වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




අතීතය වසාගත් සොඳුරු කතාවක්

අතීතය වසාගත් සොඳුරු කතාවක්

ආකර්ෂා

      

ආකර්ෂා යනු තාරුණ්‍යයේ පසුවන රූමත් ඉන්දියානු සම්භවයකින් පැවත එන යුවතියක් වටා ගෙතුණු කතා පුවතක් වන අතර, ඇය කුරිරු යුද්ධයෙන් ඉරි තැලී ගිය උතුරු තල් අරණේ මායිම් ගම්මානයක යුද සමයේ දිවි ගෙවූ තැනැත්තියකි. එකල එම ප්‍රදේශයේ රට රකිනා භාරදුර රාජකාරියේ නිරත වූ ඉතා නිර්භීත සිංහල යුද හමුදා නිලධාරියෙකු මෙන්ම වර්තමානයේ යුද හමුදාවේ ඉහළ නිලයක් දරන කර්නල් වික්‍රමසිංහ සමඟ එකල දී ඇය පෙමින් බැඳුණු අතර, යුද වාතාවරණය මැද නොසිතූ ලෙස ඔවුන් වෙන්වූ අයුරුත්, ඔවුනගේ එකම දරුවා වන සූර්යා නිසා අනපේක්ෂිතව නැවත හමුවන අයුරුත් ආකර්ෂා සිනමා සම්ප්‍රාප්තිය මඟින් පිළිබිඹු වේ.

තිර කතාවේ ප්‍රවිෂ්ටය අනුව කර්නල් වික්‍රමසිංහ හට නව නිලතල උසස්වීම් සමඟ නව යුද හමුදා කඳවුරක ප්‍රධාන නිලධාරියා ලෙස පත්වීමක් ලැබේ. එම පත්වීම ලැබ නොබෝ දිනකින් සිය ප්‍රතිරූපයට පවා හානිවන අන්දමින් මෙන්ම, සේවයෙන් පහකිරීමට තරම් ප්‍රබල ආන්දෝලනාත්මක සිදුවීමකට මුහුණ දීමට ඔහුට සිදුවේ. ඊට හේතුවන්නේ, තවමත් අවිවාහක පුද්ගලයෙකු වන ඔහු හට දරුවෙකු සඳහා නඩත්තු නඩුවක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම සඳහා ලැඛෙන සිතාසියයි.

අධිකරණයේ පෙනීසිටීමෙන් පසු සියල්ලන් පුදුමයට පත්කරමින් කර්නල් වික්‍රමසිංහ එම දරුවාගේ පීතෘත්වය පිළිගනී. එම දරුවාගේ මව වන ආකර්ෂාව දැකීමෙන් එම තීරණයට එළැඹෙන අතර, දරුවාගේ නිත්‍ය භාරකාරිත්වයද තමාට අවැසි බව නීතීඥයන් මඟින් අධිකරණයට දන්වා සිටි. එනමුදු දරුවාගේ මව ආකර්ෂා එම ඉල්ලීමට එකඟ නොවන බව අධිකරණයට ප්‍රකාශ කරයි.

මෙම සිදුවීම සියලුදෙනාගේ විමතියට හේතුවන්නේ, වික්‍රමසිංහ වැනි, සෘජූ මෙන්ම දැඩි ප්‍රතිපත්ති ගරුක, බුද්ධිමත් සංයමයකින් යුතු නිලධාරියෙක් මෙවැනි ආරවුල් සහිත තත්වයකට මැදිවූයේ කෙසේද යන්නයි.

වික්‍රමසිංහ පෙරලා නිවසට පැමිණි පසු තම කුලුපඟ මිතුරා වන මේජර් ජයරත්න හට සියල්ල නොසඟවා පවසමින්, මෙම සිදුවීම් වල ආරම්භය සිදුවූ ආකාරය පිළිබඳව අතීතාවර්ජනයක යෙදෙයි.

මෙයට වසර හතකට පෙරාතුව දුෂ්කර මායිම් ගම්මානයක, ආරක්ෂාව තරකිරීම උදෙසා අරඹන ලද නව හමුදා කඳවුරක, හමුදා අනු ඛණ්ඩ හතරක් භාර ප්‍රධාන නිලධාරියා ලෙස වික්‍රමසිංහ රාජකාරියට පැමිණෙනුයේ ඛෙදුම්වාදී ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා තම සක්‍රීය දායකත්වය සපයමිනි. ඔහු එම ප්‍රදේශයේ පාසැල් කිහිපයක් වෙත ගමන් කරන අතරතුර, ළමුන් කණ්ඩායමක් වෙත ගීතයක් පුහුණු කරනු ලබමින් සිටි සුරූපී සංගීත ගුරුවරියක් වූ ආකර්ෂාව ප්‍රථම වරට නෙතු ගැටුණු හැටි සිහිපත් කරයි. ඇය විසින් ගායනා කරනු ලබන ගීතය සහ ඇයගේ ගායනා විලාසය ඔහුගේ හදවත තුළ ළැඟම්ගනී.

මේ අතරතුර වික්‍රමසිංහ හට ජාතික නාළිකාවක් මඟින් ඔහුගේ කඳවුරේ පැවැත්වීමට යෝජනා කෙරෙන සංගීත කුසලතා එළිදැක්වීමේ ස්වයංවර වැඩසටහනක් සංවිධානය කිරීමේ අවස්ථාවක් උදාවේ.

ආකර්ෂා මේ සඳහා සහභාගීවීමට සුදුසුම තැනැත්තිය ලෙස වික්‍රමසිංහයන්ගේ මතකයට නැඟෙන අතර, ඇයට ආරාධනය කරනු ලබයි. ඊට ඇගේ සෘජු කැමැත්ත පළ වූවද, ඇගේ මාමා වන මුරුගන්, ඥාති සහෝදරයා වන රඝු මෙන්ම සොයුරිය රාජනීද ඔවුනගේ නොසතුට පළ කරයි. විශේෂයෙන්ම රඝු මීට අකමැත්ත පළ කරනුයේ ආකර්ෂා පිළිබඳව ඔහුගේ සිතේ ඇති අදහස නිසා මෙන්ම, ඇය සිංහල හමුදා නිලධාරියෙකු සමඟ ඇතිවන කුලුපග බවට අකමැති නිසාය.

සැඟවුණ තරුව සංගීත ස්වයංවර තරගය වෙත ඉදිරිපත් වන ආකර්ෂා තරඟකරන අනෙකුත් තරඟකරුවන් අබිබවා කැපී පෙනේ. වේදිකාව මත තම කුසලතාවයන් මැනවින් හසුරවමින් සංගීතයේ යසෝප්‍රභාව ඇය මැනවින් විදහා පෙන්වයි. නමුත් මෙය රඝුගේ කෝෂාවිෂ්ටයට හේතුවන කරුණක් වේ.

ආකර්ෂාගේ සහ වික්‍රමසිංහගේ මිතුදම ආදරයක් බවට පෙරළෙන අතර, ඔවුනට කිසිදා අමතක නොවන ඉමිහිරි මතක රැසක් දායාද කරමින් දිවයිනේ විවිධ චමත්කාර ජනක ප්‍රදේශයන් හි සොඳුරු සති අන්තයක් ගත කිරීමට අවස්ථාව උදාවේ. අනතුරුව ආකර්ෂාව සිය නිවසට ඇරලවීමට පැමිණෙන විට, රඝුගේ ප්‍රචණ්ඩ හා කැලඹිලි ස්වභාවය ඔවුනට මනාව වටහා ගැනීමට හැකිවේ.

පසුදින උදයේ වික්‍රමසිංහ වෙත පැමිණෙන කෝප්‍රල් වරයෙකු ඔහුට දැනුම් දෙනු ලබන්නේ අනපේක්ශිතවූ පුවතකි. එනම් පෙරදා රාත්‍රීයේ කිසියම් නාඳුනන පිරිසක් විසින් ආකර්ෂාගේ නිවසට ගිනි තබා ඇති අතර, ආකර්ෂා ඇතුළු පවුලේ සියලුදෙනා මේවන විට අතුරුදහන්ව ඇති බවයි.

නැවත කතාව මදකට වර්තමානය වෙත පැමිණෙන අතර කර්නල් විසින් ජයරත්න හට පවසමින් සිටි අතීත කතාව තුළ තමා මුහුණදුන් කම්කටුලු මෙන්ම අත්විදි වේදනාව සහ ආකර්ෂාව නැවත සොයා ගැනීමට දරන ලද ප්‍රයත්නය පැහැදිලි කොට දෙනු ලැබේ.

කෙසේ වූවත් ආකර්ෂා මුලදී තම එකම දරුවා, ඔහුගේ සැබෑ පියා වන වික්‍රමසිංහ හට නීතියෙන් භාරකාරීත්වය ලබා දීමට දැඩි අකමැත්ත පළකළ මුත්, දරුවා පියාට ලබාදීම මඟින් දරුවාගේ යහපතට සහ මතු දියුණුවට මෙන්ම විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමටද හේතු වන බව මාමා වන මුරුගන් විසින් පැහැදිලි කිරීමෙන් පසුව, කොන්දේසි විරහිතව දරුවා හට තම දාරක ස්නේහය අත් විදිය හැකි රාමුවක් තුළ පියා වෙත භාර දීමට කැමැත්ත පළ කරයි.

ඉතාම සංවේදීජනක අවස්ථාවක් උද්දීපනය කරවමින්, සූර්යාට තම ජීවිතයේ ප්‍රථම වරට මවගේ උණුසුමෙන් මෙන්ම දුක් ගැහැට මැද හැදීවුඩුණු පරිසරයෙන් ඈත්ව, තම පියාගේ නව සුඛෝපභෝගී පරිසරයට අනුකූලව හැඩ ගැසීමට සිදුවේ. සූර්යා නිතරම නින්දෙන් බියවී අවදිවන අතර, මේ පිළිබඳව ව්‍යාකූලත්වයට පත්වන වික්‍රමසිංහ විසින් ඔහුගේ සුඛෝපභෝගී සයනය සහ මව් උණුසුමෙන් දුරස්වීම යන හේතු නිසා මෙසේ සිදුවේ යැයි සිතා, නිවසේ ප්‍රධාන මෙහෙකරුගේ බිරිද අසලින් සූර්යාව නිදි කරවීමට සලස්වයි.

සූර්යාගේ සිත තුළ ඇති සංකාව දුරලීම සඳහා ප්‍රයන්ත දරන වික්‍රමසිංහ තම ගිටාරය ගෙන මියුරු වාදනයක් වයයි. එම මියුරු නාදය මඟින් සූර්යා හට තම ගමේ පාසැලේ සංගීත ගුරුතුමිය උගැන්වූ ගීයක් මෙන්ම, තම මව සෑම රාත්‍රියකම තමාව නිදිකරවීම සඳහා ගායනා කල ගීයක් වූ එම ගීයට නිතැනින්ම අවධානය යොමුවේ. මෙම ගීතය හේතුකොටගෙන පියපුතුබැදීම සවිමත් වේ.

එක් දිනෙක සූර්යයා සෙල්ලම් කරමින් සිටියදී, ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඔහුව පැහැරගනු ලබන අතර, රථයක දමාගෙන පලායයි. වික්‍රමසිංහ මෙම සිදුවීමෙන් දැඩි කම්පනයට පත්වන අතර, මෙය කප්පම් මුදලක් වෙනුවෙන් කරන ලද පැහැර ගැනීමක් බව ඔහු වටහා ගනී. වික්‍රමසිංහ අදාළ කප්පම් මුදල ගෙවීමට පොරොන්දුවන අතර, එම මුදලද රැගෙන තම මිතුරා ජයරත්න සමඟ පිටත්ව යයි. අවසානයේ කප්පම්කරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකිවේද? සූර්යාට තම මව නැවත හිමිවේද? වික්‍රමසිංහ හා ආකර්ෂා යළි එක්වේද? මේ සියල්ලටම විසදුම් ආකර්ෂා තිරගත වූ කල ලැඛෙනු ඇත.

රංගන දායකත්වයෙන්, කර්නල් වික්‍රමසිංහ ලෙස යසස් රත්නායකත්, ආකර්ෂා ලෙස සුරූපී ඉන්දිය නිළි අන්චල් සිං, සූර්යා ලෙස ළමානළු මව්ලි මතීෂ, කර්නල් වික්‍රමසිංහගේ මව ලෙස ශ්‍රියාණි අමරසේන, සේනක ලෙස දුෂ්යන්ත් වීරමන්, රඝු ලෙස දර්ශන් ධර්මරාජ්, රාජිණිලෙස ආනන්දිකා කුමාරසිංහ, කැප්ටන් ජයරත්න ලෙස චරිත් අබේසිංහ, මුරුගන් ලෙස නඩරාජා සිවම් සමඟින්, ඩබ්. ජයසිරි, ඩග්ලස් රණසිංහ, ජයලාල් රෝහණ, ශ්‍රීමාල් වෙඩිසිංහ, රමණි සිරිවර්ධන, ශලනි තාරකා, නලින් ප්‍රදීප් උඩුවෙල, සරත් චන්ද්‍රසිරි, ඉෂාන් ගම්මුදලි, ටෙඩී විද්‍යාලංකාර කාවිංග පෙරේරා, නිමන්ති පෝරගේ ඇතුළු විශාල පිරිසක් එක්වන අතර, කතාව, තිර රචනය හා උපදේශක අධ්‍යක්ෂණයෙන් නීතීඥ සමන් වීරමන්, කැමරා අධ්‍යක්ෂණයෙන් ප්‍රභාත් රෝෂන්, සංස්කරණයෙන් ශාන් අල්විස්, සහය අධ්‍යක්ෂණයෙන් ධනුෂ්ක ජයවර්ධන, පසුබිම් සංගීතයෙන් දර්ශන රුවන් දිසානායක, කලා අධ්‍යක්ෂණයෙන් අජිත් හත්වැල්ල, අංග රචනයෙන් තාරක අධිකාරී, විශේෂ ප්‍රයෝග සජීවීකරණයෙන්, චත්‍ර වීරමන් හා භාරත හෙට්ටිආරච්චි ගීත රචනයෙන්, බන්දුල නානායක්කාරවසම්, අමිල තේනුවර සහ නන්දන වික්‍රමගේද ගායනයෙන් උරේෂා රවිහාරි, දුමාල් වර්ණකුලසූරිය හා ශම්මිකා අමානි හා නිශ්චල ඡායාරූප කරණයෙන් මෙවන් ලියනගේ සම්භන්ධ වන මෙය ආකර්ෂා ෆිල්ම් ප්‍රඩක්ෂන්ස් වෙනුවෙන්, ප්‍රභාත් චමින්ද පෙරේරා, හරිස් උද්දික මහදිවුල්වැව, නලින් නිශාන්ත ධර්මප්‍රිය සහ ලීල් ප්‍රසන්න දසනායක යන කන්ඩායමේ සාමූහික නිෂ්පාදනයක් වන අතර, සුනෙත් මාලිංග ලොකු හේවාගේ පස්වන සිනමා අධ්‍යක්ෂණය ලෙස මෙය තිරගතවනු ඇත.