තැන් තැන්වල බැන බැන යන්න ඕනෑ නැහැ. කියන්න තියෙන දේවල් කෙළින්ම අපට ලියලම බාර දෙන්න පුළුවන්.

* මෙවර සිග්නීස් උත්තමාචාර උලෙළේ තේමාව ගැන කතා කළොත්?

දශක සතක ශ්‍රී ලාංකේය සෙලෝලයිඩ් පුරාවත. ඒ නමින් අප අදහස් කරන්නේ අප සිනමාව හැත්තෑ වැනි උපන් දිනය ගැන. කථානාද සිනමාව ආරම්භ වී අවුරුදු හැත්තෑවයිනේ. එය ඉස්මතු කරන්නට විවිධ අංගයන් උලෙළ පුරාවටම තියෙනවා.

සිග්නීස් උලෙළට හතළිහයි. සිනමාවට හැත්තෑවයි. ඒ අංක දෙකේ බිංදුව අයින් කළොත් හැදෙන ඉලක්කම තමයි 47. ඒ අවුරුද්දෙනෙ අප සිනමාව පටන් ගත්තේ.

* මෙවර උලෙළට පැමිණෙන සුවිශේෂී අමුත්තන් කවුද?

වතිකානු අපොස්තලික තානාපති පියෙරේ ග්වේන් වැන්ටොට් හිමිපාණන් තමයි මෙවර අපේ ආරාධිත අමුත්තා. ඊට අමතරව අපේ අගරදගුරු පියතුමන්ලා සහභාගි වෙනවා.

* සිග්නීස් උත්තමාචාර උලෙළේ ජනප්‍රියම අංගවලට සම්මාන දෙන්නේ නැත්තේ ඇයි? අනෙක් උලෙළවල්වල ප්‍රමුඛස්ථානය දෙන්නේ ඒවා සඳහා?

අපේ ඒක සම්ප්‍රදායක්. සාමාන්‍යයෙන් සිග්නීස් උලෙළේ සම්මානනීය වන්නේ හොඳම යන කැටගරි එකේ ඒවා. හොඳම නිර්මාණකරුවා, හොඳම නාට්‍ය යනාදිය වශයෙන්. අනෙකුත් උලෙළවල්වල ජනප්‍රිය අංග තෝරන ක්‍රමවේදය මොකක්ද කියන්න මම දැනුවත් නැහැ. හැබැයි අපේ උලෙළේ සම්මාන දෙන්නේ හොඳම නිර්මාණ සඳහා පමණයි.

* සිග්නීස් සම්මාන උලෙළේ පමණක් නොව ඕනෑම සම්මාන උලෙළක සම්මාන තෝරන අන්දම ගැන ඇතැම් අයට ගැටලුවක් තිබෙනවාද?

ඔය තත්ත්වය මතු වන්නේ තමන්ගේ නිර්මාණයට සම්මාන හිමි නොවුණාම. මනුස්සයෝ හැටියට එකී හැඟීම පොදුයි. කෙසේ වෙතත් අපගේ උලෙළේ විනිවිදභාවයක් තියෙනවා. ඒ විනිවිදතාවය තවත් පුළුල් කරන්න මගේ අදහසක් තියෙනවා. නමුත් ඒක කොපමණ දුරට හරියාවිද කියන ගැටලුව මසිතෙහි තිබෙනවා.

* ඒ පිළිබඳ තවදුරටත් විස්තර කළොත්?

මෙවර උලෙළ නිමා වූවාත් සමඟ මං බලාපොරොත්තු වෙනවා සම්මාන ගත් පිරිසව ජූරි සභාව ඉදිරියට කැඳවන්න. එතකොට ඔවුනට පුළුවන් එහිදී ප්‍රශ්න කරන්න. ඒක වෙන්නේ මෙහෙමයි. ඇතැම් විට නිර්මාණයක හොඳම කැමරා අධ්‍යක්ෂණයට හිමි සම්මානය ලැබුණත් හොඳම සංස්කරණයට සම්මාන නොලබන්න පුළුවන්. එතකොට අහන්නට හැකියාව තියෙනවා ඇයි හොඳම කැමරාකරණයට නිර්දේශ වෙලත් හොඳම සංස්කරණයට සම්මාන නොගත්තේ කියලා. ඔන්න ඔය වගේ වැඩමුළුවක ආකාරයෙන් ප්‍රශ්න කිරීම යනවා.

* මෙවර සිග්නීස් උලෙළට විශේෂිත වූ පිරිසක් ඔබ කැඳවන්නට බලාපොරොත්තු වෙනවා?

ඔව්. ඔබ අහන්නේ කඩවුණු පොරොන්දුවට සබැඳි පිරිසගේ පසු පරපුර ගැන වෙන්න ඇති. මේ වන විට අපේ පළමු කථානාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුවට එකතු වූ නිර්මාණකරුවන්ගෙන් කිසිම අයකු දැනට ජීවතුන් අතර නැහැ. මං ඒ අයගේ පුතණුවන් සහ දියණියන් මෙවර උලෙළට ආරාධනා කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් මෙහි ඇති ගාම්භීරත්වය තවත් වර්ධනය කර ගැනීමට හැකියි. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සූරීන්ගේ දියණියන් දෙදෙනා, හියුගෝ මාස්ටර්ගේ පුතණුවන් ඇතුළු විශේෂිත වූ පිරිසක් හෙට නෙළුම් පොකුණට එනවා.

* අනෙකුත් සම්මාන උලෙළයන් වගේ සිග්නීස් උලෙළේ නිර්දේශිත නාම යෝජනා එළි දක්වන්නේ නැත්තේ ඇයි?

ඒකත් අපේ උලෙළේ සම්ප්‍රදායක්. එම සම්ප්‍රදායන් රකිමින් තමයි උලෙළ පවත්වන්නේ. ඉදිරියටත් එම සම්ප්‍රදායන් එලෙසම පවතීවි.