වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මානෙල් චන්ද්‍රලතා දිගු කලකට පසුව ‘රොසලියා’ සමඟින් වේදිකාවට

මානෙල් චන්ද්‍රලතා දිගු කලකට පසුව ‘රොසලියා’ සමඟින් වේදිකාවට

මානෙල් චන්ද්‍රලතා අපට සිටින දක්ෂ චරිතාංග නිළියකි. එක් වකවානුවක සිංහල සිනමාවේ ආදායම් වාර්තා තැබූ සිංහල චිත්‍රපට බොහොමයක් සඳහා ඇය රංගනයෙන් දායක වූවාය. 'නොම්මර 17', 'ඔක්කොම හොඳටයි' යන චිත්‍රපට ඇය රඟපෑ එවන් මතකයේ රැඳුණු සිනමා නිර්මාණ අතර වේ. එදා මෙදාතුර ඇය රංගනයෙන් දායක වුණු චිත්‍රපට සංඛ්‍යාව 50 කට අධිකය.

ජනකාන්ත විකට නළු ෆ්‍රෙඩී සිල්වා නිර්මාණය කළ 'මන්ත්‍රී' සහ 'දොන්තබබක්කා' යන වේදිකා නාට්‍ය තුළින් රංගනයට පිවිසි මානෙල් චන්ද්‍රලතා, ඉන් අනතුරුව රිදී තිරය මෙන්ම පුංචි තිරය ඔස්සේ ද ප්‍රේක්ෂක හදවත්වලට සමීප වුණු සිනමාවට නැතිවම බැරි රංගන ශිල්පිනියක් ද වූවාය. එපමණක්ද නොව ඇය වරෙක සරසවිය සම්මානයක්ද හිමිකර ගැනීමට වරම් ලැබුවාය.

කෙසේ වුවද පසුගිය කාලසීමාව පුරා ඇය කිසිදු නිර්මාණයකට දායක නොවූවා පමණක් නොව ඇය පිළිබඳ කිසිදු තොරතුරක් මාධ්‍ය තුළින් හෝ වාර්තා නොවුණි. එසේ තිබියදී පසුගිය දිනෙක හදිසියේම ඇය සරසවියට පැමිණියාය. ඒ ඇය රංගනයෙන් දායක වන 'රොසලියා' පිළිබඳ අප සමඟ කතාබහේ යෙදෙන්නටය. මේ ඇය අප සමඟ කළ ඒ සුහද කතාබහයි.

* ඉතින් කොහොමද?

මම හොදින් ඉන්නවා.

* ඔබ දිගු කාලයක් පුරා කිසිදු නිර්මාණයකට දායක වූයේ නෑ?

ඔව් මම 2003 වසරේ දී විදෙස් ගත වුණා. නැවත පැමිණියේ 2013 වසරේදී. ඒ නිසා වසර 10 කට වැඩි කාලයක් කිසිදු නිර්මාණයකට සහභාගි වීමට ඉඩක් ලැබුණේ නෑ.

* මේ දිනවල ඔබ මොනවද කරන්නේ?

'රොසලියා' නමින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරනවා. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් මමයි.

* නාට්‍යය ගැන යමක් කිව්වොත්?

එය නිහාල් ප්‍රේමචන්ද්‍රගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්. එහි අන්තර්ගත වන්නේ දේශපාලනමය ප්‍රහසනයක්.

* ඇයි ඔබ දිගු විරාමයකට පසු වේදිකාවට ගොඩවන්නට තීරණය කළේ?

මම සිනමාවෙන් ජනප්‍රිය වුණාට, රංගනය පටන්ගත්තෙ වේදිකාවෙන්. ඒ නිසා මගේ රංගන ජීවිතයේ වේදිකාවට හිමිවන්නේ සුවිශේෂී තැනක්.

* ඒත් දැන් වේදිකා නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයින් ඉන් ඈත්වෙලා?

ඔව්. ඊට බොහෝ කාරණා හේතු පාදක වී තිබෙනවා. ඒත් රසවිඳින්නට පුළුවන් හොඳ නිර්මාණයකට ප්‍රේක්ෂකයන් නැවත කැඳවා ගන්නට පුළුවන් බව මම විශ්වාස කරනවා.

* 'රොසලියා' ගේ විශේෂත්වය?

ඇත්තටම 'රොසලියා' වෙනස් නිර්මාණයක්. ඒ ගැන මට වඩා හොඳින් නිහාල් කියයි.

* නිහාල් ඔබ 'රොසලියා' සමඟ සම්බන්ධ වන්නේ මොන ආකාරයෙන්ද?

'රොසලියා' පිටපත මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්. මෙහි අධ්‍යක්ෂණයෙන් මෙන්ම රංගනයෙන් ද මම ඊට දායක වනවා.

* 'රොසලියා' තේමාව ගැන යමක් කිව්වොත්?

රොසලියා නාට්‍යයට පාදක වී තිබෙන්නේ පොදු ජනයා ඉතාම සුලබව අත්විඳින දේශපාලනමය අත්දැකීමක්. ඒ තුළ දෝලනය වන දේශීයත්වය සහ අපේකම මම මෙහිදී ඉතාම බැරෑරුම් ලෙස කතිකාවට ලක්කරනවා. ඒත් එක්කම මේක එක්තරා ආකාරයකින් පර්යේෂණාත්මක අත්හදා බැලීමක්.

* අත්හදා බැලීමක්?

ඔව්. මේ රටේ බහුතරයක් මානෙල් චන්ද්‍රලතාව හඳුනාගන්නෙ සිනමාවෙන්. ඒ නිසා මට අවශ්‍ය වුණා 'රොසලියා' වේදිකාව මත සිනමාත්මක අත්දැකීමක් ප්‍රේක්ෂකයාට සමීප කරවන්න. ඒ අනුව මෙහි එන දර්ශන බොහොමයක් සිනමා දර්ශන ලෙස නිර්මාණය කර තිබෙනවා. ඒක වඩාත් තීව්‍ර කරවීමට 'රොසලියා' සඳහා සංගීතය සහ ආලෝකය බහුලව මම යොදාගන්නවා.

* වේදිකාව මත වෙනස් ආකාරයක අධ්‍යක්ෂණයක් හමුවේ චරිත නිරූපනයට අපහසුවක් දැනුනෙ නැද්ද?

නැවත මානෙල්ගෙන් විමසීමි.

ඇත්තෙන්ම නෑ. නිහාල් මේ සඳහා උපයෝගී කරගන්නේ තාත්වික රංගන ශෛලිය. මෙහි රංගන ශිල්පීන්ට, ශිල්පිනියන්ට අපහසුවක් නොවන පරිදි ඔහු ඉතාම සියුම්ව අධ්‍යක්ෂණය කරනු ලබනවා.

* ඔබත් සමඟ 'රොසලියා' හා එක්වන නළු නිළි වත පිළිබද සඳහන් කළොත්?

ආරියසේන ගමගේ, රූපා ගෝමස්, ප්‍රසාද් ගලප්පත්ති, දිල්හානි කරුණාරත්න, නිමල් ඉද්දමල්ගොඩ, 'පොඩිමෑන්', සරත් ඉඳුරුවගේ, හර්ෂනී හේරත්, සුදර්මා ලාලනී යන ශිල්පීන් ශිල්පිනියන් එහි රංගනයෙන් දායක වනවා.

* ඊට දායක වන අනෙකුත් ශිල්පීන්?

කලා අධ්‍යක්ෂණයෙන් ගාමිණී දිසානායක, ශබ්ද පරිපාලනයෙන් උපුල් රවීන්ද්‍ර සිල්වා, ආලෝකකරණයෙන් සුනිල් සමරකෝන්, පෙළ කියවීමෙන් ඉරෝෂා රත්නායක, විවිධ සහයෙන් සඳුන් කුමාර, ප්‍රියන්ත අනුරුද්ධ කුමාර, උපුල් හර්ෂ යන අය දායක වෙනවා. 'රොසලියා' සංගීතය නිර්මාණය කරන්නේ ප්‍රවීණ සංගීතඥ රංජිත් ඩයස් විසිනි.

* 'රොසලියා' සම්බන්ධයෙන් ඔබගේ බලාපොරොත්තුව?

'රොසලියා' නාට්‍යය දේශපාලනමය ප්‍රහසනයක් වුණත්, ඉන් ප්‍රේක්ෂකයා වෙත ගෙනෙන පණිවුඩය ඉතාම ගැඹුරුයි. මෙය රටපුරා වෙසෙන නාට්‍ය ලෝලීන් හරහා සමාජගත කරන්න තමයි මම සමඟ 'රොසලියා' කණ්ඩායම උත්සාහ කරන්නේ. ඊට අවශ්‍ය ප්‍රචාරක හා අනෙකුත් අනුග්‍රහයක් හෝ ලැබෙනවා නම් එය මට පහසුවක් වනවා.

දේශපාලනයේ භාවිතා වන ඡන්දය නම් සංකල්පයට නව අර්ථකතනයක් දීමට 'රොසලියා' නිර්මාණය කර තිබේ. දේශයක මුල් බැසගත් සංකල්ප වරින්වර රළ නගන දේශපාලන පසුබිම හමුවේ එහා මෙහා වන ආකාරයන් පිළිබඳ ගැඹුරින් විමසීමට 'රොසලියා' සමත් වෙයි. ඒ අනුව මෙය තවත් එක් වේදිකා නාට්‍යයක් පමණක්ම නොවේ.

එම අපූරු වෙනස අත්විදීමට 'රොසලියා' මංගල දර්ශනය පැවැත්වෙන එලඹෙන ඔක්තෝබර් 14 වැනි සෙනසුරාදා සවස 3.30 ට මොරටුව බෞද්ධ මන්දිරයේ දී එක්වන ලෙසට නාට්‍යලෝලී ඔබ සැමට මෙන්ම, දර්ශන සංවිධායකවරුන්ට ජනප්‍රිය නිලි මානෙල් චන්ද්‍රලතා සුහද සිතින් ඇරයුම් කරයි.