වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මට රේටින් ගැන විශ්වාසයක් නැහැ...

මට රේටින් ගැන විශ්වාසයක් නැහැ...

ගුවන්විදුලි සංස්ථාව තිරිහන් කරන අභිනව සභාපති සුදර්ශන ගුණවර්ධන

1925 දී රේඩියෝ සිලෝන් නම් චිර ප්‍රසිද්ධ ගුවන්විදුලි සන්නාමය 1966 ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාව නමින් යළි නම් වන විටත් එය ආසියාකරයේ විශිෂ්ට ගුවන්විදුලි සේවාවක් බවට කීර්ති නාමයක් දිනා අවසන්ය. එමෙන්ම ගුවන්විදුලියට තිබූ යම් යම් සුවිශේෂිතා එදා ආසියාවේ අන් කවර සේවාවකටත් තිබුණේ නැත. දශක දෙකක් එපිටින් වන විටත් යම් සුවිශේෂතා පවත්වාගෙන ගියද වෙළඳපොළ තරඟකාරීත්වය ඉදිරියේ එම සුවිශේෂතා මොට වූ හෙයින් තවදුරටත් එය ආලින්දයේ නාලිකාවන් වූයේ නැත. පසුගිය දශකයේ රේඩියෝවේ සිදුවූ පැහැදිලි වෙනස්කම් අතර රේඩියෝවට ප්‍රාග්ධනය වැඩියෙන් ගලා ඒමත් තරඟකරුවන් සංඛ්‍යාව වැඩි වීමත් රේඩියෝව ආලින්දයෙන් ඔබ්බට පරිහරණය වීමත් අන්තර්ජාලය හා වැඩි සම්බන්දකම් පැවැත්වීමත් ප්‍රත්‍යක්ෂ වන කරුණුය. එවන් සංකීර්ණ තත්වයක් තුළ රජය සතු සන්නාමය පවත්වාගැනීම අභියෝගයට ලක් වන කාරණයකි. ඒ වෙළඳපොළ කි‍්‍රයාවලිය තුළ රජයේ අසමත්කම නිසාවෙනි.

එහෙයින් නාමය නොදිරන එහෙත් හැඩතල දිරුණු ගුවන්විදුලියේ පැවැත්ම ගැන සෘජු තීන්දු තීරණ ගැනීමේ බලය හිමිවන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයටය. එයින් පත් කරන බලධරයා සභාපතිවරයාය. තරඟකාරී නොවන වකවානු වලදීත් එවක සිටි සභාපතිවරුන් යම් සාධනීය වැඩ කොටසක් ගුවන්විදුලි සංස්ථාවේ පැවැත්ම වෙනුවෙන් කළද එය ගුවන්විදුලි සන්නාමය එසවීමට තරම් ප්‍රබල වූයේ නැත. මේ අතර ගුවන්විදුලියට පත් වී පැමිණෙන්නේ අලුත් සභාපතිවරයෙක්ය. ඔහු නමින් සුදර්ශන ගුණවර්ධන. මහනුවර ති‍්‍රත්ව විද්‍යලයෙන් පාසල් දිවිය හමාර කරන සුදර්ශන ගුණවර්ධන මෑත කාලයේ ප්‍රකට වන්නේ ප්‍රබල සමාජ කි‍්‍රයාකාරිකයකු ලෙසටය. වෘත්තියෙන් නීතිඥයකු වන සුදර්ශන මානව හිමිකම් ක්ෂේත්‍රයේත් මැතිවරණ නිරීක්ෂණ ක්ෂේත්‍රයේත් ඉතා කි‍්‍රයාකාරී පුද්ගලයෙකි. 1994 දී ශී‍්‍ර ලංකා නීති විද්‍යාලයට පිවිස නීතිඥ වරය ලබන ඔහු ගුවන්විදුලියට පැමිණෙන තෙක්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නිදහසේ වේදිකාව සංවිධානයේ කැඳවුම්කරු ලෙසත් කටයුතු කළේය. එමෙන්ම විටෙක මාධ්‍ය තුල එම අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරන පළපුරුදු සන්නිවේදකයෙක්ද විය. එමෙන්ම ‘සමබිම’ පුවත්පතේ ආරම්භකයා ඔහුය. එහෙයින් මාධ්‍ය යනු කිසිසේත් ඔහුට අමුතු තැනක් නොවේ.

අප ඔහු හමුවන්නට පැමිණියේ එක් සුවිශේෂී කාරණයක් නිසාය. ගුවන් විදුලිය තිරිහන් කිරීමේ මහා මෙහෙයුමකට ඔහු අත ගසන්නේ වැඩ භාර ගෙන ඉතා ස්වල්ප කාලයක් තුලය. ඒ තිරිහන් කිරීම එක අතකින් තරඟකාරිත්වයට හිතකර වන අතර අනෙක් අතින් මේ විශිෂ්ට සන්නාමයේ පැවැත්මට හිතකරය. ඔහුගේ මාධ්‍ය අන්තර්ජාලයේ සමාජ ජාල මාධ්‍යයයි. ඔහු ගුවන් විදුලිය ස්ථාන ගත කරන්නේ ෆේස්බුක් හීය. ඒ සඳහා ඔහු තමන්ගේ ගිණුම නොමසුරුව භාවිත කරයි. පැරණි නාලිකා ආකෘතිය ඔහු ස්වල්ප කාලෙකින් කණපිට ගසා තිරිහන් කර ඇත. එහෙයින් නිදහස් ආරකින් අලුත් වැඩසටහන් බොහොමයක් ඉදිරිපත් කරන්නේ නවක මත සම්පාධකයින්ය. මෙතුවක් කල් ගුවන් විදුලියට බනින්නටවත් ශ්‍රාවකයින් නොසිටි සමයක දැන් තත්වය හාත්පසින් වෙනස්ය. සභාපතිවරයා එවන් ප්‍රතිචාර දැනගන්නේ සිය ලැප්ටොප් පරිගණකය අරින පරක්කුවෙනි. එහෙයින් සුදර්ශන ගුණවර්ධන සමඟ සංවාදයකට පැමිණීම ඉතා වටී. මේ එම සංවාදයයි.

* කලකට ඉහත රජය විසින් ගුවන්විදුලි සංඛ්‍යාේත ප්‍රතිව්‍යුහගත කළා. ඒ අවස්ථාවේ ක්ෂේත්‍රයේ අනෙක් මාධ්‍ය ඒ කි‍්‍රයාවලිය ගැන කතා කළේ අසතුටින්. ඒ සංඛ්‍යාත සමඟ ඔවුන්ගේ වෙළඳපොල බැඳී තිබෙන නිසා. ඒ ගැන ඔබ කොහොමද ගුවන්විදුලිය පැත්තෙන් බලන්නේ?

ඒ කි‍්‍රයාවලිය ගැන මම වරදක් දකින්නේ නෑ. ඒක හොඳයි. නමුත් ඒක සිද්ද කරපු විදිහ ගැන මගේ පැහැදීමක් නැහැ. මොකද ලෝකයේ තිබෙන පිළිගත් ක්‍රමවේදය අනුව නාලිකාවන් දෙකක් අතර සංඛ්‍යාත පරතරය දශම 5ක් වත් තියෙන්න ඕනෑ. නමුත් ලංකාවේ එහෙම නැහැ. අපේ බොහෝවිට තිබෙන්නේ සංඛ්‍යාත අතර දශම 2ක විතර පරතරයක්. මේ වගේ කෙටි පරතරයක් තිබ්බම නාලිකා 2ක් අතර සංඛාත තදබදයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ශ්‍රවණ තත්වය පැහැදිලි නැති වෙන්න පුළුවන්.

* ඔබට සංඛ්‍යාතවල වෙළඳ වටිනාකම ගන්නේ නැද්ද?

ඇත්තෙන්ම සංඛ්‍යාත ප්‍රවර්ධනය කරන්න මගේ කිසිම අදහසක් නෑ. ඒක ගුවන්විදුලියේ ක්‍රමය නෙවෙයි.

* නාලිකා වල දැන් ශ්‍රවණ තත්ත්වය කොහොමද?

අපිට සිංහල නාලිකා තුනක් තියෙනවා. ඒ වගේම දෙමල නාලිකා දෙකකුත් ඉංගී‍්‍රසි නාලිකා එකකුත් තිබෙනවා. මේ නාලිකා විසුරුවන්න දිවයින පුරා සන්නිවේදන කුළුණු තිබෙනවා. අපි යටියන්තොට සහ කරගහතැන්න මධ්‍යස්ථාන ප්‍රබල තැනකට ගෙනාවා. නමුත් දෙනියාය මධ්‍යස්ථානය ටිකක් දුර්වලයි. ඒ වෙනස් කම් එක්ක දැනට 98% ක ශ්‍රවණ තත්ත්වයකට ගේන්න ගුවන්විදුලියට හැකි වුනා.

* ඒ කියන්නේ දැනට ප්‍රධාන නාලිකා 6ක්. සංඛයාත්මකව විශාලයි. මේ නාලිකා 6 සමඟ තරඟකාරී ගමනක් යන්න ගුවන් විදුලියට පුළුවන්ද?

ඇත්තටම වැඩි නැහැ. වෙනත් මාධ්‍යජාල බොහෝ වෙලාවට නාලිකා 5ක් එක්ක වැඩ කරනවා. අපි ප්‍රධාන අදායම ගන්නේ වෙළඳ සේවයෙන්. ඒ වගේම අපි කරපු තව දෙයක් තමා අපිට තිබුණු ඉංගී‍්‍රසි නාලිකා දෙක එකක් බවට පත් කිරීම. ඒ වගේම දැන් සිටී එෆ් එම් සේවයේ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඉස්සරටත් වැඩිය ස්වදේශීය සේවයෙන් ලැබෙන අදායම් වැඩියි. ඒ ආදායම සිටී එෆ් එම් එකෙන් ලබෙනවටත් වැඩිය වැඩි අදායමක්. මොකද ගොඩක් අය හිතන්නේ සිටී එකෙන් තමයි අපිට ලොකුම අදායම ලැබෙන්නේ කියලා. නමුත් දැන් එහෙම නෙවෙයි.

* කෙසේවෙතත් ගුවන්විදුලියට බැරි වුනා නේද මෑත කාලයේ හොඳ ප්‍රවෘත්ති සන්නාමයක් හදාගන්න?

මෙහෙමයි. මුලින්ම අපි හිතන්න ඕනෑ, මේක රජයට සම්බන්ධ මාධ්‍ය ජාලයක්. එහෙම වුනාම ඕන කෙනෙක් දන්නවා මේ නාලිකා වල යන්නේ ආණ්ඩුවට පක්ෂපාත ප්‍රවෘත්ති කියලා. ඒක නිසා ගොඩක් ඇය ඉන්නේ මේකෙන් ඈත් වෙලා. ඒ නිසා ඒ ගැන වැඩි අවධානයක් නොදී නාලිකා ඇතුලේ අපට කරන්න පුළුවන් සාධනීය වෙනස්කම් අපි කරගෙන යනවා. ඒවාට ලැබෙන ප්‍රතිචාරත් ඉතා හොඳයි. අනික ප්‍රවෘත්ති වලට ලැබෙන වෙළඳ දැන්වීම් පෙරට වඩා වැඩියි.

* ඒකෙන් ඔබ ඉඟි කරන්නේ ගුවන්විදුලි සංස්ථාවත් තමන්ගේ නාලිකා ටික අරගෙන තරඟෙට බහිනවා කියන එකද?

නැහැ. ඔය තරඟය කියලා කියන්නේ වෙළඳපොල රේටින්ස්වලට. ඔය රේටින්ස් මත පදනම් වෙලා තමයි බහුතරයක් ගුවන්විදුලි නාලිකා වැඩ කරන්නේ. නමුත් මම දකින විදිහට මේ රේටින් ක්‍රමයේ කිසි පදනමක් නෑ. ඒක නිසා මට අමාරුයි ඒවා ගැන විශ්වාසය තියල වැඩ කරන්න. එක හේතුවක් තමයි මේ රේටින් සඳහා පාවිච්චි කරන මූලධර්මය මොකක්ද කියන එක. අනික මේවට කොච්චර නියැදියක් පාවිච්චි කරනවද කියන එක මට ප්‍රශ්නයක්. අපි ඒවා දන්නේ නැහැ. ඉතින් ඒවගේ අපැහැදිලි ක්‍රමවේදයක් ඇතුලේ තීරණ ගන්න එක කරන්න අමාරුයි.

* නමුත් නාලිකාවක් ඒ රේටින්ස් ඇතුලේ ස්ථාන ගත වෙන විදිහ හරි වැදගත්?

ඔව්. අපි ඒක ගැන අවබෝධයක් අරන් තියෙනවා. උදාහරණයක් හැටියට අපේ සිටී එෆ් එම් නාලිකාවටත් වැඩිය උඩින් තමයි ස්වදේශීය සේවය රේට් වෙලා තියෙන්නේ. කවුද ඇත්තටම හිතෙන්නේ ඒක එහෙම වෙයි කියලා. නමුත් රේටින් අනුව ඒක එහෙමයි.

* අද වෙන විට බණ සහ පිරිත් නාලිකා අතර මාකට් එකක් ලෙස කි‍්‍රයාත්මක වෙනවා. ඔබ කොහොමද ඒක දකින්නේ?

ඇත්තටම බැලුවොත් බණ කියන්නේ රටේ සම්ප්‍රදාය. නමුත් පිරිත් අද පාවිච්චි කරන්නේ වෙළඳපොල අර්ථයෙන්. අපිත් බණ සහ පිරිත් විකාශය කරනවා. නමුත් දැන් අපි ඒ පිළිවෙල මදක් වෙනස් කළා. අපි දැන් පිරිත විකාශය කරන්නේ උදේට විකාශය ආරම්භ කරන වෙලාවට. දැන් රෑට පිරිත් හා බණ විකාශය කරන්නේ නෑ. මොකද ඒ කාලය වටිනා විකාශන කාලයක්.

* ඔබ ස්වදේශීය සේවය සහ සිටී එෆ් එම් සේවාවන් දෙක වඩාත් හොඳීන් තිරිහන් කළා අපි දැක්කා. ඔබ මොකක්ද මේ නාලිකාවන්ට දුන්න සත්කාරය?

අපි ස්වදේශීය සේවයට වඩාත් හොඳ ව්‍යුහයක් හඳුන්වා දුන්නා. තවමත් යම් යම් වෙනස් කම් කරගෙන යනවා. 100% සම්පූර්ණ නැහැ. කලින් තිබ්බ වැඩසටහන් තමයි ආගමික වැඩසටහන්, විදුල ළමා ගුවන්විදුලිය, සුභාරතී, නොයෙක් අධ්‍යාපන වැඩසටහන් සහ රජයේ ආයතන වල වැඩසටහන්. නමුත් අපිට මේ විදිහට කොටස් වෙන් කරලා දිගටම පවත්වාගෙන යන්න බැහැ. ඒ වෙනුවට ජාතික කර්තව්‍යයන්ට සරිලන පරිදි අපි තේමාවන් 3ක් හඳුන්වල දෙනවා. ඒවා තමයි සංහිඳීයාව, ප්‍රජාතන්ත්‍රවාදය හා කලාව. මේ තුන ඔස්සේ තමයි මින් ඉදිරියට අපි වැඩසටහන් පෙලගස්සන්නේ. ඒ වගේම නූතන අධ්‍යාපනය ගුවන් විදුලියෙන් ඉගෙන ගන්න පුලුවන් ක්‍රමයක් විදිහට දියුණු කරන්නත් බලාපොරොත්තු වෙනවා.

* 89.6 හා 89.8 න් ඇහෙන සිටී එෆ් එම් දැන් ඉස්සරටත් වැඩිය ජනපි‍්‍රයයි. ඔබ එහි අන්තර්ගතය උඩු යටිකුරු කළා?

සිටී කියන්නෙම නාගරික කියන එකනේ. අපි ඒක ඒ විදිහට පවත්වාගෙන යා යුතුයි. අනික දැන් එෆ් එම් අහන්නේ ගෙදර රේඩියෝ එකෙන් විතරක් නෙවෙයිනේ. දැන් වාහනේ රේඩියෝවෙන්, ෆෝන් එකෙන්, පරිගණකයෙන් හැම එකෙන්ම අහනවා. මුලින්ම කළේ අපි සිටී එෆ් එම් ඩිජිටල් කරපු එක. තෙන්ද්‍රල් නාලිකාවටත් අපි ඒකම කළා. ඒ වගේම දැන් පැය 24 ම සිටී එෆ් එම් කි‍්‍රයාත්මකයි. බොහෝ විට සමාජජාලවල ඉන්න අලුත් මත සම්පාදකයන් අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා අලුත් අන්තර්ගතයක් අලුත් විදිහට අලුත් අය විසින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් කරනවා. ඔවුන් බොහොම නිදහස් ආරකින් ඒ වැඩේ කරනවා. සිනමාවට කලාවට ගීතයට එතන තැන තියෙනවා. නීතිය ගැන කතා කරන්න ‘අපි කවුරුද?’ සාහිත්‍ය කලාව ගැන කතා කරන්න ‘කලාබර හැන්දෑව’ ‘කැෆේ කයිවාරු’ කියන චැටින් වැඩසටහන ඒ වගේම “සිනමා ගීතයේ රසානන්දය” කියන වැඩසටහනත් “කොලිවුඩ් සිහින” දමිළ සිනමා ගීත වැඩසටහනත් සිනමාව වෙනුවෙන් අපි වෙන් කරලා තිබෙනවා. ඒ වගේම උදේට යන වැඩසටහන් ආකෘතියත් අපි වෙනස් කළා. අපි අන්තර්ජාලයටත් නිතර සම්බන්ධ නිසා අපට නිතර ප්‍රතිචාර ලැබෙනවා සිටී එෆ් එම් ගැන. අපි සිටී එෆ් එම් මොබයිල් ඇප් එකත් මේ වෙනකොට නිකුත් කරලා තියෙන්නේ.

* ගුවන්විදුලියේ පරණ හඬවල් බොහෝ විට ශ්‍රාවකයා ඈත් කරනවා කියලා ඔබ හිතන්නේ නැද්ද?

මෙහෙමයි. අපි ස්වදේශීය සේවය තවත් සිටී එෆ් එම් එකක් කරන්නේ නැහැ. මොකද මේ පරණ හඬවල් වලටත් තාම තැනක් තිබෙනවා. ඒ හඬවල් ඉල්ලනවා අද වුනත්. ඒ නිසා ඒ දේවල් විශාල ලෙස වෙනස් වෙන එකක් නැහැ.

* ගුවන්විදුලියේ අභ්‍යාස ආයතනවල තත්වය ගැන ඔබ තෘප්තිමත් ද?

ඇත්තටම මට තෘප්තියක් නැහැ. මොකද මේ ගොඩක් ක්‍රමවේද යල් පැන ගිහිල්ලා. වොයිස් ට්‍රේනින් උනත් වෙන්නේ ඉතා පරණ විදිහට. අද ලෝකේ ඒ විදිහට වෙන්නේ නැහැ. අපි වහාම පටන් ගන්න ඕනෑ පර්යේෂණ හා සංවර්ධනය මූලික කරගත් අභ්‍යාසයන්. ඒවා බොහෝ දුරට වෙළඳපොල මට්ටමින් කළ යුතුයි.

* ගුවන්විදුලියේ අනාගත වෙළඳපොල මොකක් කියලද ඔබ හිතන්නේ?

මම නම් හිතන්නේ ඒ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්. මැද පෙරදිගින් ඔබ්බට අපි සූදානම් විය යුතුයි ඒ රටවල් සමඟ ගනුදෙනුවකට යන්න. ඒ අයවත් එකතු කරන් අපි සූදානම් අලුත් වැඩ ටිකක් කරන්න.

* ගුවන්විදුලියේ ඉදිරි වැඩ සැලැස්ම කොයි වගේ වේවිද?

අපිට තිබෙන ශ්‍රවණ හා සම්පේ‍්‍රෂණ තත්වයන් වැඩි දියුණු කළ යුතුයි. ඒ වගේම ඩිජිටල් සංරක්ෂණාගාරයක් ඉදිකිරීම සඳහා අපි වැඩ කරනවා. ඒ වගේම හොඳ චැට් බොක්ස් පද්ධතියක් අපි ආයතනය තුළ ගොඩ නගාගන්න අවශ්‍යයි. ඒ වගේම ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලය ශක්තිමත් කරලා ඔවුන්ව වට්ස් ඇප් ඔස්සේ ජාලගත කරන්න අපි පටන් ගන්නවා. ඒ වගේම අපේ වෙබ් අඩවි මූලික කරගෙන ශ්‍රවණ තත්ත්ව දියුණු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

* රාජ්‍ය මාධ්‍ය තිබෙන්නේ ජාතික වගකීම් ඉටු කරන්න යැයි පහුගිය දශකය පුරාවටම නිතර කියවුණා. මොකක්ද ඇත්තටම ගුවන්විදුලියට තිබෙන ජාතික වගකීම?

ගුවන්විදුලියේ ජාතික වගකීම පැහැදිලිව සඳහන් වෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි 1966 සම්මත වුනු ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථා පනතේ. ඒකේ පැහැදිලිව කියන්නේ මහජන හිත සුව පිණිස කටයුතු කිරීමත් ජාතික සමගියට හානිකර නොවන අයුරින් කටයුතු කිරීමත් ගුවන්විදුලි සංස්ථාවේ වගකීමක් කියලා.