වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මං තවමත් රස්සාවක් සොයනවා

මං තවමත් රස්සාවක් සොයනවා

නවකවදය ගැන කෙටි චිත්‍රපට තනා දෙස් විදෙස් සම්මාන දිනූ ධනංජය බණ්ඩාර

මෙවර පැවැති දෙරණ සිනමා සම්මාන උලෙළේ සහ යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ කෙටි චිත්‍රපට අංශයේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය හිමිවූයේ ධනංජය බණ්ඩාරගේ ‘සෝන්ග් ඔෆ් ද ඉනසන්ට්’ කෙටි චිත්‍රපටය සඳහායි. කෙටි චිත්‍රපටයට බෙහෙවින් ආදරය කරන තරුණයකු වන ධනංජය බණ්ඩාර සිනමාව ඔස්සේ දිගු ගමනක් යන්නට සැරැසී සිටින්නෙකි. මේ ඉඩහසර වෙන්වන්නේ ඔහු වෙනුවෙනි.

ඔබ කුඩා කාලයේ පටන් ම කලාවට බෙහෙවින් ආදරය කරන්නෙක්ද?

මට ඉගෙන ගැනීමට පාසල් තුනකට යන්න සිදුවුණා. මුලින් ම බ/ශ්‍රී ජනානන්ද ජාතික පාසලටයි. එහිදි මා චිත්‍ර කියන විෂයයි තෝරා ගත්තේ. ඊට පසුව මප/හැ/ වටවල සිංහල විද්‍යාලයටයි ගියේ. එහිදි මා සෞන්දර්ය විෂයය විදියට තෝරා ගත්තේ නර්තනය විෂයයයි. ඒ අතර මා නර්තනය පිළිබඳ උසස් පෙළ ඩිප්ලෝමාවක් කළා. උසස් පෙළ අවසන් වීමෙන් පසුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පිවිසුණා. එහිදි මා නර්තනය හැදෑරීම නවත්වා සිනමාව පිළිබඳ හැදෑරීමට පටන් ගත්තා.

නර්තනය වගේ විෂයයක් හැදෑරූ ඔබ සිනමාව ගැන හැදෑරීමට සිතුවේ ඇයි?

මගේ සිතේ යම් දේශපාලනික අදහසක් තිබුණා. ඒ නිසා ඒ වෙලාවේ මට හැදෑරීමට සුදුසු ම විෂය නර්තනය නොවෙයි කියන කාරණයයි සිතට පිවිසුණේ. ඒ අනුව මා හැදෑරීමට කැමැත්තෙන් සිටි සිනමාව කියන විෂයය ආරම්භ කළේ විශ්වවිද්‍යාලයේ අපේ කණ්ඩායමෙන්. අනෙක් කාරණය නම් පාසල් යන කාලයේ පටන් ම කලාව සම්බන්ධයෙන් මට තිබුණේ වාමාංශික අදහස්. ඒ දේවල් සමඟ නර්තනය කියන විෂයයේ නියැළෙන විට සිදු වූ යම් යම් දේ පිළිබඳ මගේ සිතේ ඇති වූ තිබුණේ යම් අපැහැදිලි තත්ත්වයක්. මේ නිසාමයි මා සිනමාව තෝරා ගන්නේ. මගේ සිතේ ඇඳී තිබුණු කියා ගැනීමට නොහැකි යම් යම් දේ කිව හැකි හොඳම මාධ්‍ය ලෙස මා තෝරා ගත්තේ රූප මාධ්‍යයයි. එයට හොඳම මාධ්‍ය ලෙස මා දැක්කේ සිනමාවයි. ඒ නිසයි මා නර්තනය අතහැර සිනමාව හැදෑරීම තෝරා ගත්තේ.

මේ වනවිට ඔබ සිනමාව හරහා කිරීමට බලාපොරොත්තු වූ දේ ඔබට කිරීමට හැකි වී තිබේද?

මගේ බලාපොරෙත්තුව නම් මගේ සිතේ ගොනු වී තිබෙන බොහෝ දේ රූපයෙන් පැවසීමයි. මේ වනවිට මා ඒ සම්බන්ධයෙන් තව දුරටත් ඉගෙන ගනිමින් සිටිනවා.

ඔබ මුලින් ම සිනමාවට පිවිසීමට තෝරා ගන්නේ කෙටි චිත්‍රපට කියන මාධ්‍යයයි?

මේ වනවිට මා කෙටි චිත්‍රපට හයක් කරලා තිබෙනවා. මගේ පළමු චිත්‍රපටය වන්නේ 2015 වසරේදී නිර්මාණය කළ ‘ද කැට්’. දෙවැන්න 2016 වසරේදී නිර්මාණය කළ ‘කොපි’. ඒ සඳහා මට ජාතික කෙටි චිත්‍රපට උලෙළේ ජූරියේ සම්මානය ලැබෙනවා. ඉන්පසුව මා නිර්මාණය කරන්නේ ‘ඩ්‍රීම් ඔෆ් සෙවන්’. ඊළඟට ‘ෆෝටි ඔෆ් පොයම්’. මේ සඳහා මට පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් කුසලතා සහතිකයක් හිමිවනවා. අවසන් වශයෙන් මා නිර්මාණය කළ කෙටි චිත්‍රපටය නම් ‘සෝන්ග් ඔෆ් ද ඉනසන්ට්’. ඒ සඳහා මට කොයින් සිනමා උලෙළේ අවසන් වටයට තේරුණා. ඒ වගේ ම ජනපි‍්‍රයම සම්මානය ලැබුණා. එයටම යාපනය සම්මාන උලෙළේදී හොඳම කෙටි චිත්‍රපටය විදියට සම්මානය හිමිවුණා. මේ චිත්‍රපටයටමයි මට පසුගිය දිනවල තිබුණු දෙරණ සිනමා සම්මාන උලෙළේ හොඳම කෙටි චිත්‍රපටය හිමි සම්මානය හිමිවන්නේ. මේ දවස්වල තවත් කෙටි චිත්‍රපටයක සංස්කරණය කරමිනුයි කාලය ගත කරන්නේ. එය ‘ෆයර් ඔෆ් ලයිෆ්’ නමිනුයි නම් කරලා තිබෙන්නේ.

දිගු චිත්‍රපටයක් කරන්නේ කවදාද?

එවැනි චිත්‍රපටයක් කිරීමේ අධ්‍යයනයකයි මා සිටින්නේ. විශ්වවිද්‍යාලයේ සිටින කාලයේදියි ම මා දිගු චිත්‍රපටයකට පිටපතක් ලිව්වේ. ඒත් එවකට අපේ අධ්‍යයන අංශයේ සිටි ප්‍රධානියා ඒ නිර්මාණයේ දේශපාලනය තිබුණු නිසා නිර්මාණය කරන්න දුන්නේ නැහැ. ඒ නිසා ඒ අදහස මා අතහැර දැම්මා. ඉන්පසුවයි මා ‘සෝන්ග් ඔෆ් ද ඉනසන්ට්’ කියන කෙටි චිත්‍රපටය කරන්නේ.

ඒ නිර්මාණයත් එවැනි බලපෑම්වලට ලක්වුණාද?

දිගු චිත්‍රපටය කිරීමට අවසරය නොලැබීමත් සමඟ අපේ අංශ ප්‍රධානියාත් වෙනසකට ලක්වෙනවා. ඒත් සමඟ ම අපේ අධ්‍යයන අංශයට අලුත් ගුරුවරයෙක් එනවා. ඔහු සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂවරයායි. ඔහු එක් වෙලාවක පවසන්නේ එක්කෝ තමන්ට බලපෑව ආත්මීය කාරණයක් සම්බන්ධ කරගෙන චිත්‍රපටයක් කරන්න, නැත්නම් සමාජයට බලපාන සමාජයේ ඔබ රිදුම් දුන් කාරණයක් සම්බන්ධ කරගෙන චිත්‍රපටයක් කරන්න යනුවෙන්. එහිදියි මා තීරණය කරන්නේ මගේ ආත්මීය කාරණයක් මූලික කරගෙන චිත්‍රපටයක් කිරීමට. ඒ අනුවයි මා ‘සෝන්ග් ඔෆ් ද ඉනසන්ට්’ කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්නේ.

‘සෝන්ග් ඔෆ් ද ඉනසන්ට්’ කෙටි චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ කුමන කාරණයක් මූලික කරගෙනද?

මා මේ චිත්‍රපටය කළේ නවකවදය කියන කාරණය සම්බන්ධ කරගෙනයි. ඒ මට අත්වුණු ඉරණම සම්බන්ධයෙන්. මේ සමඟ ම මට යම් බලපෑම් සහගත දේවල්වලට යටත්වීමටත් සිදුවුණා.

ඒ බලපෑම් සහගත දේවල් මොනවාද?

මේ චිත්‍රපටය කිරිමට පෙර අභියෝගය පැමිණියේ නවකවදය සම්බන්ධයෙන් කරන චිත්‍රපටයකට නළු නිළියන් සොයා ගන්නේ කොහොමද? එය කිරීමට විශ්වවිද්‍යාලයෙන් අවසර ගන්නේ කොහොමද? කියන කාරණා සම්බන්ධයෙන්. උදාහරණයක් විදියට අලුත් අංශ ප්‍රධානියකු පැමිණියා වුණත් මගේ පිටපතට අවසර දේවිද කියන කාරණය ඔළුවේ වැඩ කරමින් තිබුණා. ඒ තරමටම ඒ කාරණය මානසික වදයක් බවට පත්වීලයි තිබුණේ. මේ චිත්‍රපටය පිළිබඳ කවුරු හෝ පෙත්සම් පවා යවන තත්ත්වයට පත්වුණා. එවැනි වටපිටාවකයි මට චිත්‍රපටය කරන්න සිදුවුණේ. එතැනදියි සුදත් මහදිවුල්වැව ගුරුතුමා මැදිහත් වන්නේ. ඒ කාරණාවලට එකඟ නොවූ ඔහු මගේ ආත්මීය කාරණය වෙනුවෙන් පෙනී සිටියා. මෙහිදි ඒ කාරණය සිහිපත් කළ යුතුමයි. ඒ වගේ ම මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී බොහෝදෙනෙකු මට උදව් කළා. ඒ අය අතර අංශ ප්‍රධානී මහින්ද විමලවීර මහතා, ඩීවීඩී ආයතනය, රුවන් ද කොස්තා, අජිත් රාමනායක, අජිත් ප්‍රියන්ත කළුආරච්චි, රුවන් ශ්‍රී වල්පොල ඇතුළු නම් කී නොකී සියලු දෙනාව ම මා මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි.

ඔබ මේ තරම්ම කෙටි චිත්‍රපටවලට ආදරය කිරීමට පෙලඹෙන්නේ කුමන කාරණයක් නිසාද?

මගේ බොහෝ ආත්මීය කාරණා කෙටි චිත්‍රපටය හරහා පිළිබිඹු කිරීමට හැකිය කියන අදහසේයි මා හැමදාම සිටින්නේ. ඉදිරියට දිගු චිත්‍රපට කළත් මා කෙටි චිත්‍රපට කරන එක නවතින්නේ නැහැ. අනිවාර්යයෙන් ම කෙටි චිත්‍රපට කරනවා. මගේ ආත්මීය ප්‍රකාශනය එළියට දැක්වීමට හැකි එක් මාදිලියකුයි කෙටි චිත්‍රපට කියන්නේ. ඒ හරහා මගේ ආත්මීය කාරණය සමාජ ප්‍රකාශනයක් බවට පත්කිරීමයි මගේ වෑයම වන්නේ.

ඉදිරියේදි අපට ඔබව මුණ ගැසෙන්නේ අධ්‍යක්ෂවරයකු විදියටද?

අනිවාර්යයෙන් ම. ඒත් මේ මොහොතේ වෘත්තිමය භාවය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. මා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත්තේ මේ මාසයේ 06 වැනිදා. තවමත් මට රස්සාවක් නැහැ. රස්සාවක් සොයන ගමන් ඉන්නේ. වෘත්තිය සිනමාව වේවිද කියන කාරණය ගැන මට ගැටලුවක් තිබෙනවා. මොකද ජීවත් වෙන්න මුදල් නැතිකම හා උපාධියක් ලබාගත්තට රස්සාවක් නැතිකම යන ගැටලු ජීවිතයේ කැකෑරෙමින් තිබෙන නිසයි මා එලෙස පවසන්නේ.

ඒ තරමට ම ජීවිතය ප්‍රශ්නයක්ද?

මා කුඩා කාලයේදිමයි මගේ තාත්තා අප අතරින් සමුගත්තේ. මේ වනවිට ඔහු අප අතරින් සමුගෙන වසර විසිදෙකක්. අම්මා තමයි අපව බලා ගත්තේ. මට නංගිලා දෙදෙනෙක් ඉන්නවා. ඒ හැම දෙයක්ම මගේ ඔළුවේ වැඩ කරමින් තිබෙනවා. ඒ සියලු දේත් සමඟයි මා ජීවිතය ගෙවෙන්නේ. වැඩිමහල් සහෝදරයකු ලෙස ඉටු කළ යුතුකම් රැසක් මගේ වටා එක්රොක් වෙලා.

තරුණයකු විදියට ඔබ සිතන්නේ කෙටි චිත්‍රපටකරුවන්ගේ අනාගතය මොන වගේ වේවි කියලද?

මේ මොහොතේ නම් අපේ රටේ කෙටි චිත්‍රපට උලෙළ රැසක් තිබෙනවා. අන්තර්ජාතික මට්ටමින් සිදුවන සිනමා උලෙළවල් පවා අපේ රටේ තිබෙනවා. ඒ පසුබිම සෙමෙන් නිර්මාණය වෙමිනුයි තවමත් පවතින්නේ. ඒත් තිබෙන විශාල ම අභියෝගය වන්නේ කෙටි චිත්‍රපට කිරීමට නිෂ්පාදකවරුන් නොමැතිකමයි. මේ වනවිට ඔවුන් විසින්මයි මුදල් සොයාගෙන මේ කාර්යයන්වල නියැළෙන්නේ. එවැනි වටපිටාවක් තිබුණත් වසරකට කෙටි චිත්‍රපට පනහකට වඩා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. කෙටි චිත්‍රපටකරුවන්ගේ සිනමාව ඉදිරියට යමින් තිබෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක් විදියටයි මා දකින්නේ.

සිනමාවේ කඩා වැටීමක් ගැන ‍බොහෝදෙනා කතාබහ කළත් නිර්මාණකරුවන් අපේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ මානය කුමක් දැයි හරිහැටි හඳුනාගෙන නොතිබෙන බවයි පෙනෙන්නේ. තරුණයකු විදියට ඔබ මේ කාරණය දකින්නේ කුමන විදියටද?

සිනමාවේ කඩා වැටීම තීරණය වී තිබෙන්නේ අපේ රටේ මෙතෙක් පැවැති අධ්‍යාපන රටාව, අපේ රටේ තිබෙන දේශපාලනය නිසයි. ඒ වගේ ම විවිධ මානසික මට්ටම්වලට නිර්මාණය වුණු එක් එක් ශානරවල චිත්‍රපට තිබෙනවා. ඒත් ඒ ශානරවලින් අපේ අධ්‍යක්ෂවරුන්ගේ බිහිවීමේ අඩුවකුයි අපේ රටේ දකින්නට ලැබෙන්නේ. එය යම් විදියකට සිනමා කර්මාන්තයට බලපෑමක් කරන බව සත්‍යයක්. එහෙත් මෙහි වැඩිපුර චෝදනාව එල්ල වන්නේ රජයටයි. එහිදි සිදුවන යම් යම් දේ සඳහා රජයෙන් සිදුවිය යුතු මැදිහත් වීම නොවන තාක් අපට සිදුවන්නේ කර්මාන්තය ගැන කතා කර කර සිටීම පමණයි. මෙය බරපතළ ඛේදවාචකයක්.