වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය

ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය

හොංකොං ජාතික නළු ජැකී චෑන් නැවතත් හොලිවුඩයට යන්න සූදානම්. ඒ   The Foreigner  චිත්‍රපටය සමඟින්. ක්‍රියාදාම රැගත් ත්‍රාසජනක චිත්‍රපටයක් වන   The Foreigner  චීනයේ තිරගත වීම ආරම්භ කළේ පසුගිය සැප්තැම්බර් 30 වැනිදා. එය හෙට (ඔක්තෝබර් 13) සිට අමෙරිකාව ඇතුළුව ලොවපුරා තිරගත වීමට නියමිතයි.   The Foreigner  චිත්‍රපට තිරරචනය ලියවී තිබෙන්නේ, බ්‍රිතාන්‍ය නවකතා රචක සිටෙෆන් ලීතර්ගේ The Chinaman  කෘතිය ඇසුරින්.   The Foreigner  මාර්ටින් කැම්බල් අධ්‍යක්ෂණයක්.

ක්වාන් මින් යනු ලන්ඩනයේ ජීවත් වෙන නිහතමානි ව්‍යාපාරිකයෙකි. ඔහු හට තම පණ වැනි යොවුන් දියණිය අහිමි වන්නේ දේශපාලකයකු පසුපස හඹා යන ත්‍රස්තවාදි කල්ලියක් හේතුවෙනි. මෙහිදී ඇතිවන ගැටුමක් අතරතුර ක්වාන් මින්ගේ දියණිය ජීවිතක්ෂයට පත්වන අතර එතැන් සිට ක්වාන් මින්ගේ එකම අභිලාෂය වන්නේ තම දියණිය මිය යන්නට හේතු වූ ත්‍රස්ත කල්ලිය සොයා ගොස් ඔවුන් ගෙන් පළිගැනීමයි.

මෙහි ක්වාන් මින්ගේ හෙවත් මේ ආදරණීය පියාගේ චරිතයට පණ පොවන්නේ සුප්‍රකට හොංකොං නළු ජැකි චෑන්. ආත්මාරක්ෂක සටන් කලාශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක් සේම ගායකයකු ද වන ජැකී චෑන් 60 දශකයේදී සිය රංගන දිවිය ආරම්භ කර මේ වනවිට සිනමා නිර්මාණ එකසිය පනහකට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. 1962 වසරේ Big and Little Wong Tin Bar චිත්‍රපටයට රංගනයෙන් එන්වන විට ඔහුගේ වයස අවුරුදු අටක්.

හොංකොංහි ක්‍රියාදාම චිත්‍රපට නිෂ්පාදනය අඩුවීම නිසා මුල් කාලයේ ඔහුට සාර්ථක වීමට එය ලොකු බාධාවකුත් වෙලා. වයස අවුරුදු 17දී පමණ ජැකී චෑන්හට බෲස් ලී රංගනයෙන් දායක වූ Fist of Fury  සහ Enter the Dragon  චිත්‍රපටවල ක්‍රියාදාම ජවනිකා වෙනුවෙන් පෙනී සිටීමේ ද අවස්ථාව ලැබිණි. ජැකී චෑන් කුංෆු, කරාටේ, ජූඩෝ, ටයිකොන්ඩෝ , ජිත් කුන්ඩෝ සටන් කලාවන්හි ප්‍රවීණයෙක්. සිනමා නිර්මාණවල හාස්‍යෝත්පාදක ආකාරයේ සටන් ශෛලිය, ඒ වෙනුවෙන් යොදා ගන්නා නිර්මාණාත්මක ක්‍රියාදාම සහ එම සියලුම ක්‍රියාදාම ඔහු විසින්ම සිදු කිරීමත් විශේෂයි.

ගායකයකු ලෙසින් ඔහු සංගීත දිවිය 1984 දී ආරම්භ කළ අතර තම අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය කෙරෙන චිත්‍රපට වල බොහෝවිට තේමා ගීතය ගායනා කරන්නේ ද ඔහු විසින්ම වීමත් විශේෂත්වයක්.

  The Foreigner  චිත්‍රපටයේ ජැකී චෑන් සමඟින් කලක් ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවූ පියර්ස් බ්‍රොස්නන් දේශපාලකයා ලෙසින් එක් වන අතර චාර්ලි මර්ෆි, මයිකල් මැක්එල්තන්, ලියු තඕ, ඕර්ලා බ්‍රාඩ්, කැති ලියුන්ග් ඇතුළු පිරිසක් ද දායක වෙති.   The Foreigner  රූපගත කෙරු‍ණේ ලන්ඩනයේ චයිනාටවුන් හිදි ය. එයට  IMDb  දර්ශකයේ ලකුණු 7.6ක් හිමි වී ඇත.

දශක පහක් පුරා හාස්‍යමය මෙන්ම වාසනාවන්ත චරිත නිරූපණය නිරූපණය කළ ජැකී චෑන් සිය සුපුරුදු චරිත ස්වභාවය වෙනස් කර පැය දෙකක් පුරා මෙහිදී ඛේදවාචකයකට මුහුණ දෙන අයුරු වෙනස්ම අත්දැකීමක් බව විචාරක අදහසයි. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂ කැම්බල්ගේ ශෛලිය සමඟ ජැකී චෑන්ගේ රංගනය හොඳීන් ගැලපී ඇති බවත් විචාරක අදහස් අතර වේ. එමෙන්ම වසර 55ක් බොහොම විනෝදජනක, සතුටුදායක සිනමා නිර්මාණවලින් හමු වූ ජැකී චෑන් ඛේදවාචකයකට මුහුණ දෙනු දැකීම ප්‍රේක්ෂකයන්හටද වේදනාවක් ගෙන දෙනු ඇති බවත් එයින් කියවේ.