වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රවීණයන්ගෙන් වගේම නවක අධ්‍යක්ෂවරුන්ගෙන් මං බොහෝ දේ ඉගෙන ගත්තා

ප්‍රවීණයන්ගෙන් වගේම නවක අධ්‍යක්ෂවරුන්ගෙන් මං බොහෝ දේ ඉගෙන ගත්තා

නීටා ප්‍රනාන්දු

‘තේජා’ සහ ‘ස්වර’ කියන චිත්‍රපට දෙක තමයි ඉදිරියේ පෙන්වීමට නියමිතව තිබෙන චිත්‍රපට දෙක. ‘තේජා’ අධ්‍යක්ෂණය කළේ නිලන්ත හපන්වීරයි. මේ චිත්‍රපටය කරලා ටික කාලයක් ගත වුණත් මට හිතෙනවා තේමාව සර්වකාලීනයි කියලා. අපි ‘තේජා’ තුළින් කතා කරන්නේ ඇඟලුම් කර්මාන්තයේ වෙසෙන තරුණියන්ගේ ජීවිත ප්‍රශ්න. ‘ස්වර’ අධ්‍යක්ෂණය කළේ සංජය නිර්මාල්. ඒ සඳහා පසුබිම් වුණේ හෙටටත් වලංගු මාතෘකාවක් වන ‘ඒඩ්ස්’ රෝගයයි. යොලන්ඩා විරසිංහගේ කතාවක් මේක. මේ චිත්‍රපට දෙකම වර්තමාන සමාජ ප්‍රශ්න සාකච්ඡා කරන චිත්‍රපට දෙකක්. ඉතාම ඉක්මනින් තිරගත කරන්න බලාපොරොත්තු වෙනවා.

ඇය නීටා ප්‍රනාන්දුය. ඈ ගැන කියන්නට තවත් කරුණු කාරණා අවශ්‍ය නොවන්නේ මෙරට සිනමා ප්‍රේක්ෂකයින්ට මේ නම තවමත් ආදරණීය වන නිසාය. හැටේ දශකයේ මැද භාගයේ මෙරට සිනමාවට ප්‍රවිශ්ට වූ ඇය එදා සිට මේ දක්වා සිය අපූර්ව රංගන ප්‍රතිභාවෙන් මෙරට ප්‍රේක්ෂකයින් පිනවන්නේය. ඈ විසින් මෙරට සිනමාව ගැන කලා මාධ්‍යය උදෙසා සිදු කරනු ලැබූ අපිරිමිත මෙහෙය අගයනු වස් පසුගිය දිනක ඈ ජීවිතයේ එක් වරක් පමණක් හිමිවනු ලබන සම්මානයකින් පිදුම් ලැබුවාය. ඒ පසුගිය දිනවල අවසන් වූ සුමති ටෙලි සම්මාන රාත්‍රියේදී යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානය දිනා ගැනීමෙනි. ලාංකේය සිනමා වංශ කතාව තුළ නීටාගේ මෙහෙය සුවිශේෂීය. ඇය කලක් සිනමාවෙන් ඈත් වී සිට නැවත රංගනයට ප්‍රවිශ්ටව මෙරට සිනමාව ජාත්‍යන්තර තලයට ඔසවා තබමින් අන්තර් ජාතික සිනමා සම්මානයක් පවා මෙරටට උරුම කර දුන් නිළියකි. ඒ ඇය රඟපෑමේ හා නිෂ්පාදන දායකත්වයෙන් එක් වූ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පවුරු වළලු චිත්‍රපටයෙනි.

‘ඇත්තටම පසුගියදා පැවැත්වුණු විසි දෙවැනි සුමති සම්මාන උලෙළින් ලැබුණු මේ සම්මානය මට විශාල දිරියක්. මේ උලෙළ ටෙලි ඩ්‍රාමා උලෙළක් වුණත් එහි නිර්මාතෘවරයා අපේ සිනමාවේ මුල් කාලයේ පටන්ම දැවැන්තයෙක්. සිනමාව වෙනුවෙන් විශාල සේවයක් සිදු කරපු පුද්ගලයෙක්. යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානය මට මිලිනා සුමතිපාල මහත්මිය අතින් ලබාගැනීමේ අවස්ථාව අහිමි වුණා. ඒ ගැන මම කනගාටු වෙනවා. එතුමිය හිටියා නම් එතුමියගේ අතින් තමයි මේ සම්මානය ලැබෙන්නේ. සුමතිපාල මහත්මයාගෙන් පසුව සිනමා කර්මාන්තය සේම මේ ව්‍යාපාර ඔක්කොම ඉදිරියට ක්‍රමානුකූලව පවත්වාගෙන ගියේ ඇයයි. සිනමාවට දායකත්වයක් ලබා දුන් අපි වැනි අය මේ උලෙළේ දී අගය කිරීම පිළිබඳ ඉතාම සතුටු වෙනවා. අපිට තිබෙන ආදරය, ගෞරවය තවදුරටත් රඳවා ගැනීමට ඒක විශේෂයෙන්ම හේතු වෙනවා.’

නිළියකට ලැබෙන ජනතා ප්‍රසාදය සේම සම්මානයක වටිනාකම ද වචනයෙන් කියා නිම කළ නොහැක. ඇය සමාජය තුළ ප්‍රේක්ෂකයන් අතර තවදුරටත් ජීවමාන කරවන්නට ඉන් ලැබෙනුයේ ප්‍රබල උත්තේජනයකි. විශේෂයෙන් දශක පහකට එහා ගිය කාල වකවානුවක සිට මෙරට සිනමාව නැල වූ නීටා වැනි නිළියකට මේ සම්මානය පිදීම අතිශයින් කාලෝචිතය.

නීටා ප්‍රනාන්දු ලාංකේය සිනමා වංශ කතාවට ප්‍රවිශ්ට වනුයේ 1965 වර්ෂයේදීය. ඒ ජෝ අබේවික්‍රමයන් සමඟ ‘ළඳක මහිම’ චිත්‍රපටියේ රඟපාමිනි. එතැන් සිට ඇය ‘දුහුළු මලක්, ළසඳා, හදවත් නැත්තෝ, මංගලා, වාසනා සහ ශාන්ති’ ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය පිරිනැමුවාය. එපමණක් ද නොව චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසින් ද දේශීය සිනමා කර්මාන්තයට සිය දායකත්වය පිරිනැමීය.

දශක පහකට වැඩි කාලයක් නීටාගේ කලා දිවිය ගෙවි ගොස් ඇතත් ඇය වර්තමානයේත් මේ මොහොතේත් ජීවත්වන්නේ කලාව සමඟය. මේ දිනවල ඇගේ නවතම රඟ සොබා අපට දැකබලා ගැනීමට හැකි වනුයේ වේදිකාවෙනි. නීටා මෙරට ප්‍රේක්ෂකයන් අතර සිනමා නිළියක ලෙසින් වුව ද, වේදිකාව ඇයට අමුතු තැනක් නොවීය. ඇය සිනමාවට පිවිසි මුල් යුගයේ ද වේදිකා නාට්‍ය දෙකක රඟපෑවාය. ශෛලීගත නාට්‍යයක් ලෙසින් එකල බිහි වූ ගුණසේන ගලප්පත්තිගේ ‘සඳ කිඳුරු’ නාට්‍යයේ මෙන්ම සුමන ආලෝක බණ්ඩාර නිෂ්පාදනය කළ ‘නිදිකුම්බා’ නාට්‍යයේ ද ඇය ප්‍රධාන චරිත නිරූපණය කළාය. එහෙත් සිනමා නිළියක වශයෙන් ජනප්‍රියත්වයට පත්වන්නට පටන් ගත් පසු ඇයට වේදිකාවේ රැඳෙන්නට කාලයක් නොවූයෙන් ඉන් ඉවත් වූවාය. පුරා දශක ගණනකට පසු දැන් ඇය යළිත් වේදිකාවට පැමිණ සිටින්නීය.

‘මම මීට අවුරුදු 8 - 10 ට විතර උඩදී පර්යේෂණාත්මක නාට්‍යයක රඟපෑවා කමල් අද්දරආරච්චිත් සමඟ. ඒක දර්ශන දෙකක් හෝ තුනක් පැවැත්වුවා. ඊට පස්සේ තමයි මේ නැවත වේදිකාවට සම්බන්ධ වෙන්නේ. මේ නාට්‍යයේ අධ්‍යක්ෂ, නිෂ්පාදක තනුජ් අනවරත්න. ඔහු මගේ ‘නිසලගිර’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. ඒ නිසා මීට ප්‍රථම මා ඔහුත් සමඟ සිනමාවේ හොඳ ගනුදෙනුවක නිරත වෙලා තිබෙනවා. මේ නාට්‍යය පිළිබඳ සිතුවිල්ල කාලයක පටන් තනුජ්ගේ හිතේ තිබුණා. ඔහු වේදිකාවේත් විවිධ අයුරින් දක්ෂතා පෙන්නලා සම්මාන පවා දිනාගත්ත විශිෂ්ටයෙක්. නාට්‍යයේ නම ‘හඳ එළියට වෙඩි තියන්න’. දැනට අපි දර්ශන වාර දෙකක් පෙන්නුවා. ඉදිරියට අපි දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මම හුඟාක් කාලෙකින් වේදිකාවේ රඟපානකොට මට පොඩි චකිතයක් තිබුණා. මට සැකයකට තිබුණේ මගේ කටහඬ පාලනය ගැනයි. මොකද සිනමා රංගනයෙන් ඔබ්බට ගිය අධි රංගනයක් මම කරන්න ඕනෑ. කාලයක් තිස්සේ කැමරාවට පුහුණු වෙලා හුරු වෙලා ඉන්න කොට එතැනින් මිදෙන්න ටිකක් වෙලා යනවා. මට වැටහුණා මගේ රංගනය වෙනස් කරගත යුතුයි කියලා. ඒ අනුව තනුජ් එක්ක එකතුවෙලා පුුහුණුවීම් කරලා මම මහන්සියෙන් කැපවිමෙන් ඒ තත්ත්වය ලබාගන්න උත්සාහ කළා.’

රංගනය ඇයට සුවිශේෂී නොවන්නක්. සුළු සුළු වෙනස්කම් සහිතව ඊට අනුගත වන්නට ඈට ඉතා පහසුවෙන් හැකි බවයි පැවසුවේ. වෙනසකට ඇත්තේ ඒ ඒ අධ්‍යක්ෂවරුන්ගේ රුචිකත්වය, ශෛලියට අනුගතවීම පමණක් බවයි. නීටාගේ නවතම රංගන දායකත්වය රැගත් චිත්‍රපටය වනුයේ ‘පාංශු’ය. එය විසාකේස චන්ද්‍රසේකරම්ගේ අධ්‍යක්ෂණයකි. නීටා සහ විසාකේස අතරවන මේ බැඳීම එක්තරා ආකාරයක අපූර්ව සංසිද්ධියකි. විසාකේස යනු වත්මන් සිනමාවට ප්‍රවිශ්ට වූ නවකයෙකි. මෙරට ප්‍රේක්ෂකයින් ඔහුගේ පළමු සිනමා අත්දැකීම වන ‘සය පෙති කුසුම’ පමණක් නැරඹූ අයය. නීටා සිනමාවට ප්‍රවිශ්ට වන විට විසාකේසලා ඉපදීවත් නොමැත. එහෙත් මේ ප්‍රවීණ සහ තරුණ සබැඳියාව අනාගත සිනමාවට ද අපූර්වත්වය එක් කිරීමට කැසකවන ආකාරය අප ඇදහිය යුතුය.

‘පාංශු’ චිත්‍රපටයේ වැඩ කටයුතු දැන් අවසාන අදියරේ තිබෙන්නේ. මේ චිත්‍රපටයේ තේමාව එක්තරා කාලවකවානුවක අපේ රටේ සමාජ, දේශපාලන, සංස්කෘතික පසුබිමක පිහිටා සාකච්ඡා කරනු ලබන එකක්. විසාකේස පිළිබඳ මම මීට ඉහත දැනගෙන හිටියේ නෑ. ඔහු ලංකාව් ජීවත්වන කෙනෙක් නෙමෙයි. මේ චරිතයට ඔහු මට කතා කරන්නේ විදේශයක ඉඳලයි. මට මේ චිත්‍රපටයේ රඟපාන්න තිබුණේ දරුවෙක් නැතිවෙලා හොයන අම්මා කෙනෙකුගේ චරිතයක්. ඒ වටා තමයි කතාව ගොඩ නැඟෙන්නේ. විසාකේසගේ චිත්‍රපටයේ රඟපාන්න ගිහින් මම මේ තරුණ කොලු ගැටයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔහු ඉතාමත් සංයමයකින් තමයි නළු නිළියන් මෙහෙයවන්නේ. චිත්‍රපටය පටන් ගන්න කලින් සියළුම චරිත දර්ශන තලයට ගෙන්නලා දින 08 ක් පමණ ඉඩධන එකක් වගේ කරනවා. ඒ ඒ චරිත අධි රංගනයක් නොමැතිව, රංගනයක් ද කියා නොදැනෙන්න ඔහු අපෙන් රංගනය ගන්නවා.

මේ අම්මා ගඟ ආශ්‍රිතව ජීවත් වෙන ඩෝබි ගැහැනියක්. මම කරපු චරිත අතරින් සුවිශේෂී චරිතයක්. මම විසාගෙන් වෙනස් දෙයක් ඉගෙන ගත්තා. මම ටයිටස් තොටවත්ත, ප්‍රසන්න විතානගේ වැනි සිනමාවේ සම්මානලාභී ප්‍රවීණයන්ගෙනුත් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි මේ නවක තරුණ අධ්‍යක්ෂවරයාගෙනුත් බොහෝ දේ ඉගෙන ගත්තා. අපි හැමදාම ඉගෙන ගන්නවා කියන්නේ අන්න ඒකටයි.’

කාලයක් සමඟ තාක්ෂණයත් සමඟ බොහෝ දේවල් වෙනස්වන බව ඇය අවබෝධ කොට ගෙන ඇත. විශේෂයෙන් නව තාක්ෂණයත් සමඟ, නව දැනුමත් සමඟ මෙන්ම අලුත් දේ හිතන පතන තරුණයන්ගෙන් පවා තමන්ට ඉගෙන ගන්නට බොහෝ දේ ඇතැයි කියමින් තරුණ ජවය සමඟ අනාගත සිනමාව ගොඩ නඟන්නට උරදෙන මෙවන් ප්‍රවීණයෝ නොවේ ද වර්තමානයට අවශ්‍ය වනුයේ. චිත්‍රපටයේ එන ආකාරයට මෙකී අම්මා රෙදි සෝදන ගැහැනියකි. ඇගේ වෘත්තීය ජීවිතයට විශේෂයෙන්ම පිහිනීම අත්‍යාවශ්‍ය යැයි විසා නීටාට පවස ඇත. ඒ නිසා පුරා මාස 9 ට ආසන්න කාලයක් ඇය පිහිනීම ඉගෙන ගෙන ඇත.

‘දැන් එහෙනම් හොඳට පීනන්නත් පුළුවන් ඇති නේද?’

නීටා සිනාසෙන්නේ වෙනත් කතාවක් කියන්නටය.

‘මම වතුරට බයයි. මාස ගාණක් පීනන්න ඉගෙන ගන්න ගියත් තාමත් මට හරියට පීනන්න බැහැ. ඒත් මේ චිත්‍රපටයට ඕනෑ කළේ මම උඩු අතට පීනන්නයි. හැබැයි ඒක මම නිවැරැදි විදියට කළා.’

සිනමා රංගනයේ ප්‍රධාන චරිතයක් වෙනුවෙන් ඇය වෙහෙසෙන්නේ කලකට පසුය. ඇය අවසන් වරට සිනමා රංගනයට එක් වූයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘පත්තිනි’ චිත්‍රපටයටය. ඇය එහි රඟපෑවේ ආරාධිත චරිතයකි. චිත්‍රපට නිෂ්පාදිකාවක් වශයෙන් නීටාට ඇත්තේ දිගුකාලීන අත්දැකීම්ය. ඇය ප්‍රථම වරට චිත්‍රපට නිෂ්පාදනයට එක් වුයේ 1981 දීය. ඒ ‘සූරියකාන්ත’ චිත්‍රපටය නිෂ්පාදනය කරමිනි. ඇගේ රංගන දිවියේ සේම නිෂ්පාදන දිවියේ ද සුවිශේෂී සන්ධිස්ථානය වුයේ 1998 වර්ෂයේදී ඇය ප්‍රධාන චරිතය රඟපාමින් නිෂ්පාදනය කරන ලද ‘පවුරු වළලු’ චිත්‍රපටයය. ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද එම චිත්‍රපටයේ ‘වයලට්’ ගේ චරිතය රඟපෑම වෙනුවෙන් 1998 සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගනිමින් මෙරට දේශීය සිනමාව ජාත්‍යන්තර තලයේ බැබල වූවාය.

එදා මෙදාතුර ඇරඹූ නිෂ්පාදන දිවිය තුළ වර්තමානය වන විට ද සිනමා නිර්මාණ ද්විත්වයක් ඉදිරියේදී පෙන්වීමට නියමිතව තිබේ.

‘තේජා’ සහ ‘ස්වර’ කියන චිත්‍රපට දෙක තමයි ඉදිරියේ පෙන්වීමට නියමිතව තිබෙන චිත්‍රපට දෙක. ‘තේජා’ අධ්‍යක්ෂණය කළේ නිලන්ත හපන්වීරයි. මේ චිත්‍රපටය කරලා ටික කාලයක් ගත වුණත් මට හිතෙනවා තේමාව සර්වකාලීනයි කියලා. අපි ‘තේජා’ තුළින් කතා කරන්නේ ඇඟලුම් කර්මාන්තයේ වෙසෙන තරුණියන්ගේ ජීවිත ප්‍රශ්න. ‘ස්වර’ අධ්‍යක්ෂණය කළේ සංජය නිර්මාල්. ඒ සඳහා පසුබිම් වුණේ හෙටටත් වලංගු මාතෘකාවක් වන ‘ඒඩ්ස්’ රෝගයයි. යොලන්ඩා විරසිංහගේ කතාවක් මේක. මේ චිත්‍රපට දෙකම වර්තමාන සමාජ ප්‍රශ්න සාකච්ඡා කරන චිත්‍රපට දෙකක්. ඉතාම ඉක්මනින් තිරගත කරන්න බලාපොරොත්තු වෙනවා.

නීටාගේ රංගනනයෙන් හැඩ වූ සිනමා සිත්තමක් මේ දිනවල ද තිරගත වනු ඇත. ඒ ආචාර්ය ධර්මසේන පතිරාජගේ ‘ස්වරූප’ චිත්‍රපටයය. එහි ප්‍රධාන භූමිකාව නිරූපණය කරනුයේ ඇය විසිනි.

‘ආචාර්ය පතිරාජ සමඟ චිත්‍රපටයක වැඩ කරපු පළවෙනි අවස්ථාව මේක. මගේ විවාහය එක්ක මට ලංකාවෙන් ගියපු කාලේ ආචාර්ය පතිරාජ මාව හොයලා තිබුණා. නමුත් ලංකාවේ හිටපු නැති නිසා ඒ අවස්ථාව මගෙන් ගිලිහී ගියා. ඔහුත් සමඟ වැඩ කරද්දී දැනුණා ඔහුගේ ඒ පරිණත බව කොච්චර ද කියලා. ඔහු අපිව තෝරගන්න ඇත්තේ අපෙන් යමක් බලාපොරොත්තු වෙන්නේ. ඒ දේට ඔහු හොඳ ගරුත්වයක් දුන්නා. මම ගොඩාක් ආසාවෙන් මේ චිත්‍රපටයේ රඟපැවේ. මගේ සැමියා හැටියට රඟපාන්නේ ඩබ්ලිව්. ජයසිරි. දරුවන් දෙදෙනකුගේ අම්මා කෙනෙක් හැටියට මට රඟපාන්න තිබුණේ. දරු සෙනෙහස සේම පවුලේ අනේක විධ ප්‍රශ්නයන්ට මුහුණ දෙන ගැහැනියක්. ස්වාමියා පෙන්ෂන් ගිය හමුදා නිලධාරියෙක්. ඔහු කයිවාරුකාරයෙක්. ඉන්නේ කුලී ගෙදරක. බොරු සෝබනේට බොහෝ දේ පෙන්නුම් කරනවා විතරයි. ජීවිතේ බොහෝ දේවල් තනිවම දරාගන්න ගැහැනියක්.’

නීටාගේ රංගන කාර්ය ගැන සැලකීමේදී මේ රටේ සිනමා ප්‍රේක්ෂකයන්ට ‘ළසඳා’වත්, දුහුළු මලක් හි ‘නිලූපා’වත්, පවුරු වළලු හි ‘වයලට්’වත් අමතක කළ නොහැකිය. අසම්මත ආදරයක බැඳෙමින් එදා ‘නිලූපා’ කළ රංගනය අදටත් අප ඉදිරියේ මවන්නට නන්දා මාලිනිය ගයන ‘රන් කෙන්දෙන් බැඳ අතඟැලි එක් කළ ආදරයයි’ ගීතය සමත් වේ. රංගන ගමන් මඟ තුළ ගණනින් සීමා සහිත චරිත ටිකක් නිරූපණය කළ ද ඒ සියල්ල අදටත් දේශීය සිනමාව තුළ අමරණීයයි. සිනමා නිර්මාණ 55 ට පමණ ඇය මේ වනවිට රංගන දායකත්වය පිරිනමා ඇත.

සිනමා තිරයෙන් නොනැවතී පුංචි තිරයේ ප්‍රේක්ෂක මනදොල සපුරන්නට ද පැමිණි ඇය, ටෙලි නාට්‍ය ගණනාවකට ද රංගනයෙන් දායකත්වය පිරිනැමුවේය. මේ දිනවල විකාශය වන තුසිත ද සිල්වාගේ අධ්‍යක්ෂණයෙන් සහ වසන්ති චතුරානිගේ නිෂ්පාදනයක් වන ‘සොඳුරු දඩයක්කාරයා’ ටෙලි නාට්‍යයේ මෙන්ම ඉදිරියේ දී විකාශයට නියමිත තුසිත ද සිල්වාගේ ‘මන්දාරම් පුර’ ටෙලි නාට්‍යයෙන් ද ඇය අප හමු වෙයි.

රංගන ශිල්පිණියකුගෙන් එහා ගිය ලෝකය තුළ නීටා ආදරණීය බිරිඳක්ව ගත කළ සොඳුරු කාල පරිච්ඡේදය ඇගේ ජීවිතයේ වාසනාවන්තම කාලය බව ඇය වරක් පැවසුවාය. සිනමාවෙන් ද සමුගත් ඈ සිය පෙම්බරයා සමඟ නික්ම ගියේ යහපත් පවුල් ජීවිතයක හිමිකම පතාගෙනය. ඒ අයුරින්ම ඇය වාසනාවන්ත, ආදරණීය බිරියක් වූවාය. ඇගේ සැමියා ඇය ආදරයෙන් බලා කියා ගත්තේය. එහෙත් සියලු දේ අනිත්‍ය ලෝකය තුළ නීටාට කලින් ඔහු ඇගෙන් වෙන්ව යන්නම යන්න ගියේය. වියෝ වේදනාව දරුණු ලෙස විඳිමින් සිය සිත හදාගත් ඈ පසු කලෙක සිය ආදරණීය මවුන් රැක බලා ගනිමින් ජීවත් වූයේය. නීටාගේ මව ඇගේ සියලු ආදර සත්කාර සංග්‍රහයන් විඳිමින් සිට පසුගියදා ඇය අතහැර යන්නට ගියේය. දියණියක වශයෙන් සිය යුතුකම් ඉටුකරමින් ගත කළ ඒ දිවිය පිළිබඳ සදාකල් ප්‍රීතිවන ඇය අද ද අන්‍යයන්ගේ ශුභසිද්ධිය වෙනුවෙන් සිය ජීවිතයේ වැඩි කාලයක් කැප කරමින් සතුටින් ජීවත් වන්නීය.