වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

බර්ටි ගලහිටියාවට නිවන් සුව

ගුවන්විදුලියට ආලෝකය                          දුන්න
බර්ටි ගියා මේ ලෝකෙන් පිට                යන්න
ඔබෙ සේවයට පැසසුම් ලැබෙනවා මෙන්න
ගලහිටියාව නම කවුරුත් රැක              ගන්න

රංගන ශිල්පියෙකි දස්කම් පිරී                  ඇති
ලේඛන කලාවට ඉහළින් සිතක්                ඇති
සමිති සමාගම්වල මුල් තැනද                   ඇති
ඔබතුම අප සැමට පළමුව නිවන්             යති

ආර්. ඒ සෝමා රණසිංහ


මෙගා නිසා එපා වෙලා

මෙගා නිසා ටෙලි නාට්‍ය දැන් එපා වෙලා. ඒ අතරින් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ හාරකෝටිය කුතුහලයෙන් පිරි ප්‍රේක්ෂක හදවත් ආකර්ශනය කළ ටෙලි නිර්මාණයකි. සුරාජ් මාපා සහ සාරංග ප්‍රේමවන්ත චරිතයෙන් මිදී වෙනස් චරිත මැවීම අපූරුයි. සොනාලි ඇතුළු අනෙකුත් නළු නිළියන්ගේ රඟපෑම් ද අගයමි.

අතුල රම්‍යසිරි
පානදුර


කීර්ති පැස්කුවල් වෙත

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ලෙසින් අප රටේ කලාකරුවන් වෙත කරනා සේවයට අපගේ ප්‍රණාමය පුද කරමි. පසුගියදා ගායක ගායිකාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබාදීමට ඔබ ගත් උත්සාහය අප ඉහළින් අගය කරන්නෙමු.

ඩබ්. කේ මොහාන්
මහවැලි සී කලාපය


ටෙලි ද දැන්වීම් ද

සියලුම රූපවාහිනි නාලිකා තුළින් විකාශය කෙරෙන ඇතැම් ටෙලි නාට්‍ය ආරම්භ කළ විගස එක පෙළට විකාශය කෙරෙන වෙළෙඳ දැන්වීම් විකාශය කිරීම නිසා ප්‍රේක්ෂකයා මහත් අපහසුතාවයට පත් වේ. ටෙලි නාට්‍ය නවතා දමා වෙළෙඳ දැන්වීම් පමණක් විකාශය කරන්නා මෙනි. ඇත්තටම මෙය ප්‍රේක්ෂක අපට මහත් හිසරදයකි.

පාලක සමන් පෙරේරා
අල්විස් ටවුම
හැඳල


ස්වාධීන රූපවාහිනි සේවයට

සුමති ටෙලි නාට්‍ය සම්මාන උලෙළේදී සම්මාන 16ක් ලබමින් පෙර පැවති රයිගම් සම්මාන, රාජ්‍ය සම්මාන උලෙළවලදී සම්මාන පිට සම්මාන ලැබීම පිළිබඳව ස්වාධීන රූපවාහිනි සේවයට සුබ පතමි. හරවත් ටෙලි නාට්‍ය සංගීත වැඩසටහන් ඉදිරියටත් විකාශය කරන මෙන් ඉල්ලා සිටිමි.

දිනේෂ් ගුණසේකර
නූපේ
මාතර


සිරි කහවලට ඉක්මන් සුව

කලා ක්ෂේත්‍රයේ කාහටත් ළබැඳී, රිය අනතුරකට මුහුණ දී සිටින සිරි කහවලට ඉක්මන් සුවය පතමි.

මානෙල් ධර්මා ඒකනායක
යටවත්ත
මාතලේ


පබා වෙනුවෙන්

උපේක්ෂා ස්වර්ණමාලි සහ අමිල අබේසේකර පෙම්වතුන් සේ රඟන පබා ජනප්‍රිය ටෙලි නාට්‍යය ස්වාධීන රූපවාහිනියෙන් යළිත් විකාශය කිරීම ගැන අප සතුට.

මැණිකේ විල්වල
තිලකරත්න විල්වල
තටාකය පාර
කෑගල්ල


ආදර්මත් ගී ගැයූ ඔබ සදා අමරණීය යි

සී. ටී ප්‍රනාන්දු අපෙන් සමු ගෙන පුරා වසර හතළිහක් සපිරෙයි. ඔබ අපෙන් සමු ගත්තේ 1977 ඔක්තෝබර් 17 වැනිදා ය. බාල, තරුණ, වැඩිහිටි සැමට රස විඳීය හැකි ආදර්මත් ගී රැසක් ගැයූ ඔබ සදා අමරණීය යි.

ජයන්ත අමරතුංග
චන්දන පොකුණ
පොළොන්නරුව


ප්‍රීති රන්දෙණියට සෙනෙහසින්

තරංගා චිත්‍රපටයෙන් සිනමාවට පිවිස 'දෑස නිසා', 'දුහුළු මලක්' වැනි සිනමා සිත්තම් තුළින් පෙරට පැමිණි ප්‍රීති සෙනෙවිරත්න රංගනයට තිත තබමින් නවකතා කතුවරියක ලෙස ද ගීත රචිකාවක් ලෙස ද පාඨකයන් අතරට පැමිණීම සතුටට කරුණකි. සිංහල සිනමාව ජයගත් රවීන්ද්‍ර රන්දෙණියගේ දයාබර බිරිය ප්‍රීති රන්දෙණිය ලෙස ඔබ කරන මෙහෙවර අගය කරමි.

චන්ද්‍රකාන්ති පියතුංග
දළුගම
කැලණිය


ජැක්සන් ඇන්තනිට

මෙවර පැවැත් වූ සුමති සම්මාන උලෙළේ ඔබ විසින් කරන ලද කතාව ඉතාම කාලෝචිත එකකි. අද අපේ ඇතැම් නාලිකාවන් ද සමහර වචනවල තේරුම් පවා හරිහැටි නොදැන ප්‍රකාශ කිරීම කනගාටුවට කරුණකි. ඔබ දුන්නේ කදිම පාඩමකි.

එස්. ඒ. ප්‍රේමලතා
රැක්ගහතොටුපොල
බණ්ඩාරගම


සෙල්ලම් නැතිනම් ලෙල්ලම්

ජයසේකර අපොන්සු යනු අපේ රංගන ශිල්පීන් අතරේ දක්ෂ රංගන ශිල්පියෙකි. නමුත් සෙල්ලම් නැතිනම් ලෙල්ලම් චිත්‍රපටයේ ඔහුගේ රංගනය ගැන සතුටු විය නොහැකි බව කිව යුතුයි.

ආතර් ජයකොඩි
රියෝ සිනමා
කොළඹ 02


සාජන්ට් නල්ලතම්බි

එදා අසූව දශකයේ වේදිකාවට නව ජීවයක් දුන් වේදිකා නාට්‍ය ශිල්පියකු ලෙසින් නිහාල් සිල්වා විශේෂ වේ. ඒ සාජන්ට් නල්ලතම්බි චරියෙනි. සිංහල වේදිකාවේ හොඳම හාස්‍යජනක වේදිකා නිර්මාණය එදත් අදත් සාජන්ට් නල්ලතම්බි වේ. ඔහු තම මුදලින් නාට්‍ය පුහුණු වීමේ ස්ථානයක් පවා පිහිටු වූයේය. ඔහු මඟින් තම මඟ හෙළි පෙහෙළි කරගත් අයට පවා අද නිහාල් සිල්වා නාමය අමතකව ගොස් ඇති සේය.

ලක්ෂ්මන් රණසිංහ
හේකිත්ත
වත්තල


සාර්ථකව ඉදිරියට යන්න

සුමිත් රත්නායක කලා ක්ෂේත්‍රයේ අංශ කිහිපයකින්ම දස්කම් දක්වන කලාකරුවෙකි. සාර්ථක ගමනකට සුබ පැතුම්.

නිමල් කුලසේකර
අඟුලාන


ඉසුරු ඔබට සුබ පැතුම්

පිනි ටෙලි නාට්‍යයේ සම්පත්ගේ චරිතයට පණ පොවන ඉසුරු ලොකුහෙට්ටි ආරච්චිගේ රංගනයට අපේ පැසසුම්. ඉතාමත් හොඳ අවබෝධයකින් ඔහු එම චරිතයට පණ පොවන බව කිව යුතුයි. ඉසුරු ඔබට සුබ පැතුම්.

ඉඹුල්ගොඩ අබේසිංහ
ශ්‍රියානි ජයසිංහ
අලව්ව


පිරිමැසිය නොහැකි පාඩුව

අපගේ සිත් තුළට දැඩි ලෙස කාවදින ලද චිත්‍රපට වන 'වස්තුව', 'පොඩි රාළහාමි', 'රිදී තැල්ල', 'වීදියේ වීරයා', 'රාස්ස කැළේ' වැනි සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළ සිරි කුලරත්නගේ වියෝව අපට පිරිමැසිය නොහැකි පාඩුවකි.

කෙනත් පෙරේරා
වැලිගම්පිටිය
ජා-ඇල


නිමල් ගුණසේකර සංගීතවේදියාණෙනි

'ආවාට තිබුණත් නිසසල සඳ මත', 'මට නොවේ ඔබ ආදරේ කළේ', 'ප්‍රේම මායා දැලේ', 'නංගිලාට වාසි බෝ' වගේ ආදි කලකදී රසික පිරිස් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ සංගීත අධ්‍යක්ෂවරයකු වූ නිමල් ගුණසේකර සංගීතවේදියාණෙනි, ඔබගේ පැරණි ගීත නිතර ගුවනින් ඇසේ. එය අපට සතුටකි. නව ගී නිර්මාණයක රස විඳීන්නට අප ආසාවෙන් බලා සිටිමු.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
මීරිගම
පස්යාල


සන්ෆ්ලවර් නෙල්සන් වාස්

සන්ෆ්ලවර් ගායක නෙල්සන් වාස්, ඔබ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක වුවත් ඔබ වේදිකාවේ දකින්න ලැබෙන්නේ අඩුවෙන්. එය ඔබට මෙන්ම සංගීත කණ්ඩායමට ද හානියක් බව මගේ හැඟීමයි. ඔබ දිගමට සන්ෆ්ලවර් වේදිකාවේ දැකීම අපේ සතුටයි.

ජනක මධුශංඛ
දංකොටුව


ආදරණීය ප්‍රින්ස් - රෝයි

සිංහල සංගීත අඹර තම ප්‍රභාවෙන් ආලෝකමත් කර මිනිසත්කමත්, ළෙංගතුකමත් ඉතිරිකර නොකියාම යන්න ගිය ආදරණීය ගායන ශිල්පීන් දෙපළ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මෙන්ම රෝයි පීරිස් යළිත් රසික මනදොල පිනවීම වෙනුවෙන් ගී ලොවට ජනිත වේවා.

චතුරංග සම්පත්
හංවැල්ල


විශ්වට ඔවදනක්

තමන්ගේ ප්‍රතිරූපයට හානිකර වන ආකාරයේ බාල බොළඳ හරසුන් ටෙලි නිර්මාණවලට දායක නොවී තම ප්‍රතිභාව විදහා දැක්වෙන යමක් කළ හැකි චරිත පමණක් භාරගැනීමට අවධානය යොමු කරන ලෙස විශ්ව ඔබට අවවාදයක් දෙමි.

ඩඩ්ලි ගෝමස්
කටුබැද්ද
මොරටුව


පිය මැන ගියේ ඇයි කාටත් නොකියා හොරෙන්

සිත බිඳ ගත්තේ ඇයි දරුවෝ මේ           විලසින්
ජීවිත විඳීන මේ ලස්සන                   තරුණකමෙන්
පිය මැන ගියේ ඇයි කාටත් නොකියා හොරෙන්
මේ වගේ මෝඩ තීරණයක් ඇයි ගත්තේ    දසුන්

මොනවා කීවත් දැන් අප කිසි පලක්              නැත
මේ සංසාරේ ඔබ ඈතට ගොසින්                    ඇත
දෑසට සතුට ගෙනදී සනසා ලොවගේ            සිත
ඇයි ඔබ ගියේ හඬවාලා අප සැමගේ       නෙත

සුසිලා පතිරාජ
පුබුදුගම
උස්වැටකෙයියාව